කැප්පෙටිපොළ විරුවාණන්ගේ 200 වැනි සැමරුම යෙදෙන 2018 වසර වීරත්වයේ වසර බවට පත්කර ගනිමු! – ජානිපෙ නායක, විමල් වීරවංශ

මොනරවිල කැප්පෙටිපොළ විරුවාණන්ගේ 200 වැනි සැමරුම යෙදෙන 2018 වසර වීරත්වයේ වසර බවට පත් කළ යුතු බවත් ආපස්සට ඇදගෙන යනු ලබන ජාතිය අලුත් ගමනකට කැඳවා ගෙන යාම ද මේ වසර තුළ සිදු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (27) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ‘අනාගතය අපි: We are The future තරුණ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ ‘199 වැනි වීර කැප්පෙටිපොළ සැමරුමේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපි අද මේ විදියට එකතු වූයේ අතීතයට අයිති, එහෙත් වර්තමානයට සහ අනාගතයට පාඩම් උගත හැකි වීරයකු පිළිබඳව කතා කරන්න. ඉතිහාසය අපට නිවැරදිව කියවා ගන්න බැරි නම් වර්තමානය සහ අනාගතය නිවැරදිව තේරුම් ගැනීමටත් බැහැ. විශේෂයෙන් තරුණ පරම්පරාව ස්වකීය මාතෘභූමියේ ඉතිහාස කතාවෙන් උගත යුතු පාඩම් මැනවින් විග්‍රහ කර ගෙන අනාගතය කරා රට මෙහෙයවිය යුතුව තිබෙනවා. කාල් මාක්ස් එක අවස්ථාවක කීවා, ‘පාලනයකින් තොරව සමාජ පරිණාමය සිදු වූ ඓතිහාසික කාලය දැන් අතීතයට එක් වී අවසන්’ කියලා. ඉතා ඈත අතීතයේ සිට යුග ගණනාවක් තිස්සේ බාහිර බලපෑමකින් තොරව සිදුවූ සමාජ පරිණාමය අද සිදු වෙන්නේ බලවත් බලශක්තියක්, බාහිර ලීවරයක මෙහෙයවීමක් සහිතව කියන එකයි එහි තේරුම. හොඳට හෝ නරකට අද සමාජ පරිණාමය ඒ ආකාරයට බාහිර බලවේගයන්ට උවමනා ආකාරයට සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව අපි අද කතා කරන්නේ බාහිර ලීවරයක මෙහෙයවීමෙන් ලියැවුණු ඉතිහාසයක්, එනම් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් තමන්ට උවමනා ආකාරයට ලියූ ඉතිහාසයක් පිළිබඳවයි. ඒ යුගය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම තුවක්කුවේ, කඩුවේ බලයෙන් තම අභිමතය පරිදි ලියන්න හැදූ ඉතිහාසයක්. ඒ යුගයේ බිහි වූ වීරයකු පිළිබඳවයි අපි අද කතා කරන්නේ.

‘අනාගතයේ අපට මුහුණ දීමට තිබෙන අභියෝග මොනවාද?’ කියන එකත් මේ ඉතිහාසය කතාව තුළම ලියැවී තිබෙනවා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙරළ තීරය මුළුමනින්ම අල්ලා ගත්තත්, ඔවුන්ට කිසිවිටකත් කන්ද උඩරට රාජධානිය යුද්ධ කරලා අත්පත් කර ගන්න බැරි වුණා. බි්‍රතාන්‍යයන්ගේ බලවත් සේනාවලට කන්ද උඩරට සේනාවන්ගේ ගරිල්ලා ප්‍රහාරයන් නිසා කඩුගන්නාව ගිරිදුර්ගවලින් මෙහාට එන්න බැරි වුණා. ඒ බලගතු අධිරාජ්‍යවාදීන්ට යුද්ධ කරලා අල්ලා ගන්න බැරි වුණු කන්ද උඩරට රාජධානිය 1815 දී ගිවිසුමකින් යටත් කර ගන්න පුළුවන් වුණා. එදා ජෝන් ඩොයිලිලා රජුට එරෙහිව බොරු අවලාද නැගුවා. රදල පිරිස් සහ සඟරුවන අතර රජු කෙරෙහි අප්‍රසාදය ඇති කළා. එහෙම අසත්‍ය වපුරලා තමයි යුද්ධයෙන් යටත් කර ගන්න බැරි වූ උඩරට රාජධානිය ගිවිසුමකින් යටත් කර ගත්තේ.

1815 දී උඩරට රාජධානිය යටත් කර ගත්තත් අවුරුදු 2ක් යන කොට වෙල්ලස්සෙන් සුද්දාට එරෙහිව පළමු වෙඩි හඬ නිකුත් වුණා. නමුත් තමන් යටත් කර ගත් සුද්දාට එරෙහිව ඉන්දියාවෙන් පළමු වෙඩි හඩ නිකුත් වෙන්න වසර 100ක් පමණ ගත වුණා. ඒත් අපේ රටේ වෙල් ලක්‍ෂයක් තිබුණු බත, බුලතින් සරු සාර වූ වෙල්ලස්සේ ප්‍රාදේශීය ජනනායකයන් වූ කොහුකුඹුරේ රටේ රාලලා, බූටෑවේ රටේ රාලලා වසර 02ක් යන්න කලින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සේනා සංවිධානය කර ගෙන සටන් කරන්න තීරණය කළා. මේ සටන ප්‍රාදේශීය සටනක් ලෙසයි ඇරඹුණේ.

මේ ප්‍රාදේශිය සටන ආරම්භ වූවාට පසු එක් දිනක් කුංකුණාවේ හාමුදුරුවෝ,
‘අනේ කුඹින්නේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒ නිසාවෙනි අප තැවෙන්නේ

රජෙක් සිටියෝතින්
කිරිබත් කැවුම් කන්නම්
පෙරහැර ද කරන්නම්
සාදුකාරෙන් ගිගුම් දෙන්නම්, කියන කවිය කියනවා වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්ට ඇහෙනවා. ඊට පස්සේ ඔහුගේ හෘද සාක්‍ෂිය තුළ ගැටුමක් ඇති වෙනවා. පරදේශක්කාරයන්ට මේ රට පාවා දීම පිළිබඳ වේදනාවක් ජනිත වෙනවා. ඒ සිතුවිලි දහර ක්‍රමයෙන් වැඩෙමින් තිබිය දී තමයි ඌව – වෙල්ලස්ස විමුක්ති අරගලය මැඩලීම සඳහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් කැප්පෙටිපොළ නිලමේතුමන්ගේ නායකත්වයෙන් සේනාවක් යවන්නේ.

‘ද්‍රෝහියා, වීරයා වීම’

මේ විදියට ඌව – වෙල්ලස්ස විමුක්ති අරගලය මැඩලීම සඳහා යන කැප්පෙටිපොළ නිලමේතුමන්ට අළුපොත කියන ගම්මානයේදී මේ අරගලයේ නායකයන් හමු වෙනවා. මේ වන විට එතුමන්ගේ හදවත තුළ නිර්මාණය වී තිබු කැරැල්ලයි, ඌව – වෙල්ලස්ස බිමෙන් මතුව තිබූ සටනයි මෙතැනදී සමපාත වෙනවා. එම සමපාත වීමත් සමඟ අපේ මාතෘභූමිය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පාවාදීමේ ගිවිසුමකට අත්සන් කළ ද්‍රෝහියකු ලෙස ඉතිහාසයට එක් වීමට නියමිතව තිබූ මොනරවිල කැප්පෙටිපොළ කියන නමට මොකද වෙන්නේ? ඒ අළුපොත හැරවුම් ලක්‍ෂ්‍යයත් සමඟ ඒ නම අපේ ඉතිහාසයට එක්වෙන්නේ ‘වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්’ යන සදා අනුස්මරණීය නාමයක් ලෙසයි.

මේ ඉතිහාස කතාව අනුපිළිවෙළින් කීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. තරුණ ඔබ මෙතැනට පැමිණියේ එවැනි ඉතිහාස කතාවක් අහන්න පමණක් නොවෙයි. කෙසේ වුවත් ඌව – වෙල්ලස්ස සටන පරදන්න බැරි තරමට පුළුල් වෙනවා. අවසනයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සොයා බලනවා මේ සටනේ ජය ලබා ගෙන රජ කිරීමට සූදානම් වන ‘දොරේ සාමි’ කියන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඥාතියා කවුද, කියා. මේ රටේ ජනතාවට වඩුග රජෙකු, නායක්කාර් වංශියකු රජවීම ගැටළුවක් වුණේ නැහැ. ඔවුන් කිසිසේත්ම ජාතිවාදී නොවූ බවට එය හොඳ නිදසුනක්. රජතුමා වඩුග රජකු වුවත් ඔහු මේ රටේ ඓතිහාසික සභ්‍යත්වය රකිනවාද, නැද්ද? කියන එකයි ජනතාවට වැදගත් වුණේ ඒ නිසා තමයි දොරේ සාමි රජ කරලීමට සටන් වැදීම ජනතාවගේ ආශිර්වාදය ඇතිව සිදු වුණේ. ්දොරේ සාමි නමින් පෙනී සිටින්නේ උපැවිදි වූ භික්ෂුවක්’ කියන මතය එදා අපේ ජන සමාජය තුළ තහවුරු කරන්න කෙසේ නමුත් සුද්දාට පුළුවන් වුණා. ඉන් පසුව විවිධ භේදබින්නතා ඇති වුණා. අවසානයේ ඌව – වෙල්ලස්ස සටනට නායකත්වය දුන් වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු පිරිස යටත් කර ගැනීමට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට හැකි වුණා. පසුව රාජද්‍රෝහියකු ලෙස නම් කොට මහනුවර දී හිස ගසා දමනවා. එක කඩු පහරින් ඔහුගේ හිස ගසා දැමීමට වධකයාට බැරි වෙනවා. මේ සියලු විශේෂතා නිසා වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්ගේ හිස බි්‍රතාන්‍යයන් විසින් සිය රටට රැගෙන යනවා.

‘කොනප්පු බණ්ඩාර’

වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් පමණක් නොවෙයි අපේ ඉතිහාසය තුළ ද්‍රෝහියකු ලෙස ගමන ආරම්භ කරලා වීරයකු ලෙස ගමන අවසන් කළ තවත් චරිත හමු වෙනවා. එහෙම තව කෙනෙක් තමයි කොනප්පු බණ්ඩාර. ඔහු පෘතුගීසින්ගේ සෙවණේ හැඳුණා, වැඩුණා. ඔවුන්ගේ භාෂාව ඉගෙන ගත්තා. ආගම, සිරිත් විරිත් ඉගෙන ගත්තා, පසුව උඩරට රාජධානිය අල්ලා ගැනීමට පෘතුගීසින් කොනප්පු බණ්ඩාරව යැව්වා. සේනාවට නායකත්වය දෙමින් දෝන කැතරිනා ළගින් තියා ගෙනයි ඔහු මේ ගමන ගියේ. මහනුවර රාජධානිය පෙනෙන මානයේ දී තමන් සමග ගිය සේනාව පලවා හැරිය කොනප්පු බණ්ඩාර පසුව විමලධර්මසූරිය නමින් රජ වූවා. රාජ්‍ය උරුමය දිගටම තබා ගැනීමට දෝන කැතරිනා විවාහ කර ගැනීමට මේ විමලධර්මසූරිය රජතුමා කටයුතු කළා. පටන් ගත්තේ කොනප්පු බණ්ඩාර නමින් ද්‍රෝහී ගමනක්. අවසන් කළේ විමලධර්මසූරිය නමින් වීරත්වයේ ගමනක්

‘ධාතුසේන’

අපේ ඉතිහාසය පුරා දැක ගත හැකි ලක්‍ෂණයක් තමයි, භේදබින්නතා නිසා අපේ රට සතුරාගේ ග්‍රහණයට නතු වීම. සෑම විටම ආක්‍රමණිකයාට අපේ රට නතු කර ගැනීමට හැකි වූයේ නායකයන් තුළ තිබූ භේදබින්නතා නිසයි. මේ ලක්‍ෂණය වෙනස් ආකාරයකින් කියවෙන කෘතියක් ‘ධාතුසේන’ නමින් ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් අතින් ලියැවී තිබෙනවා. දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් අපේ රාජ්‍යය අත්පත් කරගෙන වාරි ශිෂ්ටාචාරය අකාමකා දමලා ස්වදේශික වෙළඳ පැළැන්තියකට අනීතිකව හම්බකර ගෙන කන්න ඉඩ දුන් සමයක් මේ රටේ තිබුණා. මෙහිදී අතිමහත් ග්‍රාමීය ජනතාව දුකට, වේදනාවට ඇද දමලා තිබුණා. එහිදී භික්‍ෂූන්වහන්සේ නමක් උපැවිදි වෙලා මේ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ට එරෙහිව සටනට ආවා. ඔහු තමයි පසුව ධාතුසේන නමින් රාජ්‍යත්වයට පත් වුණේ.

‘කාශ්‍යප සහ මිගාර’

මේ ධාතුසේන රජතුමා වැව් අමුණු යළි ප්‍රතිසංස්කරණය කරලා සෑම කන්නයටම වගා කළ හැකි තත්වයක් නිර්මාණය කරනවා. නමුත් පසුව යළි භීතිය අපේ රටට කැඳවා ගෙන එනවා. ධාතුසේන රජතුමාගේ දියණිය විවාහ කර ගත් මිගාර සෙනවියා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා. ධාතුසේන රජතුමා සතු වූ කිරුළ ඔහුගේ එක් පුතකු වූ කාශ්‍යපට ලබා ගැනීමට මිගාර කුමන්ත්‍රණය කරනවා. පසුව ලේ වැගිරීමක් සිදු වීම වැළැක්වීමට ධාතුසේන රජතුමා කාශ්‍යපට සිය කැමැත්තෙන්ම සිය කිරුළ භාර දෙනවා. ඉන් පසුව කාශ්‍යප රජ වුණාට රට පාලනය කරන්නේ මිගාර. හරියට අද වගේ. රනිල් සෙනවියා රට පාලනය කරනවා හැබැයි කාශ්‍යප රජතුමා ලතා මණ්ඩපයට වෙලා කලාකාමී දිවියක් ගෙව්වා වගේ මෛත්‍රී ජනාධිපතිතුමා මොන මණ්ඩපයට වෙලා ඉන්නවාද කියන්න මම දන්නේ නැහැ. (සභාවේ සිනා) ගුණදාස අමරරසේකර සූරීන්ගේ කෘතියෙහි තිබෙනවා ‘මිගාරගේ සෙබළු වැව් හාරමින් ධතුසේන සැඟවූ මැණික් සොයන්න ගියා’ කියලා. ඒක හරියට ‘2015 ජනවාරි බල පෙරළියෙන් පස්සේ රන්ජන් රාමනායකලා කොමඞ් කටේ එඹිලා රත්තරන් හෙව්වා වගේ’ තියෙන්න ඇති. ධාතුසේන රජතුමා කවර වැඩක් කළත් මිගාර බොරු කටකතා පතුරනවා. වැව් හාරනකොට කියනවා, ‘ඔය වැව් හාරනවා නොවෙයි මැණික් ඉල්ලම් සොයනවා’ කියලා. පසුගිය කාලයේ ඒ ඉතිහාසය යළි පුනර්රූපණය වී තිබෙනවා. මිගාර මැණික් සොයන්න මුළු රටම හාරනවා. අන්තිමේදී ධාතුසේන රජතුමා තමන් හරි හම්බ කළ ධනය බලන්න මිගාරට එන්න කියනවා. ‘මේක තමයි මා රැස් කළ මහා ධනය’ කියලා කලා වැව පෙන්වනවා. අවසානයේ ධාතුසේන රජතුමා මිගාරගේ කෲරත්වයට ගොදුරු වෙනවා.

‘භේදබින්නතා වපුරන්නෝ’

කෙසේ නමුත් ඒ අඳුරු යුගයෙන් රට මුදවාගෙන යළි හරි මඟ වෙත ගෙන ඒමට ධාතුසේන රජතුමාගේ පුත්‍ර රත්නයක් වූ මුගලන් කුමාරයාට හැකි වෙනවා. මට කියන්න ඕන වුණේ භේදබින්නතා වපුරන සෑම විටම සතුරා දිනන බවයි. ඕනෑම ව්‍යාපාරයක, රටක, ජාතියක, භේදබින්නතා වපුරන්නෝ ඉටු කරන්නේ සතුරාගේ කාර්යභාරයක් මිස මිතුරු කාර්යභාරයක් නොවෙයි. එය අපට ඉතිහාසය පුරා කියා දුන් පාඩමක්. දැන් බලන්න 2014 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ එකට සිටි ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන. මිගාර සෙනවියා කාශ්‍යප පාවිච්චි කළා වගේ රනිල් වික්‍රමසිංහලා, චන්ද්‍රිකා කුමාරතුංගලා මෛත්‍රීපාල සිරිසේනව පාවිච්චි කළා. පාවිච්චි කළා විතරක් නොවෙයි කිරුළ තමන් අතට ගත්තා. කිරුළ මෛත්‍රීගේ හිස මත පැලඳවූවාට පාලනයේ සුක්කානම තිබෙන්නේ මිගාර හෙවත් වික්‍රමසිංහ අතෙයි. කිරුළ හිසේ තිබෙන මිනිහා සිතනවා, ‘දැන් ගමන යන්නේ ගාල්ලට’ කියලා. නමුත් සුක්කානම අතේ තියන මිනිහා රැගෙන යන්නේ බදුල්ලට. මේක තමයි අද අපි ඉස්සරහ රඟ දැක්වෙන වර්තමාන ධාතුසේන කතන්දරේ.

අපි දැන් ඉන්නේ එක්තරා විදියකින් පශ්චාත් ධාතුසේන අවදියක. ඒ නිසා අපට එක්කෝ සිදු වෙනවා අලකමන්දාවට වෙලා ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියන්න ‘මහත්තයෝ දැන් රට පාලනය කරන්නේ මිගාර සෙනවියා’ කියලා. එහෙම නැතිනම් අපට සිදු වෙනවා ‘මුගලන් කෙනෙකු සොයා ගෙන මේ යන ගමන අනෙක් පැත්තට හරවන්න. ඒ හැර වෙනත් උත්තරයක් අප ජාතිය ඉදිරියේ නිර්මාණය වී නැහැ.

‘80 දශකය’

භේදබින්නතා හේතු කොට ගෙන අවශ්‍ය මොහොතේ අවශ්‍ය ජයග්‍රහණය දිනා ගැනීමට නොහැකි වූ විට ජාතියට සිදු වූයේ ආපසු හැරවිය නොහැකි අන්ත පරාජයන්. බණ්ඩාරනායක පවුලේ භේදබින්නතා නිසා ජේ. ආර්. ජයවර්ධන පාලනය 17 වසරක් තිස්සේ ඉදිරියට ඇදී ගියා. යාපනයේ පුස්තකාලයට ගිනි තැබීම, යාපන දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය කොල්ලකෑම, 80 කළු ජූලිය ඇතුළු එකල සිදු වූ සියලු අඳුරු මතකයන් විසින් වේලුපිල්ලේ පිරපාහරන්ට මරාගෙන මැරෙන කොටි නිර්මාණය කර දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ඇතුළත් කරලා පළාත් සභා හදලා, ඒකීයභාවය රැක ගැනීමට පෙරට ආ තරුණ තරුණියන් 60,000ක් මරා දමලා මේ රට මිනී කනත්තක් බවට පත් කරලයි ඒ අඳුරු යුගය නිමා වූයේ.

‘බලෙන් කේක් කවා හදන සංහිඳියාව’

අදටත් ඒ අඳුරු සෙවණැලි හිස ඔසවමින් සිටිනවා, කොටි මහ විරු දින සමරු, පිරපාහරන්ගේ උපන් දින සමරු පසුගිය දිනවල උතුරේ දී පවත්වා තිබුණා. යාපන විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ ඇතැම් ජාතිවාදී දෙමළ සිසුන් සිංහල සිසුන්ට පිරපාහරන්ගේ උපන් දින සමරුම් කේක් බලෙන් කවා තිබෙනවා. දෙමළ ජනතාවගේ හිත රිදෙයි කියා ‘මැයි 18 විජයග්‍රහණයේ සැමැරුම’ නොපවත්වන මේ ආණ්ඩුව මේ කොටි සැමරුම්වලට ඉඩ දීමෙන් සිංහල. මුස්ලිම් ජනතාවගේ හිත් රිදෙන්නේ නැද්ද? එක් අන්තවාදයකට රිසි සේ වැඩෙන්න දීමෙන් ද සහජීවනය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ?

අද අපට සුද්දෝ සහජීවනය උගන්වන්න එනවා. එදා සුද්දෝ ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට කිතුණු දේවස්ථානයක් හැදුවා. නමුත් ඔවුන් ගිය පසුවත් ඒකට එක ගලක් ගහලා තිබෙනවා ද? එහෙම ගලක් ගහන්න හිතෙන මිනිසෙක් නිර්මාණය නොවුණේ අප සතු වූ සභ්‍යත්වය නිසයි. තලේබාන්වරු මේ පොළොවේ නිර්මාණය නොවූයේ මේ සභ්‍යත්වයේ තිබෙන ගුණය නිසයි. ඒ සභ්‍යත්වය රකින රාජ්‍යය තමයි මේ රාජ්‍යය. රාජ්‍යය අහිමි වෙනවා කියන්නේ, ‘මේ රටත් සභ්‍යත්වයත් දෙකම අහිමි වෙනවා’ කියන එකයි. රට බෙදෙනවා කියන්නේ ඒකයි.

‘අපට තිබෙන අමිල මැණික’

4 වන මිහිඳු රජුට අයත් පුවරු ලිපියක සඳහන් වෙනවා. ‘ගිණුම් හා වාර්තා පවත්වා ගෙන ගියා’ කියලා. අපි ශ්‍රමය සඳහා වැටුප් ගෙවන්න පටන් ගත්තේ කාල් මාක්ස් ‘ප්‍රාග්ධනය’ ලියන්න ගොඩක් කලින්. දුටුගැමුණු රජතුමා ක්‍රි.පූ. 161-137 කාලයේ ලෝවා මහා පාය හදද්දී එහි සේවය කළ කම්කරුවන්ට වැටුප් දුන්නා කියා මහාවංශයේ සඳහන් වෙනවා. බලෙන් වහලුන් වගේ වැඩ ගත හැකි යුගයක ‘ශ්‍රමයට ගැලපෙන වැටුපක් ගෙවිය යුතුයි’ කියන මනස රජෙකුට පහළ වෙන්නේ නැහැ, මිනිසා පිළිබඳව සානුකම්පිතව බලන මනසක් ගොඩනැඟී නොතිබුණා නම්. ඒ සානුකම්පිතව බලන මනස තිබුණේ මේ සභ්‍යත්වය සෙවණේ. ඒ තමයි අපට තිබෙන අමිල මැණික. ඒ සභ්‍යත්වය රැකීමයි අපට තිබෙනව අපූරු අභියෝගය. ඔබ සහ මා මේ විදියට මුණගස්වන්නේ මේ සභ්‍යත්වය විසිනුයි.

ආදරණීය දුවා දරුවනි, මේ පොළොවේ අනාගත හිමිකාරයන් ඔබයි. මේ ලක් පොළොව, ඔබට උරුම සභ්‍යත්වයේ තොටිල්ලයි, ඒ ශිෂ්ටාචාර රටාවේ තොටිල්ලයි. කවර දුෂ්කරතා මැද වුවත් අපේ අතීත පරම්පරාවන් රැක දුන් ඒ මහා සභ්‍යත්වය රකින සටනයි අද අපි ඉදිරියේ තිබෙන්නේ.

මානව අයිතිවාසිකම් ගැන අද අපට සුද්දන් කියා දෙන්න හදනවා. මානව අයිතිවාසිකම් පිළිබඳව ලියැවුණු පළමු ලියවිල්ල ලෙස ඔවුන් දකින්නේ ක්‍රි.ව 1215 එළිදැක් වූ ‘මැග්නකාර්ටා’ ප්‍රඥප්තියයි. නමුත් අපි ක්‍රි. පූ. 1-2 සියවස්වලත් ශ්‍රමයට නියම වැටුපක් දීලා මානව අයිතිවාසිකම් රැකලා තිබෙනවා. ස්ත්‍රී- පුරුෂ සමානත්වය රැකලා තිබෙනවා. එවැනි දියුණු සභ්‍යත්වයක් මේ පොළොවේ හදලා තිබෙනවා.

‘ෆෙඩ්රික් එංගල්ස් – රෝහණ විජේවීර’

කාල් මාක්ස් හැරුණු විට මාක්ස්වාදය ගොඩනැගීමට දායක වූ අනෙක් වියතා වන ෆෙඞ්රික් එංගල්ස් තම ‘සොබාදහමේ දයලෙක්තිකය’ යන කෘතියේ සඳහන් කළ කරුණක් මෙසේ මාර්ටින් වික්‍රමසිංහයන් තම කෘතියක උපුටා දක්වනවා. ‘මනුෂ්‍යයා බෞද්ධයන් හා ග්‍රීකයන් සේ උසස් තැන තෙක් දියුණුව හිමිකර ගැනීම භෞතික චින්තනයේ උසස් ග්‍රහණයක්’ කියා. මනුෂ්‍යයා බෞද්ධයන් හා ග්‍රිකයන් සේ උසස් තැන තෙක් දියුණුව හිමිකර ගැනීම භෞතික චින්තනයේ උසස් ජයග්‍රහණයක් ලෙස භෞතිකවාදියකු වූ ෆෙඞ්රික් එංගල්ස් පිළිගන්නවා. ඒ නිසා තමයි රෝහණ විජේවීර කියන භෞතිකවාදියා හමුදා අත්අඩංගුවට පත්ව රැගෙන යාමට සූදානම් වන වෙලාවේ ආපසු පැමිණ තම කිතුණු බැතිමතකු වූ ආදරණීය බිරිඳට කියන්නේ ‘මම එක ඉල්ලීමක් කරනවා’ දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා!’ කියලා. දැන් ඉන්න අනාගමික ජවිපෙ නායකයන්ට මේවා තේරුම් ගැනීමටවත් බැහැ. ඔය රැඩිකල්, අනාගාමික පුහු වීරයන්ට අහුවෙන්න එපා! ඔවුන්ට හදන්න පුළුවන් මෝස්තරකාර වම්මු. මෝස්තරකාර වම්මු හදන්නේ අධිරාජ්‍යවාදීන්ට උවමනා කුලී සේවාවන් ටික කරවා ගන්න මිසක් වෙන දෙයකට නොවෙයි.

රෝහණ විජේවීර වැනි භෞතිකවාදී, විප්ලවකාරී නායකයකුටත් මේ සභ්‍යත්වයේ තිබෙන වටිනාකම තේරුම් ගත හැකි වුණා. එහෙව් සභ්‍යත්වය රකිනා රටටයි මේ ගහන්නේ. අධ්‍යාපන ක්‍රමය, පරිපාලන ක්‍රමය ආදී සියල්ල සුද්දාට ඕනේ විදියට හදලා මේ සභ්‍යත්වය ටික ටික මරාගෙන කන්න හැදුවා. නමුත් මේ සභ්‍යත්වයට තවම පණ තිබෙනවා. තවම මරලා ඉවර කරන්න බැරි වුණා. ඒ පණ නල ඉතිරි වී තිබෙන සභ්‍යත්වයට නූතන තරුණ පරම්පරාව ලෙස ඔබ පණ දිය යුතුයි. කොණ්ඩය හැඩට කපා ගත්තු, ඇගේ ටැටූ කොටා ගත්තු තරුණ පරම්පරායක් වන ඔබ, මනසේ ඉහළම තැන මේ සභ්‍යත්ව මිනිසාව පදිංචි කරවා ගත යුතුයි. ඒ සභ්‍යත්ව මිනිසා, සභ්‍යත්ව මනස තමයි ඔබලාගේ අනාගතය නිර්මාණය කරන්නේ. ඔබට අයිති ඉතිහාස කතාව, බලන්ගොඩ කඳු, ගල්ලෙන් අතර ජීවත් වූ ආදී මානවයාගේ පා සටහන් ඇත්තේ කවර දුරකට ද, ඒ දුර දක්වා තිබෙනවා. ඒ සාඩම්බර ඉතිහාස කතාවේ වර්තමාන අනුගාමිකයා, උරුමක්කාරයා වෙන්න. අනාගතය ඔබේ පෑනෙන් ලියන්න. පර සුද්දන්ට, පරගැති බලවේගවලට මේ රටේ අනාගතය ලියන්න ඉඩ තියන්න එපා! වීර මොනරවිල කැප්පෙටිපොළ වගේ වෙමුෟ ජාතියේ උවමනාව වෙනුවෙන් කැප වෙමු! මොනරවිල කැප්පෙටිපොළ විරුවාගේ 200 වැනි සැමරුම පැවැත්වෙන 2018 වසර වීරයන්ගේ වසරක් බවට පෙරළමු. ඒ වීරත්වයේ වසර ජාතිය අලුත් ගමනකට පෙරළන වසර බවට පත් කරමු. ඒ සඳහා ලක්වැසි තරුණ පරම්පරාවට ශක්තිය, ධෛර්ය, යෝධ බල, යෝධ වීර්ය ලැබේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-11-28


ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *