රට හමුවේ වන අභියෝග සමඟ සටන් වැද ඒවා ජය ගැනීමට අදිටන් කර ගනිමු!

නව වසර උදා වන්නේ මෙරට ස්වදේශික ජනතාවට සතුටු වීමට හැකි වාතාවරණයක් යටතේ නොවේ. එක් පසෙකින් ආර්ථිකය දිනෙන් දින බිඳ වැටෙමින් තිබේ. හම්බන්තොට වරාය වැනි ජාතිය සතු අනගිතම ජාතික සම්පතක් අපට අහිමි කලේ පසුගිය වසරේ දී ය. එවැනි ජාතික සම්පත් රැසක් මේ වසර තුළ අපට අහිමි කිරීමට සැලැසුම් කර තිබේ. රටේ ඒකීයභාවය අවසන් කෙරෙන බෙදුම්වාදී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නියමිතව ඇත්තේ ද මේ එළඹෙන වසරේ දී ය. රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට මුළුමනින්ම විවෘත කර දෙන එට්කා ගිවිසුම ද මේ වසරේ දී අත්සන් කිරීම්ට ඉන්දීය බලධාරීන්ට පොරොන්දු දී තිබේ.

ඉහත සියලූ කරුණුවලින් කියවෙන්නේ අපේ රට ඉතාමත් බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන ආදී අභියෝග රැසකට මුහුණ දී සිටින බව නොවේ ද? එබැවින් අප ජාතියක් ලෙස ඉහත අභියෝග සමග සටන් වැද ඒවා ජයග්‍රහණය කිරීමේ අභිප්‍රාය පළමුව ඇති කර ගත යුතු ය.

අප හමුවේ වන අභියෝග ජය ගැනීමේ දී ඉතා වැදගත් වන්නේ රටට හතුරු බලවේග සහ සැලසුම් නිවැරදිව හඳුනා ගැනීම ය. එතැනින් නොනැවතී එකී සතුරු බලවේග පැරදවීමේ හැකියාව ද අප සතු විය යුතු ය.

රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට රටට සතුරු බලවේග සැලසුම් පැරදවීමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබේවා’යි මේ නව වසරේ ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2018-01-01

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *