නිදහස සැමරිය යුත්තේ රටට අභිමානයක් ලැබෙන ආකාරයට මිස නිගාවක් ගෙන දෙන ආකාරයට නොවේ

1815 දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමිනියන් නිදහස’ ලෙස හැඳින් වූ එම තත්ත්වය වෙනස් වූයේ පළමු ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරැඹි 1972 මැයි 22 වැනිදා සිට ය. ඒ කෙසේ වෙතත් අද වන විට එකී නාමික නිදහස අප වෙත ලැබී වසර 70 කි.

1948 දී ලේ බිඳුවකුදු නොහෙලා නිදහස ලැබූ බව ඇතැමුන් පැවසුව ද සත්‍යය එයම නොවේ. 1818 ඌව – වෙල්ලස්ස නිදහස් අරගලය හෙවත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පැන නැගි ප්‍රථම නිදහස් අරගලයේ දී දිවි පිදූ මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු අපගේ වීර මුතුන්මිත්තන්ගේ රුධිරය ඒ තුළ තිබේ. එසේම 1848 දී පැන නැගි දෙවන නිදහස් අරගලයේ දී වීර පුරන්අප්පු වැනි වීර මුතුන්මිත්තෝ දහස් ගණනින් දිවි පිදූහ. අප රටක්, ජාතියක් ලෙස සමරනු ලබන්නේ එවන් කුරිරුකම්, සැහැසිකම් මැද බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් ලද නිදහසකි.

නමුත් එවන් වූ සමරුවකට, අද වත්මන් පාලකයන් ඒ අප නිදහස ලැබූ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නූතන සංකේතයක් වන එඞ්වඞ් කුමරු හා ඔහුගේ ආර්යාව කැඳවා තිබේ. යම් රටක්, ජාතියක් තමන් ලැබූ කවර හෝ නිදහසක් සැමරිය යුත්තේ රටට, ජාතියට අභිමානයක් ලැබෙන ආකාරයට මිස නිඟාවක් ගෙන දෙන අයුරින් නොවේ. ඉහත ක්‍රියාවෙන් රටට අවමානයක් මිස ලැබෙන්නේ අන් කවරක් ද?

ඒ අතරේ අපගේ සංස්කෘතික මූලයන් නොතකා හැර තිබෙන වත්මන් පාලකයන් තම අධිරාජ්‍යවාදී හාම්පුතුන් සතුටු කිරීමට කළගෙඩි නැටුම්, කුලූ නැටුම් වෙනුවට එම සැමරුමට ‘ලැප්ටොප් නැටුම්’ ද එක්කර තිබේ. පන්සලේ පිංකැටයට ඉබ්බන් වැටෙන්නේ ද, කාන්තාවන්ට මත්පැන් පොවන්නට යන්නේ ද ඒ සංස්කෘතික මූලයන් නොතකා හැරීම තවදුරටත් ජාතිය ඉදිරියේ පෙන්වා දෙමිනි.

ජාතියක් ලෙස මෙම ඛේදනීය තත්වය කඩිනමින් වෙනස් කර ගැනීමට කළ හැකි සියල්ල කිරීමට අප අද දිනයේ තරයේ අදිටන් කර ගත යුතුව තිබේ.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2018-02-04

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *