‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා එහි නායක විමල් වීරවංශ මහතාගේ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
“මේ වන විට අගමැතිවරයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට අතුරු වාර්තාවක් ලබා දීලා අනෙකුත් පක්‍ෂවල අදහස් ලබා ගන්න හදනවා. ඒ අනුව ෆෙඩරල් ව්‍යවස්ථාවකට අදාළ කටයුතු වේගයෙන් ඉදිරියට යන බවයි පෙනෙන්නේ. ඒ වගේම ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් තැබීමට අදාළ කටයුතු ද වේගයෙන් සිදු වන බව පෙනෙනවා. මෝඩි අගමැතිවරයා මේ රටට ඇවිත් හැසිරුණු විදිහ බලන්න. ඒ අනුව පෙනෙන්නේ, ඉන්දියාව අද අපේ රට ඔවුන්ගේ ප්‍රාන්ත පාලනයක් ඇති තැනක් විදියට සලකන බවයි. ඒ වගේම නුවරඑළියේ නෝර්වුඞ්වල රැස්වීමේදී මෝඩි මැද ඉඳගෙන අගමැති – ජනපති දෙපැත්තේ තියාගෙන සංකේතවත් කළෙත් ඒ බවයි. ඒ නිසා අපි අනෙකුත් මාතෘකා සාකච්ඡා කරන අතරේ මේ මූලික මාතෘකා පිළිබඳව ජනතාව දැනුම්වත් කරන වැඩපිළිවෙළකට වහාම යා යුතුයි.” විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
“නව බෙදුම්වාදී ව්‍යවස්ථාවට, එට්කා ගිවිසුමට වගේම ජාතික සම්පත් විකිණීමට, මැතිවරණ කල් දැමීමට එරෙහිව අපි මේ සටන ඇරඹිය යුතුයි” නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. එවැනි සටන් ක්‍රියාමාර්ගයක් ජුනි මාසයේ සිට රට පුරා දියත් කිරීමට ඒ අනුව ජානිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කළහ.
“ඒ සටන් ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන අතරේ අපි ජනතාව දැනුම්වත් කිරීමට සම්මන්ත්‍රණ මාලාවකුත් පටන් ගනිමු. දිස්ත්‍රික්ක 16ක ප්‍රධාන පෙළේ නගරවල එවැනි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට හැකි බව දිස්ත්‍රික් නායකයන් දැනටමත් දැනුම් දී තිබෙනවා. එහෙමනම් අපි ජුනි මාසය මුල සිට ඒ වැඬේටත් අත ගහමු” එසේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා කළ යෝජනාවට ද දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
මෙම සම්මන්ත්‍රණ මාලාවට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අපූරු නමක් යෝජනා කර තිබිණි. ඒ ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ යන්නයි. ඊට ද ජානිපෙ දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබිණි.
“නීතිය නමන්නේ කවුද?”
ඒකාබද්ධ විපක්‍ෂය නම් ලැයිස්තුවක් හදයි!
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් පසුගිය සතියේ කොළඹ විශේෂ ස්ථානයකදී පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, කෙහෙලිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වීරකුමාර දිසානායක යන ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ එක්ව සිටියහ.
රට හමුවේ පැන නැඟී ඇති උණුසුම්කාරී වාතාවරණය පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳවත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
“ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නයේදී කථානායකවරයා කටයුතු කළ ආකාරය වැරදියි” බොහෝ පක්‍ෂ නායකයන්ගේ අදහස විය.
“මේ ආකාරයට කටයුතු කළ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන එන්න ඕනෙ.” දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කළේය.
“රජයේ නීතිපති දෙපාර්තමේන්තුව අද ක්‍රියා කරන ආකාරය ඉතාමත් කනගාටුදායකයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයන් දරන ඇතැම් අය අගමැතිවරයාට ඕනෙ විදියට නීතිය නමන බවයි පෙනෙන්නේ. මේ අය නාමිකව රට හමුවේ හෙළිදරව් කළ යුතුයි. ඔවුන් පක්‍ෂපාතීව කටයුතු කරන ආකාරය රටටම දැන ගන්නට සැලැස්විය යුතුයි.” පක්‍ෂ නායකයෝ කිහිපදෙනෙක්ම පෙන්වා දුන්හ.
එසේම ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම, එට්කා ගිවිසුම අත්සන් කිරීම, ජාතික සම්පත් විකුණා දැමීම ඇතුළු මේ ආණ්ඩුවේ ව්‍යසනකාරී පියවරවලට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් රට පුරා ඇරඹිය යුතු බවට ද මේ පිරිස ඒකමතිකව තීරණය කළහ.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *