ඔබේ මරණ බිය තුරන් කළ රණවිරුවන් අඳුරු සිරකුටි තුළ රැඳ වූ දේශපාලන තක්කඩින්ට එරෙහිව පෙබරවාරි 10 වැනිදා ඡන්දය භාවිතා කරන්න – ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

තම මරණ බිය තුරන් කිරීමට අසීමිත කැප කිරීම් කළ රණවිරුවන් අඳුරු සිරකුටි තුළ රැඳ වූ සිරිසේන – වික්‍රමසිංහ – සම්බන්ධන් – අනුර දේශපාලන හවුලට එරෙහිව පෙබරවාරි 10 වැනිදා ඡන්දය භාවිතා කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කෘතගුණ දත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රණවිරුවන් දංගෙඩියට දැක්කීමේ මෙහෙයුම නතර කිරීමට කැප වී සිටින මෙරට එකම දේශපාලන ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව ද දීර්ඝ ලෙස කරුණු දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේය.
අද(09) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“මේ සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව හෙවත් ‘යහපාලන ආණ්ඩුවේ’ තුන් වසරක පාලනය තුළ ඉතා පැහැදිලිව පෙනෙනවා ඔවුන් මේ රට ඇද ගෙන යන්නේ කොතැනකටද, කියලා. එක පැත්තකින් මේ රට බෙදන මෙහෙයුමක් දියත් වෙනවා. තවත් පැත්තකින් රට විකුණන මෙහෙයුමක් දියත් වෙනවා. ඒ වගේම මේ රටේ ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ද මේ වසර තුනක ‘යහපාලනය’ තුළ සිදු වුණා.
‘සිරිසේන – වික්‍රමසිංහ කරන මහ පොළොව නුඋහුලන අපරාධය’
ඒ විතරක් නොවෙයි, මේ සිරිසේන – වික්‍රමසිංහ පාලනය මහ පොළොව නුඋහුලන අපරාධයක් ද සිදු කරමින් සිටිනවා. ඒ තමයි මේ රටේ දෙකෝටි විසිලක්‍ෂයකට ආසන්න සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සකලවිද ජනතාවට මරණ බියකින් තොරව ජීවත් වීමට ඉඩ සැලැස්වූ වීරෝදාර රණවිරුවන් දංගෙඩියට දැක්කීම, ඔවුන් දෙතිස් වධ බන්ධනයට ලක් කිරීම. මේ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධුරය දරපු මංගල සමරවීර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ කළා’ යන මතය තහවුරු කිරීමට සකස් කළ බොරු වාර්තාව දොහොත් මුදුන් දී පිළි ගත්තා. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට රැගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට ද මංගල සමරවීර අමාත්‍යවරයා සම අනුග්‍රාහකත්වය දුන්නා. දැන් ඒ යෝජනාවලියේ යෝජනා එකින් එක ක්‍රියාවට නැඟෙනවා. ඒ අනුව අපට නිදහසේ හුස්ම ටිකක් ගන්න, ගමනක් බිමනක් යන්න ඉඩ හදා දුන් රණවිරුවන් දවසින් දවස අභූත චෝදනාවලට ලක් වෙනවා. ඔවුන් අඳුරු සිරකුටි තුළ සිර කරනවා.
‘ඔපරේෂන් ඩබල් එජ්’
මේ රණවිරු දඩයම ඇරඹුණේ, යුද සමයේ දී වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ කොළඹ නගරය පුපුරුවා හැරීමේ මෙහෙයුම ව්‍යර්ථ කළ ශ්‍රී ලංකා යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය විසින් දියත් කළ ‘ඔපරේෂන් ඩබල් එජ්’ සඳහා නායකත්වය දුන් කර්නල් ෂම්මි කුමාරරත්න, කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු බුද්ධි බලකා නිලධාරීන් පිරිසක් අභූත චෝදනා නඟා අත්අඩංගුවට ගැනීමෙනුයි. එසේ අභූත චෝදනා නඟා ඇප නොදී මාස 14ක කාලයක් ඔවුන් වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ අඳුරු සිරකුටි තුළ රඳවා තිබුණා. දැන් මේ යහපාලන ආණ්ඩුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකිව තතන තතන ඉන්නවා.
ඉන් පසුව යුද සමයේ ත්‍රිකුණාමලයේ දී කොළඹට එවීමට නියමිතව තිබූ බෝම්බ ලොරියක් අත්අඩංගුවට ගත් නැඟෙනහිර පළාත් නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා රණවිරුවන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගෙන දැන් මාස 10යි. මේ පිරිසට එරෙහිව තවම නිසි චෝදනාවක් නැහැ. භෞතික සාක්‍ෂි නැහැ. පසුගියදා මේ අයට එරෙහි නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරු ලෙස හඳුන්වා දී ඇති බස්නායක මුදියන්සේලාගේ විජයකාන්තන් සාක්‍ෂි දුන්නා, ‘මම මේ විදියට සාක්‍ෂි දෙන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත කන්දප්පා හෙවත් නිශාන්ත ද සිල්වාගේ බලපෑමටයි. ඒ වගේම මේ නඩුවේ දෙවන විත්තිකරු වන නාවික හමුදා නිලධාරී කේ. පී. වෙලගෙදරත් මට මෙහෙම කියන්න කීවා. නමුත් මම මේ අතුරුදහන් කළා යැයි කියන තරුණයන් 11 දෙනා දැකලා නැහැ. ඔවුන් මා සේවය කළ කඳවුරකට ගෙනාවෙත් නැහැ’ කියලා. ඒ අනුව ඉතා පැහැදිලියි, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකරලාට, නිශාන්ත කන්දප්පලාට ඔවුන්ගේ හාම්පුතුන් කියන්නේ ‘මේ සුමිත් රණසිංහලාත් ෂම්මි කුමාරරත්නලා, ප්‍රබෝධ සිරිවර්ධනලා වගේ බොරු චෝදනා, බොරු සාක්‍ෂි හදලා පුළුවන් තරම් කාලයක් හිරේ තියාපල්ලා’ කියලයි.
‘මල් තියලා වඳින්න ඕනෙ මිනිස්සු’
මදක් හිතන්න එදා ඒ සුමිත් රණසිංහ රණවිරුවා ඇතුළු කණ්ඩායම ඒ බෝම්බ ලොරිය අත්අඩංගුවට නොගත්තා නම් කොළඹ දී අහිංසක ජනතාව දහස් ගණනකගේ ජීවිත ඒ බෝම්බවලට බිලි වෙන්න තිබුණා. අපි කළගුණ දන්නා මිනිස්සු නම් මේ අසීමිත කැප කිරීම් කළ රණවිරුවන්ට මල් තියලා වඳින්න ඕනෙ. ඒ වගේම හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායකට අත් වූ ඉරණම බලන්න. 2008 අග භාගයේදී බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණා ප්‍රභාකරන්, සුසෙයි, නඬේසන් ඇතුළු ප්‍රබල කොටි නායකයන් මුලතිව් මුහුදෙන් පැන යාමට සූදානම් වන බව. ඒ වගේම අපි දන්නවා යුද්ධය අවසන් කාලසීමාවේ ඇමෙරිකා එක්සත් ජනපද මැරයින් බලකායට අයත් නෞකාවක් මුලතිව් මුහුදු සීමාවේ නවතා තිබූ බව. ඒත් මේ ප්‍රබල කොටි නායකයන් කිසිවකුටත් පැන යාමට ඉඩ ලැබුණේ නැහැ. එහෙම වුණේ අපේ නාවික හමුදා විරුවන් ඇරෝ බෝට්ටු 400කින් යුත් ආරක්‍ෂක වලල්ලක් යොදා ගනිමින් මුලතිව් මුහුදු තීරයට කිසිවකුටත් ඇතුළු වීමට ඉඩ නොදුන් නිසයි. මේ ආරක්‍ෂක වලල්ලට නායකත්වය දුන්නේ කවුද? කොමදෝරු ඩී. පී. කේ. දසනායක රණවිරුවා. ඔහු මේ ඇරෝ බෝට්ටු බලකාය සමග මුලතිව් මුහුදට ගියේ 2008 දෙසැම්බර් 22 වැනිදා. නැවත ආවේ යුද විජයග්‍රහණයෙන් පසුව 2009 මැයි 22 වැනිදා. හරියටම මාස 06ක් ඔහු කරදිය වලල්ලේ රැඳෙමින් මේ ආරක්‍ෂක වලල්ලට නායකත්වය දුන්නා. මේ මාස 06ටම ඔහු ගොඩබිමට ආවේ දින 05 – 06ක්. ඒත් දිනකට පැය 04 – 05 කාලයකට. මාස 06කට පස්සේ ගොඩබිමට ආවේ බොහෝ වෙහෙසට පත්, කෘෂ වූ ඩී. පී. කේ. දසනායක කෙනෙක්. මේ මිනිසා එහිදී අසාමාන්‍ය කැප කිරීමක් සිදු කළා. මාස 06ක් බොහෝ දුෂ්කරතා විඳිමින් මුහුදේ ගත කළ ඔහුට කොඳුඇට පෙළේ ආබාධයක් හට ගෙන තිබුණා. නමුත් මේ වීරෝදාර මිනිසාට යහපාලකයන් සැලකුවේ කොහොමද?
‘ඩී. පී. කේ. දසනායකට සලකපු කුරිරු ආකාරය’
සිරිසේන – වික්‍රමසිංහ පාලනය ඩී. කේ. පී. දසනායක රණවිරුවාටත් එරෙහිව අභූත චෝදනා නැඟුවා. දෙමළ ඩයස්පෝරාවට, ඇමෙරිකාව ප්‍රමුඛ මේ රූකඩ පාලකයන්ගේ හාම්පුතුන්ට වේළුපිල්ලේ පිරබාහරන්ට පැනලා යාමට ඉඩ නොදීමේ පලිය, මේ රණවිරුවාගෙන් ගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසයි බෙන් එමර්සන් කියන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා ලංකාවට පැමිණි දිනයේදීම ඩී. කේ. පී. දසනායක අත්අඩංගුවට ගෙන ‘ඔන්න අපි අපේ වැඬේ හරියටම කරනවා’ කියලා මේ නිවට පාලකයන් පෙන්වා දුන්නේ. මෙවැනි අකෘතඥකමක් ජාතියකට කළ හැකි ද?
කෙසේ නමුත් අත්අඩංගුවට ගත්තු ඩී. කේ. පී. දසනායක රණවිරුවා පරීක්‍ෂා කරපු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරිය පැවසුවේ ඔහුගේ රෝගී තත්ත්වය අනුව ඔහු රඳවා තැබීමට බන්ධනාගාර රෝහල කිසිසේත්ම සුදුසු නොවන බවයි. ඒත් ඒ කිසිවකට ඇහුම්කන් නොදුන්නු මේ දුෂ්ට පාලකයන් ඇමෙරිකාව, දෙමළ ඩයස්පෝරාව, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සතුටු කිරීමට ඩී. කේ. පී. දසනායක රණවිරුවා මාස 05ක් තිස්සේ ඔහුගේ ජීවිතය අවදානමේ හෙළමින් ඔහුව බන්ධනාගාර රෝහලේම රඳවා තැබුවා. කොතරම් කුරිරුකමක් ද?
‘සුමිත් රණසිංහගේ නැන්දණියට අත් වූ ඉරණම’
සුමිත් රණසිංහ රණවිරුවාගේ එක් ඇසක් පෙනෙන්නේ නැහැ. එක් කනක් ඇසෙන්නේ නැහැ. ඒ ක්‍රියාන්විතයකදී සිදු වූ තුවාල නිසා. තම පුතාට ක්‍රියාන්විතයකදී සිදු වුණු ඒ අනතුර අහපු ඔහුගේ මව තවමත් ඉන්නේ කම්පන තත්ත්වයක. බිරිඳ සහ දරුවන් ද එවැනි තත්ත්වයකට පත්ව සිටියා. එම නිවසෙහි බර කරට ගෙන කටයුතු කළේ සුමිත් රණසිංහ රණවිරුවාගේ බිරිඳගේ මවයි. මේ අනේකවිද කැප කිරීම් කළ රණවිරුවා අසත්‍ය චෝදනා නඟා මාස 10ක් තිස්සේ ඇප ලබා නොදී හිරේ දමාගෙන සිටින එක මේ පවුලේ බර කරට ගත්තු ඔහුගේ නැන්දණියට තවදුරටත් ඉවසා ගත නොහැකි දිනයක් උදා වුණා. ඒ පසුගිය දෙසැම්බර් 02 වැනිදා. ඒ දිනයේදීත් ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු පිරිසට ඇප ලැබුණේ නැහැ. එදින රාත්‍රියේ මේ නැන්දණිය තමන්ගේ ගෙදර ළිඳට පැන දිවි නසා ගත්තා. මම අහනවා, ‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි මේක මිනීමැරුමක් නොවෙයිද? මේකට මේ ආණ්ඩුව වගකිව යුතු නැද්ද?’ කියලා.
‘දඩයම ඉවර නැහැ’
රණවිරුවන් දඩයම මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. දැන් රණවිරුවන්ට එරෙහිව චෝදනා හදන ෆැක්ටරිය ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ පිහිටුවා අවසන්. ඒ නිසා අපි පෙබරවාරි 10 වැනිදා, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනතාවගේ මරණ බිය තුරන් කරපු, අසාමාන්‍ය කැප කිරීම් කරපු මේ රණවිරුවන් දඩයම් කිරීම නතර කිරීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් අපේ ඡන්දය පාවිච්චි කළ යුතුව තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලනිපයවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ එජාපයවත් සම්බන්ධන්ගේ ටී. එන්. ඒ. එකවත් අනුර දිසානායකගේ ජවිපෙවත් ඒ දේ කරන්නේ නැහැ. ඒ නිසා අපි කෘතගුණ දන්නා ජනතාවක් ලෙස අපේ ඡන්දය, රණවිරු දඩයම නැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන ව්‍යාපාරය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ ඉදිරියේ කතිරය සලකුණු කළ යුතුව තිබෙනවා. එයයි ඔබේ යුතුකම.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/01/09

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *