මෙවරවත් ස්වාභාවික ආපදාවෙන් විපතට පත්වූවන්ට  ආණ්ඩුව කඩිනමින් සහන සැලසිය යුතුයි!

නොවැම්බර් 29 වැනිදා රාත්‍රියේ සිට රටට බල පෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 11කට අයත් 20,000කට අධික පිරිසක් අවතැන්ව සිටිති. දිවි අහිමි වූ පිරිස 07කි. අතුරුදහන් වූවන් 23කි. පූර්ණ හානියට පත් නිවාස 202කි. නිවාස 3000කට වැඩි ගණනකට හානි සිදුව තිබේ. ගංගා පිටාර ගැලීමේ තත්වයක් සහ බොහෝ දිස්ත්‍රික්කවල නාය යාමේ තත්වයක් ද පැන නැගී ඇති බැවින් තවත් විශාල පිරිසක් අවදානමට ලක් වීමේ ඉඩකඩක් ද නිර්මාණය වී තිබේ.
එහෙත් ආණ්ඩුව මෙවර ද සිය සුපුරුදු පිළිවෙත අනුගමනය කරමින් සිටියි. එනම් නිලධාරීන්ට උපදෙස් දීම්, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම්, අනතුරු හැඟවීම් ආදියට සීමා වී විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනම් සහන සැලසීමේ ක්‍රියාන්විතයකට පණ නොපෙවීම ය. 2015 සිට මේ දක්වා ඇති වූ ස්වාභාවික ආපදා තත්වයන්හි දී ඔවුන් පෙන්වා ඇත්තේ එවන් පූර්වාදර්ශයකි.
රට පුරා ජනතාව, විපතට පත් තම සහෝදර ජනතාවට සහන සැලසීමට පෙරට එන විට මේ ආණ්ඩුව සැමවිට සිටියේ ඒ යුතුකම්, මනුස්සකම් දත් ජනතාවට පිටුපසිනි. ඒ බව ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවූව ද ආණ්ඩුවට යළිත් වරක් සිහිපත් කර දිය යුතුව තිබේ. එහෙයින් මෙවර ස්වාභාවික ආපදාවෙන් විපතට පත්වූවනට කඩිනමින් සහන සැලසීමට, මාධ්‍ය සංදර්ශන වෙනුවට බිම් මට්ටම දක්වා වූ කඩිනම් වැඩපිළිවෙළක් සැකසීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය වහා යොමු විය යුතුව ඇත.
විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2017-12-01

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *