අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත කෙසේ හෝ සම්මත කර ගෙන රනිල් ‘එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු මරන හැටි’ – මුසම්මිල්ගෙන් විශ්ෂ අනාවරණයක්

 

අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කෙරෙන පනත් කෙටුම්පත කෙසේ හෝ සම්මත කරගෙන රනිල් වික්‍රමසිංහ මහතා ‘එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරන්න’ සූදානම් වන බවත් එම පනත සම්මත කර ගතහොත් ජනාධිපතිවරයා රණවිරුවන්ට ලබා දී තිබූ ‘කිසිදු රණවිරුවකුට දඩුවම් ලබා දීමට මම ඉඩ දෙන්නේ නැහැ’ යන පොරොන්දුව බිඳ වැටෙන බවත් ජාතික නිදහස් පෙරමුනේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

අද(17) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත එළෙඹෙන 21 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිතව තිබෙනවා. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීම සඳහා කැප වූ රණවිරුවන් දංගෙඩියට යැවීමට සමත් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පතට දසතින් විරෝධය එල්ල වන විට අගමැති රනිල් වික්‍රමසිංහ බරපතළ දෝෂසහගත ප්‍රකාශයක් කරමින් මෙම පනත් කෙටුම්පත අතීතයට බල නොපාන බව පවසනවා.

එය 2017 සැත්තැම්බර් 21 වැනිදා සම්මත වීමෙන් අනතුරුව ඊට කතානායකවරයා අත්සන් තැබුව දිනයේ සිට වලංගු බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. මෙය සම්පූර්ණයෙන්ම රටත්, ජනතාවත් විශේෂයෙන්ම රටට සාමය දිනා දුන් විශ්‍රාමික රණවිරුවන් ඇතුළු සියලු රණවිරුවන් ද මුලාවේ දැමීමට ගෙතූ ප්‍රබන්ධයක්.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තියෙහි ‘අතීතයට බලපාන ලෙස දණ්ඩන නීති පැනවිය නොහැක’ යන ප්‍රතිපාදනය තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඒක පෙන්වමින් තමයි තමාගේ දෝෂසහගත ප්‍රකාශය කරන්නේ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තියෙහි ඇති 13(6) අනු වගන්තියෙහි තිබෙන්නේ කුමක්ද? එය ව්‍යතිරේකයක්. එනම් ‘අතීතයට බලපාන අයුරින් දණ්ඩන නීති පැනවිය හැක්කේ කුමන අවස්ථාවලදී ද කියා එම වගන්තියෙහි සඳහන් වෙනවා.

යම් නීතියක් පනවනු ලබන්නේ යම් ජාත්‍යන්තර ප්‍රඥප්තියක්/සම්මුතියක් ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට නම් එම පනවන නීතියෙන් එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය පැනවූ දිනයේ සිට, එනම් ‘අතීතයට බලපාන අයුරින්’ මෙරට තැනැත්තෙකුට දණ්ඩන පැනවිය හැකියි’ උදාහරණයක් ලෙස ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය/සම්මුතිය’ 1992 දී ජාත්‍යන්තර නීතියට එක්වූ ප්‍රඥප්තියක්. ඒ නිසා 21 වැනිදා මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් එමගින් 1992 දක්වා වන සිදුවීම්වලට අදාළව දණ්ඩන පැනවිය හැකියි. ඒ අනුව 1992 සිට අපේ රණවිරුවන්ට ‘අතුරුදහන් කිරීම’ කියන යුධ අපරාධ චෝදනාව යටතේ මේ අලුත් නීතියෙන් මේ රටේ පිහිටුවන ලබන විශේෂ මහ අධිකරණයෙන් සහ විදේශ රටවල අධිකරණවල නඩු පැවරිය හැකියි. හැබැයි 80 දශකයේ අග භාගයේ ධවල භීෂණයෙන් අතුරුදහන් වූ තම සාමාජිකයන්ට සාධාරණය ඉටු කරන්න මේ පනත් කෙටුම්පතට සහාය දෙන බව කියන ජ.වි.පෙ කරන්නේ බොරුවක්. මේ පනත වලංගු වෙන්නේ 1992 න් මෙපිට සිදුුවීම්වලට විතරයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහත් බේරිලා. බටලන්ද වධකාගාරයේදී අතුරුදහන් වූවන් ගැන මේ පනතින් හොයන්න බැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක වූ පසු අතීතයට බලපාන අයුරින් රණවිරුවන්ට දඩුවම් ලැබෙන බව ඒ අන්දමට පැහැදිලි කළ හැකියි. ඒ වගේම අතීතයට බලපාන අයුරින් දඩුවම් ලබා දුන් නඩු තීන්දුවක් ද මෙහිදී අපට ඇත්ත වටහා ගන්න වැදගත් වෙනවා. මෙම නඩු තීන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා නීති වාර්තා 46 වෙළුමෙයි. නඩුව වන්නේ ‘සේපාල ඒකනායක එරෙහිව නීතිපති’ නඩුවයි. 1982 ජුනි 26 වැනිදා ඉතාලියේ අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමට මුල් වූ සේපාල ඒකනායක ලංකාවට ආවේ 1982 ජූලි 02 වැනිදා ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔහු නිදහස් වුණා. පසුව 1982 ජූලි 26 වැනිදා පැන වූ 1982 අංක 24 දරන ගුවන්යානා වලට එරෙහි වැරදි පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අතීතයට බලපාන අයුරින් දණ්ඩනයට ලක් කර තිබුණා. තමන්ට ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව සේපාල ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුව තමයි ‘සේපාල ඒකනායක එරෙහිව නීතිපති’ නඩුව කියන්නේ. මෙහිදී සේපාල ඒකනායක කියා සිටියේ තමන්ට අතීතයට බලපාන අයුරින් දණ්ඩන පනවා මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවයි. නමුත් ‘1982 අංක 24 දරන ගුවන්යානා වැරදි පනත ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත 03ක් බලාත්මක කිරීමට පැන වූ එකක් නිසා එමගින් අතීතයට බලපාන අයුරින් දණ්ඩනය පැනවිය හැක’ කියලයි ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දුන්නේ.

මේ අනුව පැහැදිලියි මේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත සම්මත වුවහොත් යුද ජයග්‍රහණයට දායක වූ සියලු රණවිරුවන්ට අතීතයට බලපාන අයුරින් දඩුවම් දිය හැකි බව. අපි කියනවා ඒ නිසා ශ්‍රී ලනිප සියලු මැතිඇමතිවරුන්ට ‘ මේ පාප කර්මයට දායක වෙන්න එපා’ කියලා. ඒ වගේම, මංගල සමරවීර ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදුකල බව පිළිගෙන මේ ජාතයන්තර ප්‍රඥප්තියට අත්සන් කළේ ඒක අතීතයට බලපාන්නේ නැති නිසාද? බොරු කියන්න එපා මේකට අත්සන් කලේ රණවිරුවන් දංගෙඩියට යවන්න මිස වෙන දේකට නෙමෙයි.

ජනාධිපති වරයා සෑම විටම කියන්නේ ‘රණවිරුවන්ට දඩුවම් කරන්න ඉඩ දෙන්නේ නැහැ’ කියලයි. අගමැතිවරයා දැන් හදන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙදෙනෙකු මරා දමන්න. එකක් මේ ද්‍රෝහී පනත අතීතයට බලපාන්නේ නැහැ කියා එය කෙසේ හෝ සම්මත කර ගැනීම. අනෙක ජනාධිපතිවරයා රණවිරුවන් ආරක්‍ෂා කරන බවට ලබා දී ඇති පොරොන්දුව කඩ කරවීම. ඒ නිසා ජනාධිපතිතුමනි වහා මැදිහත් වී රනිල් වික්‍රමසිංහගේ මේ උගුලෙන් තමන් ද ගැලවී, රණවිරුවන් ද ගැලවිය යුතුව තිබෙනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-09-17

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *