එකිනෙකා දෙස වෙනස් ඇසකින් බැලූ යුගය දැන්වත් අවසන් කරමු! ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට එක්වෙමු! – මුරලි ඇතුළු දමිල ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ඇමති විමල් කියයි

එකිනෙකා දෙස වෙනස් ඇසකින් බැලූ යුගය දැන් අවසන් බවත් සිංහල, දමිළ, මුස්ලිම් භේදයෙන් තොරව අප සියල්ලන් ශ්‍රී ලංකාව ගොඩනැගීමට අත්වැල් බැඳගත යුතු බවත් ජාතික නිදහස් පෙමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පසුගිය දා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සංවිධානය දමිළ ව්‍යාපාරික ප්‍රජාවේ හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එළැඹෙන මහ මැතිවරණයේ දී විමල් වීරවංශ මහතාගේ ජය තහවුරු කිරීම පිණිස මෙම හමුව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“මීට පෙරත් මම කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් පත්වුණාට පස්සේ මේ ඇතැම් සංගම්වල නියෝජිතයන් අමාත්‍යාංශයට ඇවිත් මාව මුණගැහිලා තියෙනවා. ඒ සමහර ගැටලු මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා තියෙනවා. ලෝකයම මුහුණ දීපු කොරෝනා ස්වාභාවික උවදුර හේතුකොට ගෙන අපට ඉතා විශාල ආර්ථික හා සමාජ – දේශපාලන ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න සිදු වුණා. ජනාධිපතිතුමා තීරණ ගත්තේ ආර්ථික පැත්ත ගැන හිතලා නොවෙයි, මිනිස්සුන්ගේ පැත්ත ගැන හිතලා. එහෙම තීරණ ගත්ත නිසා තමයි අද මේ තරම් දුරට කොරෝනා පාලනය කරගෙන අපිට මේ විදිහට හරි මුණගැහෙන්න වාතාවරණයක් සැකසිලා තියෙන්නේ. මේ වසංගතය පාලනය කරන්න සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි අංශ යොදවා ගෙන නිවැරදි තීරණ අරගෙන නිවැරදිව කළමනාකරණය කිරීමට එතුමා සමත් වුණා.

කොරෝනා අස්සේ වැඩි අපනයන ආදායමක්

කොරෝනා වසංගතයත් එක්ක අපේ ආර්ථිකය ඇණ හිටිනවා. ඒත් එක්කම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙන්න පටන් ගත්තා. ඒ සෑම දෙයකටම විසඳුමක් විදිහට තමයි ක්ෂණිකව ජනාධිපතිතුමන්, මුදල් ඇමති හැටියට අගමැතිතුමන් සහ රාජ්‍ය නිලධාරීන් සාකච්ඡා කරලා පිටරටින් ගෙන්වන දේවල් තාවකාලිකව සීමා කරන්න ගැසට් නිවේදන නිකුත් කළේ. පසුගිය දා ඇමති මණ්ඩලයට ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් යම්කිසි ප්‍රස්ථාරගත ලේඛනයක් ඉදිරිපත් කළා. මේ ලේඛනය අනුව 1976න් පස්සේ අපි පළමුවැනි වතාවට විදේශ රටවලින් ගෙන්වීමට යොදවන වියදමට සාපේක්ෂව අපේ රටෙන් අපි ලෝකයේ ආර්ථිකයට යවන ලද දේවල්වල ආදායම වැඩි වෙලා තියෙනවා.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කරන ලද සමහර සීමා කිරීම් දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න. හැබැයි ප්‍රතිපත්තියක් විදියට දේශීයව නිපදවන්න පුළුවන් නිෂ්පාදන දිරිගැන්වීම එතුමාගේ ප්‍රධාන දෙයක්. ඔබ ශ්‍රී ලංකාවේ ‘උඳු’ ප්‍රශ්නය ගැන කතා කළා. මේ සීමා කිරීමත් එක්ක එහි දී යම්කිසි අර්බුදයක් මතුවෙලා තියෙනවා. ඒ පිළිබද මමත් රමේෂ් පතිරණ ඇමතිතුමාත් කැබිනට් මණ්ඩලයේ දී ඔබතුමන්ලාගේ මතය වෙනුවෙන් කරුණු දක්වලා තියෙනවා.

ජනාධිපතිතුමා ස්ථිර මතයක හිටියා, ‘කෙටි කලකට යම් යම් දුෂ්කරතාවන් මතු වුණත් දීර්ඝ කාලීනව වෙළෙදපොළට අවශ්‍ය කරන නිෂ්පාදන කෙරෙන තැනට අපේ ගොවියා පරිවර්තනය වෙයි’ කියන සුබවාදී ආකල්පයේ. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ හිටපු කෘෂිකර්මික නිෂ්පාදන කෙරෙන දිස්ත්‍රික්කවලින් නියෝජනය වන ඇමතිවරු බොහොමයක් ඒ අවස්ථාවේ දී කියා සිටියා, ‘අපේ ගොවියො කහ, උඳු වවන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ ප්‍රවණතාවය අපි දිරි ගැන්විය යුතුයි’ කියලා.

කහ – උඳු ගැටලුව ටික කලකින් විසදෙනවා…

මම සාමාන්‍යයෙන් සීමා කිරීම් නිසා ඇති වන අර්බුද පිළිබඳ පැමිණිලි ලැබුණු වහාම කරන්නේ පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම්තුමාට කතා කරලා, ඒ දුක්ගැනවිල්ල කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනයට අදාළ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් සෑම අගහරුවාදා දිනයකම පැවැත්වෙන කමිටුවට ඉදිරිපත් කරන්න යෝජනා කිරීම. ඒ අනුව යමින් ව්‍යවසායකයන් 80%කගේ පමණ ගැටලු විසඳලා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ කරුණත් ඉදිරි කාලය තුළ මම ඒ කමිටුවට ඉදිරිපත් කරනවා. ‘මේ කහ සහ උඳු ප්‍රශ්නය කෙටි කාලයක දී විසඳගන්නෙ කොහොමද?’ කියන එකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න මම මේ අවස්ථාවේ දී පොරොන්දු වෙනවා. උඳු ගෙන්වීම සීමා කළේ දෙමළ ජනතාවගේ සිත් රිදවීමේ උවමනාවකින් නොවෙයි. උඳු විතරක් නොවෙයි අපි හැමෝම පාචිච්චි කරන කහ සීමා කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉදිරි අවුරුද්ද ඇතුළට අපට අවශ්‍ය දේවල් වගාකර ගැනීමේ මට්ටමකට ගෙනියන්න. ඒ නිසා මම හිතනවා ‘කෙටිකාලීනව පවතින මෙම දුෂ්කරතා අපි ජය ගත්තොත් දීර්ඝ කාලීනව අපේ රටට යහපත් තත්ත්වයක් උදා වෙයි’ කියලා.

මහින්ද රාජපක්ෂ යුගයේ මේ රටේ කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා විශ්වාසවන්තව ඉදිරි ගමනක් ගියා. බඩගිනි නම් කේන්ද්‍රීය ප්‍රශ්නය බඩගින්න. බඩ පිරුණට පස්සෙ කේන්ද්‍රීය ප්‍රශ්නය බඩගින්න වෙන්නේ නැහැ. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ බඩ පිරුණා කියලා. ඒ වුණාට හිත පිරුණේ නැහැ, වෙනත් වෙනත් ප්‍රශ්න නිසා තීරණය කළා වෙන ආණ්ඩුවක් ගේන්න. ඒ ආණ්ඩුව කාලයේ ඔබ ඇතුළු සියලු ව්‍යාපාරිකයන් වැටුණා. මැනින් මාර්කට් එක පෑලියගොඩට රැගෙන යාමේ දී එහි සිටින වෙළදුන්ට කිසිම අසාධාරණයක් නොවෙන්න එය සිදු කරන බවට සහ ඔබට අසාධාරණයක් වෙනවා නම්, එයට ඉදිරිපත් වෙන බවට මම පොරොන්දු වෙනවා.

අපි කවදත් තීරණ ගත්තේ ජාතිකත්වය බලලා නොවෙයි

නිවාස ඇමතිකම දරද්දී කවුරුත් දන්නවා, ජාතිකත්වය මත මම තීරණය ගත්තේ නැහැ කියලා. මම ගත්තේ නිවැරදි තීරණ. මම නිවාස ඇමතිව සිටිය දී මාව හම්බ හමුවෙන්න ආවා පිටරට පදිංචිව සිට පැමිණි දෙමළ ජාතික පියෙක්. ඔහුට මාලිගාවත්තෙ මහල් නිවාස සංකීර්ණයේ නිවසක් හිමි වෙලා තිබුණා. යුද්දෙ අවසන් වෙනවාත් එක්කම මේ රටට ආපු එයාට නැවත තමන් හිටපු ඒ නිවාසය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. මම එහි සත්‍යතාවය සොයන්න නිලධාරි මණ්ඩලයකට භාර දුන්නාම දැනගන්න ලැබුණා ඒ දෙමළ ජාතිකයාගේ නමට ඒ නිවසෙ ඔප්පුව තියෙන බවට. ඊට පසු ඔප්පුව හිමි කෙනාට නිවාසය ලබා දුන්නා. සිංහල පවුලක් හිටියා කියලා ඒ වරද පවත්වාගෙන යන්න මම කටයුතු කළේ නැහැ. කොළඹ නිවාස සංකීර්ණ සංවර්ධනය කළාට මම දන්නවා එහි වැඩි පිරිසක් සිටින්නේ දෙමළ ජනතාව බව. ඡන්ද ලැබෙන්නේ නැති බවත් දන්නවා. ඒ දැන දැන මාත් ඒ දේවල් කළේ මා තුළ ජාතිවාදි හැඟීම් නැති නිසා. අපි කවුරුත් එක රටේ මිනිස්සු. ඡන්දය ලැබුණත් නොලැබුණත් නිවාස ඇමති මම නම් තියෙන ප්‍රශ්න මම විසඳන්න ඕනෙ. ඇමතිවරයා කියන්නේ ඡන්දය දුන් පිරිසගේ ඇමතිවරයා පමණක් නොවෙයි. ඡන්දය දුන්, නොදුන් සියල්ලකගේම සාධාරණ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු කෙනෙක්.

ජනාධිපතිතුමන් කර්මාන්ත අමාත්‍යාංශය මට බාර දුන්නා. ඔබ දන්නවා රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා වාලච්චේන කඩදාසි කම්හල යකඩවලට විකුණන්න කැබිනට් අනුමැතිය අරන් තිබුණ කියලා. එහෙම තිබුණු එක තමයි අපි ඉන්දියාවෙන් ශිල්පීන් ගෙන්නලා ඒ අයට සාධාරණ මුදලක් ගෙවලා නාවික හමුදාවේ, යුද හමුදාවේ සහයෝගයත් අරගෙන එහි ප්‍රධාන යන්ත්‍ර දෙක නැවත යථා තත්ත්වයට පත් කළේ. තව මාසයක් ඇතුළත එහි වැඩ අපි පටන්ගන්නවා. ඒ කර්මාන්ත ඇති වීමත් සමගම බොහෝ රැකියා අවට සිටින මුස්ලිම්, දෙමළ ජනතාවට හිමි වෙනවා. එතැනදී මම ‘දෙමළ, මුස්ලිම් ජනතාවට රැකියා ලැබෙනවා‘ කියලා වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව වැඩි දියුණු නොකර හිටියේ නැහැ. සිංහල වුණත්, මුස්ලිම් වුණත්, දමිළ වුණත් මේ සේරම මේ රටේ රටවැසියෝ. වාලච්චේන කඩදාසි කම්හල කියන්නේ රටට සම්පතක්.

ශක්තිමත් ශ්‍රී ලංකාවක්

ඔබේ ප්‍රශ්න නියෝජනය කරන්න මම හිතනවා වෙන කාටත් වඩා මුත්තයියා මුරලිදරන් මහතා සුදුසු බව. එතුමා දේශපාලනයට එන්න අදහසකුත් නැහැනේ. නැවතත් රට යථා තත්ත්වයට පත්වී ගෙන ඒ නිසා හැම කර්මාන්තයක්ම දියුණු කරන්න වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා. ඒ නිසා ඔබේ සහයෝගය අපට දෙන්න. ඔබ අප කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න. අපි ඔබේ විශ්වාසය රැකෙන ආකාරයට කටයුතු කරනවා කියලා මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. අපි එකිනෙකා කෙරෙහි වෙනස් ආකාරයෙන් බලන යුගය අවසන් කරලා, එකම සහෝදරයන් ලෙස එකිනෙකා දෙස බලන විදියක් ආරම්භ කරමු. අපට එකිනෙකාගේ ගැටලු විසඳාගෙන ශ්‍රී ලාංකික ජාතිකයන් හැටියට රටක් හැටියට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ එවිටයි. ඒ අනාගතය ගොඩනගන්න අද මේ තබන පියවර විශාල ශක්තිමත් අඩිතාලමක් බවට පත් වේවා.

පසුගිය ආණ්ඩුව දේශීය රෙදිපිළිවලින් පාසල් නිල ඇඳුම් දෙනවයි කිව්වාට පිටරවල්වලින් රෙදිපිළි ගෙනත් පාසල්වලට බෙදා දෙන්න කටයුතු කළා. දේශීය රෙදිපිළි නිෂ්පාදනයේ වැඩි වශයෙන් ඉන්නෙ මුස්ලිම් ජාතිකයන්. මේ ගැටලුව රිෂාඞ් බදියුර්දීන් ඇමතිවරයාට ඉදිරිපත් කළත් එය නිරාකරණය කරගන්න එතුමාට නොහැකි වුණා.

මම කර්මාන්ත ඇමතිව ඉන්නකොට මේ ප්‍රශ්නය මට ඉදිරිපත් කළා. ඔවුන් ඉදිරිපත් කළ ගණන් මිනුම් අනුව පිටරටින් ගෙන්වන වියදමට වඩා මිලියන 500ක් පමණ අඩුවෙන් දේශීය රෙදිපිළි ලබාදීමේ හැකියාව තිබුණා. මේකෙ සම්පූර්ණ වාසිය මුස්ලිම් ජනතාවට. 95% ක්ම මුස්ලිම් ජනතාව තමයි මේ කර්මාන්තයේ ඉන්නෙ. ඇතැමුන් ජාතිවාදීන් ලෙස අපිව හංවඩු ගැහුවත් අපේ ප්‍රතිපත්තිය ඒක. අපි එකමුතුව සමගිව එක්ව වැඩ කරමු. කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ඔබේ ඕනෑම සාධාරණ ගැටලුවකට මැදිහත් වෙන්න මම පොරොන්දු වෙනවා.”

මෙම ව්‍යාපාරික හමුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන්, පිටකොටුව රෙදිපිළි ව්‍යාපාර හිමියන්ගේ සංගමයේ උප සභාපති බී. ත්‍යාගරාජා පිල්ලේ, රන් ආභරණ වෙළඳුන්ගේ සංගමයේ ලේකම් රත්නරාජා සරවනම්, සිලෝන් හාඞ්වෙයාර් මර්චන්ට් ඇසෝසියේෂන්හි සභාපති, එස්.ටී. එස්. අරුලානන්දන් යන මහත්වරු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ.
2020.07.13

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *