“බැඳුම්කර මගඩිය සිදු වුණේ ජවිපෙ අනුර දිසානායකලා අගමැති වික්‍රමසිංහ සමඟ රට පාලනය කිරීමට අටවාගත් ජාතික විධායක සභාවේ ඉඳගෙන සිටියදී බව අමතක කරන්න එපා!” – ජාතික නිදහස් පෙරමුණ

මේ රටේ ඉතිහාසය තුළ සිදු වූ බරපතළම මූල්‍ය වංචාව වූ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදු වන අවස්ථාවේ දින 100යේ ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගත් ‘ජාතික විධායක සභාවේ’ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකලා ද අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සම අසුන් ගෙන සිටි අන්දම සිහියට නඟා ගෙන පෙබරවාරි 10 වැනිදා සිය ඡන්දය භාවිතා කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද (11) එම පක්‍ෂයේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ ‘යහපාලනය’ තරම්, රටට සිදු කළ හැකි අනර්ථකාරී ක්‍රියා සියල්ල මෙතරම් වේගයෙන් සිදු කළ වෙනත් පාලනයක් අපට ඉතිහාසය තුළ හමු වන්නේ නැහැ. මේ රටට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සාකච්ඡා නතර වී තිබූ අවස්ථාවක බලයට පැමිණි මේ අය ඉතාමත් කූඨ ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමේ අවස්ථාව දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ විතරක් නොවෙයි මේ වසර තුන තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලියට ස්වකැමැත්තෙන් එකඟ වීමෙන් මේ ‘යහපාලනයෙන්’ මේ රට රාජ්‍යතාන්ත්‍රික උගුලකට ද හසු කර අවසන්.

‘තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය’

ඒ විතරක් නොවෙයි, මේ වසර තුන තුළ තරම් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වූ වෙනත් යුගයක් නැති තරම්. එක පැත්තකින් මැතිවරණ කල් දමමින් මැතිවරණ සිතියම හකුළනු ලැබුවා. පාර්ලිමේන්තුවේ බහුතරය හිමි විපක්‍ෂ කණ්ඩායමට සිදු කළ දෙය බලන්න. මහින්දවාදී ජනතාව එම දේශපාලන බලවේගයට මන්ත්‍රී ධුර 95ක් ලබා දුන්නා. මේ දුර්දාන්ත පාලනය එවැනි බලයක් ලබා දුන් ජනතාවගේ කැමැත්තට කුමක් සිදු කරනු ලැබුවේ? එම ජනතා කැමැත්ත අමු අමුවේ කොල්ලකනු ලැබීමයි. අදටත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ව්‍යවස්ථානුකූලව හිමි විය යුත්තේ එම කණ්ඩායමටයි. නමුත් මන්ත්‍රී ධුර 16 ක් හිමි කණ්ඩායමට විපක්‍ෂ නායක ධුරය දීලා, මන්ත්‍රී ධුර 06ක් හිමි කණ්ඩායමට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දීලා මේ සිරිසේන – වික්‍රමසිංහ – සම්බන්ධන් -අනුර හවුල ජනතාවගේ කැමැත්ත කොල්ල කාලා රටට වින කරමින් තම දුර්දාන්ත පාලනය ගෙන යනවා.

‘නැව් එනතුරු කට ඇරන් බලා සිටීම’

අපේ රටේ ආර්ථිකයට ඉතාමත් අහිතකර බලපෑමක් සිදු කළ කාලය තමයි මේ ‘යහපාලනයේ’ ගෙවී ගිය වසර තුන. අද ආර්ථිකයේ කඩා වැටීම කොතරම් ද කියනවා නම්, අද ජනතාවට හාල් නැව, පොල් නැව, තෙල් නැව, විතරක් නෙවෙයි පොහොර නැවත් එනතුරු බලා ඉන්න වෙලා තියෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ බරපතළම මූල්‍ය වංචාව වූ බැඳුම්කර වංචාව සිදු වූයේ මේ ‘යහපාලකයන්’ බලයට පත් වී දින 100ක් ගෙවෙන්නත් කලින්. මේ බැඳුම්කර මගඩිය සිදුවුණේ රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, අනුර දිසානායක මනෝ ගනේෂන් ඇතුළු මේ රටට හතුරු හවුල ‘ජාතික සභාව’ නමින් ව්‍යුහයක් හදා ගෙන රට පාලනය කරමින් සිටිය දී බව අමතක කරන්න එපාෟ අද මොන තරම් සුදනෝ වෙන්න හැදුවත් අනුර දිසානායකලා රනිල් වික්‍රමසිංහ සමඟ එකතුව රට පාලනය කිරීමේ තීන්දු තීරණ ගත්තු දින 100 තුළ තමයි මේ මහා මූල්‍ය වංචාව සිදු වුණේ.

මේ මූල්‍ය වංචාවෙන් රටට සිදු වූ පාඩුව ගණනය කරන්නට බැහැ. නමුත් ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාව ඇසුරෙන් කළ කරුණු දැක්වීමේ දී පැවසූ අන්දමට රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 11,145යි, රුපියල් කෝටි 1114.5යි, රුපියල් බිලියන 11.145යි. නමුත් මේ මගඩියෙන් පස්සේ අපේ රටේ ණය පොලී අනුපාතය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම ‘මහ බැංකුව කොල්ලකෑවා’ කියන තකාවත් සමඟ ආයෝජකයන් සිය මුදල් ආපසු රැගෙන යනවා. විදෙස් සංචිත පහළ බහිනවා. ඩොලරය රුපියලට සාපේක්ෂව ඉතිහාසයේ වැඩිම ඉහළ යාමට ලක් වෙනවා. අද ඩොලරයට අපි රුපියල් 155ක් ගෙවන්න ඕනෙ. ඒ නිසා රටේ විදේශ ණය ප්‍රමාණය ඉතා ඉහළ යනවා. කනකර උකස් කළ දුප්පතාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා මේ මගඩියේ ගොදුරු බවට පත් වෙනවා. මුළුමහත් සමාජයම පත් වූ ආර්ථික ගැටළු දෙස බැලීමේ දී රටට සිදු වූ සමස්ත අලාභය ගණනය කළ නොහැකි තරම්. රජයට සිදු වූ මූල්‍ය අලාභය පමණයි බැඳුම්කර කොමිෂන් වාර්තාවේ සඳහන් මිලියන 11,145 කියන්නේ. මේ ගනුදෙනුව වසර 30ක් පුරා ඇදී යනවා. එවිට රටට මොන තරම් හානියක් සිදු වේවි ද? සමස්ත ලාංකේය සමාජයට සිදු වූ එම හානිය ටි්‍රලියන, බිලියනවලින් ගණනය කරන්න බැහැ. ඒ නිසා මේ මගඩියේ වගඋත්තරකරුවන්ට කඩිනමින් නීතිය මගින් දඬුවම් දිය යුතුයි.

‘අගමැතිවරයකුට නුසුදුසු හැසිරීමක්’

නමුත් රටේ අවාසනාවට එහෙම දඬුවම් දීමක් සිදු වේවි ද, කියා කියන්න බැහැ. ඊයේ (10) උදේ බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණා. නමුත් එය එසේ ඉදිරිපත් කළේ නැහැ. එම වාර්තාව සභාගත නොකර විවාදයක් සිදු කිරීමට බැහැ. අවසානයේ එම වාර්තාව ඉදිරිපත් නොකර අගමැතිවරයා තම වරප්‍රසාද ඉතා කූඨ ලෙස යොදා ගනිමින් මේ සිදුවීම වෙනතකට හරවමින් ප්‍රකාශයක් සිදු කළා. කථානායකවරයා යටපත් කර ගනිමින්, අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුව ගුටිබැට හුවමාරු වන තත්වයකට ඇද දමලා තමන්ගේ ‘ක්ලීන් සූට්’ එක බේරගන්න හැදුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ පෙන්නුම් කළේ අගමැතිවරයකුට සුදුසු හැසිරීමක් නොවෙයි.

‘ඉතිරි බිලියන 06ට මොකද වුණේ?’

පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තාකර තිබුණා පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ ලාභය බිලියන 5ක්, කෝටි 500ක්, මිලියන 5000ක් කියලා. නමුත් බැඳුම්කර කොමිසම කියනවා, මේ සමාගම රජයට සිදු කළ මූල්‍ය අලාභය බිලියන 11, කෝටි 1100, මිලියන 11,000ක් කියලා. රජයෙන් හොරකම් කළ බිලියන 11න් ගිණුම්ගතව ඇත්තේ බිලියන 05ක් නම් තවත් රුපියල් බිලියන 06ක් කාගේ හරි සාක්කුවලට යා යුතුව තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ බිලියන 06, කෝටි 600, මිලියන 6000 තමයි සන්තෝසම්, වරප්‍රසාද, අල්ලස් වශයෙන් ලබා දී ඇත්තේ කියා. ඒ ගැන විශේෂ විමර්ශනයක් සිදු විය යුතුයි. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ මගඩිය නීතිය, අධිකරණය ඉදිරියේ පමණක් විනිශ්චය විය යුතු දෙයක් නොවෙයි කියා. මේ මූල්‍ය වංචාව නිසා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වගේ කර්මාන්ත ශාලා 03ක් ඉදිකිරීමට තිබූ මුදලක් අපතේ ගියා. ඒ වගේම තරුණ තරුණියන් 50,000කට රැකියා ලබා දීමට තිබූ මුදලක් තමයි මේ විදියට විනාස කළේ. ලක්‍ෂ්මන් යාපා අබේගුණවර්ධන අමාත්‍යවරයා පැවසූ අන්දමට මෙමගින් සිදු වූ සමස්ත අලාභය රුපියල් ටි්‍රලියනයක්. රුපියල් ටි්‍රලියනයක් කියන්නේ මේ රටේ වෙරළ තීරය වටා රුපියල් 5000 කොළවලින් සරසන්න පුළුවන් මුදලක්.

ඔන්න බැඳුම්කර මගඩියෙන් සිදු වූ පාඩුව. මේ මගඩිය ජනතා අධිකරණයේ විනිශ්චයට භාජනය විය යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා, මේ දුර්දාන්ත පාලනයට පෙබරවාරි 10 වැනිදා ජනතා අධිකරණයෙන් ඉතා නිවැරදි විනිශ්චයක් ලැබෙයි කියා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ නියෝජ්‍ය ලේකම්, හිටපු පළාත් අමාත්‍ය නිමල් පියතිස්ස මහතා ද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/01-11

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *