මහ බැංකු මංකොල්ලකරුවන් රජකම් කරන, විදුහල්පතිනියන් දණගස්වන දාමරිකයන් මහ ඇමතිකම් කරන මේ අබුද්දස්ස කාලයට තිත තියන්න පෙබරවාරි 10 වැනිදා යොදා ගනිමු! – ජාතික නිදහස් පෙරමුණ

මහ බැංකු මංකොල්ලකරුවන් රජකම් කරන, විදුහල්පතිනියන් දණගස්සන දාමරිකයන් මහ ඇමතිකම් කරන මේ අබුද්දස්ස කාලයට තිත තැබීමට එළඹෙන පෙබරවාරි 10 වැනිදා මැතිවරණය යොදා ගන්න ලෙස ජාතික නිදහස් පෙරමුණ මෙරට අයුක්තිය, අසාධාරණය පිටු දකින සියලු ජන කොටස් වෙතින් ඉල්ලා සිටියි.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ඉල්ලා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ සිංගප්පූරු අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ‘සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමකට ’ අත්සන් තැබීමට බව අපට වාර්තා වී තිබෙනවා. සිංගප්පූරුව කියන්නේ අපේ කොළඹ නගරය තරම් විශාලත්වයක් ඇති, මිලියන 03ක පමණ ජනගහනයක් ඇති, ඒ වගේම කිසිදු නිෂ්පාදනයක් නොකරන රටක්. ඔවුන්ට ඇත්තේ ප්‍රබල සේවා ආර්ථිකයක්. එවැනි රටක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුණහොත් අපේ රටේ වෘත්තිකයන් ඇතුළු සේවා සපයන ආයතන, සමස්තයක් ලෙස මෙරට සේවා ආර්ථිකය බරපතළ අර්බුදයකට පත් වෙනවා. ශ්‍රී ලංකාව අද සහල්, පොල් ආදියත් ආනයනය කරන තැනට පත්ව තිබෙනවා. අපට සිංගප්පූරුවට අපනයනය කිරීමට කිසිදු නිෂ්පාදනයක් මේ වන විට නැහැ. එහෙම වුණාට මේ නිදහස් වෙළද ගිවිසුමෙන් ලැබෙන බදු සහන පාවිච්චි කරලා සිංගප්පූරුවට මෙරටට භාණ්ඩ හා සේවා සැපයීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම සිංගප්පූරුව බොහෝ ආසියානු රටවල් සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. ඒ අනුව ඔවුන් බොහෝ භාණ්ඩ තම රටට තීරුබදු රහිතව ගෙන්වා ගන්නවා. ඒ භාණ්ඩ ප්‍රතිඅපනයනය කිරීමත් ඔවුන්ගේ එක් ව්‍යාපාරයක්. මේ අපේ රට සමඟ අත්සන් තබන නව වෙළඳ ගිවිසුමත් සමඟ ඔවුන් අනෙක් රටවලින් ගෙන්වා ගන්නා ප්‍රමිතියෙන් අඩු භාණ්ඩ මෙරටට ප්‍රතිඅපනයනය කිරීමේ අවදානම ද මතුව තිබෙනවා.

සේවා ආර්ථිකය හා වෘත්තිකයන් අනතුරේ

මේ පිළිබඳව වෘත්තීයවේදීන්ගේ සංවිධාන, විෂය භාර අමාත්‍ය මලික් සමරවික්‍රම සහ අමාත්‍යාංශ ලේකම්වරිය සමඟ සිදු කළ සාකච්ඡාවල දී එතුමිය පිළිගෙන තිබෙනවා මෙවැනි ගිවිසුම්වලට එළඹීමේ දී වෘත්තීයවේදීන් සහ සේවාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් නීති මේ රටේ නැති බව. 2017 වසරේ පැවැති එම සාකච්ඡාවල දී එවැනි නීති පැනවිය යුතු බවට ද දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති වී තිබෙනවා. එවැනි කිසිදු නීති පද්ධතියක් හඳුන්වා දීමකින් තොරවයි දැන් මේ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට සැරසෙන්නේ. ඡන්දය පැවැත්වෙන අවස්ථාවේ ‘මේ රට සිංගප්පූරුව වගේ කරනවා’ වැනි අඳබාල කතා කීමට කරන වැඩක් මිස මෙය අන් කිසිවක් නොවෙයි.

‘ විදුහල්පතිනියක් දණගැස්වූ ආණ්ඩුවකට පාර කැපුවේ කව්ද?’

ඒ වගේම ඌව පළාත් මහ ඇමතිවරයා විදුහල්පතිවරියක් දණගැස්වීමේ සිදු වීම පිළිබඳව අපේ අවධානය යොමු කිරීමට කැමතියි. පසුගිය ආණ්ඩුවට ගුරුවරියක් දණගැස්සූ බවට චෝදනා කරමින් තමයි මේ යහපාලන ආණ්ඩුව බලයට ආවේ. එහෙම ආණ්ඩුවක් අද ගුරුවරියක් වෙනුවට විදුහල්පතිවරියක් දණගස්වන තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. දැන් ‘එයා ශ්‍රී ලනිප මහ ඇමැති, යූඇන්පී නොවෙයි’ කියමින් ඇග බේරා ගන්න හදන්න එපා! මේ පුද්ගලයා මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම බලයට පත් කළ ඌව මහ ඇමැති, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉවත් කරලා මේ ආණ්ඩුව පත් කරපු ඌව පළාත් මහ ඇමති, සමන්ත විද්‍යාරත්නලා ‘රාජපක්ෂ රෙජීමයේ මහ ඇමති’ පන්නලා පත් කරලා දුන්නු මහ ඇමති. දැන් විදුහල්පතිවරිය දණගැස්සවීමේ චෝදනාවෙන් මේ යහපාලන ආණ්ඩුවටත්, බොරු කප්පරක් කියලා, තිබුණු ආණ්ඩුව ගෙදර යවන්න පාර කපපු ජවිපෙටත් ගැලවෙන්න බැහැ. එජාපය සහ ජවිපෙ දැන් තමන්ගේ ඡන්ද මලු පුරවාගන්න ශ්‍රී ලනිපයට විරුද්ධව මේ සිදු වීම පාවිච්චි කළත් මේ රටේ බුද්ධිමත්, විචාර බුද්ධියෙන් යුතු ගුරු පරපුර මේ සිදු වෙමින් පවතින විනාශය ගැඹුරින් තේරුම් ගනීවි කියා අපි සිතනවා.

දැන්වත් බොරු රණ්ඩු නවත්තලා, විහිළුකාර උත්තර නොදී මහ ඇමතිවරයා තාවකාලිකව හෝ තනතුරෙන් ඉවත් කර රටම කම්පාවට පත් කළ මේ සිදුවීම පිළිබඳව විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පළාත් රාජ්‍ය සේවය මෙහෙයවන මහ ඇමති ධුරය ළඟ තබා ගෙන පළාත් අධ්‍යාපන ඇමැතිකමින් ඉවත් වී සපයන විහිළුවලින් වැඩක් වෙන්නේ නැහැ.

‘අනුරගේ පෞද්ගලික ලේකම්’

ජනතා විමුක්ති පෙරමුණ පිළිබදවත් යමක් මේ මොහොතේ කියන්න ඕනේ. 2015 ජනාධිපතිවරණයේ දී හංසයා දිනවන්න පෝස්ටර් ගහපු, පත්‍රිකා බෙදපු පිරිසක් තමයි ජවිපෙ කියන්නේ. 2015 ජනවාරි 08 වැනි දා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවලා මේ අය හදපු දින 100 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළින් තිබුණු ජාතික විධායක සභාවේ සාමාජිකයකු ලෙස අනුර දිසානායක කටයුතු කළා. ‘හොරු ඇල්ලීම’ සඳහා යැයි කියමින් එම ජාතික විධායක සභාවේ අනුර දිසානායක, රාජිත සේනාරත්න, චම්පික රණවක ආදීන්ගේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලැබූ ‘ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ’ අධ්‍යක්ෂ ධුරය ලබා දුන්නේ අනුර දිසානායක කෘෂිකර්ම ඇමැති ධුරය දරන කාලයේ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ආනන්ද විජේපාල නැමැත්තාටයි. අපට මතකයි ජවිපෙ එදා දින 100 ආණ්ඩුවේ හයිය අතට අරගෙන රුසියානු තානාපති කාර්යාලයට ලබා දී තිබුණු ඉඩමකටත් බලහත්කාරයෙන් කඩා වැදුණු අයුරු.

අනුරගේ නියෝජ්‍ය ඇමති වරප්‍රසාද

ජවිපෙ දින 100 ආණ්ඩුවේ එහෙම සැලකිලි ලැබුවා. ඉන් පසුව 2015 අගෝස්තු 18 මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 06ක් යන්තමින් ගත්තා. එතැනදීත් මන්ත්‍රී ධුර 51ක් තිබුණු සැබෑ විපක්ෂය පසෙක ලා ප්‍රජාතන්ත්‍ර විරෝධීව මන්ත්‍රී ධුර 16ක් තිබුණු සම්බන්ධන්ට විපක්ෂ නායක ධුරය ලබා දෙන විට, අනුර දිසානායක ලැජ්ජා නැතිව නියෝජ්‍ය ඇමැති ධුරයකට හිමි වරප්‍රසාද සහිත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා ගත්තා. මෙම ධුරය ලබා ගෙන ජවිපෙ පාර්ලිමේන්තුව තුළ කටයුතු කළේ කොහොම ද? පළාත් පාලන ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට සහයෝගය දුන්නා. ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය මෙතරම් දුරක් ගෙන ඒමට උපරිම සහයෝගය දුන්නා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ අනුව අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හදන පනතට අත ඔසවාලා. රණවිරුවන් දඩයම් කිරීමට සහයෝගය දුන්නා.

‘රතුපාට ඡන්ද මල්ල’

‘දැන් ආණ්ඩුවේ පිල් දෙක නිල්පාට ඡන්ද මල්ල වෙනම අරගෙන යනවා, කොළපාට ඡන්ද මල්ල වෙනම අරගෙන යනවා’ කියලා අනුර දිසානායකම කියනවා. ආණ්ඩුවේ නිල්පාට, කොළපාට පිල් දෙක ඡන්ද මලු ඒ විදිහට වෙන වෙනම පුරවා ගන්න හදද්දි, ඒ ආණ්ඩුවේ ‘ස්පෙයාර් වීල්’ එක වුණු ජවිපෙ රතුපාට ඡන්ද මල්ල වෙනම අරගෙන යනවා. ඒක පුරවා ගන්න නිල්, කොළ ගජ මිතුරන්ට බොරුවට බනිනවා. පෙබරවාරි 10 වැනිදායින් පස්සේ මේ තුන්ගොල්ලෝ එකතු වෙලා මේ යහපාලනය ඉදිරියට ගෙන යාවි. දැන් මේ තුන්ගොල්ලොම ජන්ද මලු තුනක් අරගෙන ඔබ ගාවට එකිනෙකා විවේචනය කරමින් පැමිණේවි. මේ ව්‍යාජ රංගනයට රැවටෙන්න එපා. මේ ජනතා අභිලාෂයට පිටු පෑ තුන්ගොල්ලන්ටම අතුල් පහරක් දෙන්න මේ ඡන්දය පාවිච්චි කරන්න.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018-01-23

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *