“පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත්කර 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කර ඊළමට පාර කපන ජනපති රනිල්ගේ උත්සාහය” ජීවිත පරිත්‍යාගයෙන් හෝ පැරදවීමට අපි සූදානම්! -ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත් කර, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර, ඊළමට පාර කපන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහය ජීවිත පරිත්‍යාගයෙන් හෝ පැරදවීමට මෙරට දේශප්‍රේමී ජනතාව සූදානම් බවත් ඒ සඳහා නායකත්වය දීමට තම පක්ෂය කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි.

අද(30) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා එසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

“සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ තද කතාව”

“පසුගිය 15 වැනිදා යාපනයේ පැවැති තෛපොංගල් දිනය සැමරීමේ රාජ්‍ය උත්සවයේදී පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා, ’13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට මම සුදානම්’ කියා. ඉන් නොනැවතී පසුගිය 26 වැනිදා පැවැති සර්වපාක්ෂික හමුවේදී ඉතාම තදින්, විවෘතව ඔහු අවධාරණය කරනවා, ’13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට ජනාධිපතිවරයා ලෙස මට බලයක් තිබෙනවා. ඒ අනුව මම එය සිදු කරනවා’ යනුවෙන්.

දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්

1987 ඉන්දියාව බලාහත්කාරය පාවිච්චි කරලා, එවකට මෙරට ජනාධිපති ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතාව යටත් කරලා තමයි මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට ඇතුළු කරනු ලැබුවේ. එදා මෙම බලහත්කාරය හරහා රට බෙදීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් රට තුළ දියත් කරනවා. එම දැවැන්ත විරෝධතා ව්‍යාපාරය නතර වෙන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් රට බෙදීමට ඉවහල් වන ‘ව්‍යවස්ථාමය ප්‍රතිපාදන’ රැසකට ‘ව්‍යවස්ථාමය බාධක’ ඇති කරලයි.

හැටදහසක් දිවි පිදීම

එදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රාජා වනසුන්දර මහතා කියනවා, ’13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදෙනවා. නමුත් එය වළකින්නේ ඇති වී තිබෙන ව්‍යවස්ථාමය බාධක කිහිපය නිසයි’ කියලා. ’13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වනාහි ශ්‍රී ලංකාවට උඩින් එල්ලා තිබෙන කඩු තුඩකි. එම කඩු තුඩ එල්ලා තිබෙන්නේ නූල් පොටවල් කිහිපයකිනි’ යනුවෙන් එතුමන් සිය නඩු තීන්දුවෙහි සාහිත්‍යමය ලෙස සනිටුහන් කර තිබෙනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදීම වැළැක්වීමට එසේ එල්ලා තිබෙන ව්‍යවස්ථාමය බාධක හෙවත් ඒ නූල් පොටවල් දමන්නට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සිදු වන්නේ දේශප්‍රේමී ජනතාව පාරට බැහැලා දැවැන්ත සිවිල් අරගලයක් දියත් කළ නිසයි. ඒ අරගලය වෙනුවෙන් මේ රටට අසීමිතව ආදරේ කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60,000ක තරුණ පිරිසකට සිය ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවෙනවා. එවකට ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක, රංජිතම් ගුණරත්නම්, නිශ්මි වැනි සහෝදරවරු ද මේ රටේ ඒකීයභාවය රැක ගැනීම වෙනුවෙන් දියත් කළ ඒ දැවැන්ත අරගලය වෙනුවෙන් එදා දිවි පිදුවා.

‘රනිල් – ප්‍රභා හොර ගිවිසුම’

කෙසේ වුවත් 2001 දෙසැම්බර් 10 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වූවාට පසුව යළි බෙදුම්වාදයට පාර කපන්න පටන් ගන්නවා. ඒ අනුව 2002 පෙබරවාරි 22 වැනිදා ‘රනිල් – ප්‍රභා හොර ගිවිසුම’ට අත්සන් තැබෙනවා. එමගින් කොටි ත්‍රස්තවාදී කල්ලියට හමුදාමය පිළිගැනීම දීලා, අන්තර්කාලීන ආණ්ඩු බලය දීලා ඊළමට පාර කපනවා. එදත් ජනතා විමුක්ති පෙරමුණ ඒ පාවාදීමේ ගිවිසුමට එරෙහිව දැවැන්ත සටනකට අවතීර්ණ වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ජවිපෙ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමක් අත්සන් කරලා එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි වන්නේ. 2004 ඒ සන්ධානයට හැකි වෙනවා රනිල් වික්‍රමසිංහ පාලනය ගෙදර යවලා මේ රටේ ඒකීයභාවය යළි රැක දෙන්න.

‘සුනාමි සහන මණ්ඩලය’

ඒ විදිහට රනිල් – ප්‍රභා හොර ගිවිසුම ඉරා දමා, රට එක්සේසත් කළත් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ඇතුළු බාහිර බලවතුන්ගේ ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ සලසුම් ඉදිරියටම යනවා. සුනාමි ආපදාව පාවිච්චි කරලා සුනාමි සහන මණ්ඩලය නැමැති පාලන ව්‍යූහයක් හඳුන්වා දීමට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එකඟ කරවා ගත්තේ ඒ අනුවයි. කොටි ත්‍රස්තවාදයට මූල්‍ය බලතල, පරිපාලන බලතල දෙන ඒ පාලන ව්‍යුහයට එකඟ වෙලා එය ක්‍රියාත්මක කරන්න සැරසෙන විට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ඇතුළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර 4ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 4ක් දරමින් සිටියා. සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමෙන් ඉතා පැහැදිලිවම රට බෙදීමේ දිසාවට ගමන් කරන නිසා ජවිපෙ ඊට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. ඉන් නොනැවතී අධිකරණ ක්‍රියාමාර්ග හරහා බෙදුම්වාදීන්ගේ ඒ ඊළමට පාර කපා ගැනීමේ අවස්ථාව අහිමි කිරීමට ද ජවිපෙ සමත් වෙනවා.

‘මහින්ද රාජපක්ෂට සහයෝගය දීම’

ඉන් පසුව 2005දී ජවිපෙ, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට සහයෝගය දෙන්නේ අන් කිසිවකටත් නොවෙයි, කොටි ත්‍රස්තවාදය මේ රටෙන් කම්මුතු කරන්නයි. ජවිපෙ එදා මහින්ද රාජපක්ෂ මහතාට කියන්නේ, ‘බෙදුම්වාදී කොටි සංවිධානය ඉල්ලන භාෂාවෙන් ත්‍රස්තවාදයට උත්තර දිය යුතුයි’ කියලයි. ඒ ජනවරම අනුව මහින්ද රාජපක්ෂ මහතා 2009 මැයි 19 වැනිදා කොටි ත්‍රස්තවාදය මේ මව් පොළොවෙන් සදහටම අතුගාලා දානවා.

අල් හුසේන්ලාට සම අනුග්‍රහය

2015දී යළි රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවට පැනගන්නවා. ඉතා පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහතා බල පුටුවට ආපු සෑම විටම බෙදුම්වාදීන්ට ඊළාම් දොළ පිදේනිය දෙන්න සූදානම් වුණා. 2015 සිට ඊනියා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ධුරය දරපු සෙයිඩ් අල් හුසේන්ට සම අනුග්‍රහය දක්වලා මේ රටේ බුද්ධි අංශ රණවිරුවන් හිරේ දමන්න, රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ වෙත යැවිය හැකි නීති හදන්න කටයුතු කළා. යහපාලන ආණ්ඩු කාලය තුළත් මේ වික්‍රමසිංහ මහතා බෙදුම්වාදීන්ට අන්තර්කාලීන ස්වයං පාලනයක් දෙන්න උත්සාහ ගත්තා.

බැසිල් රාජපක්ෂලා රට වලපල්ලට ඇද දැමුවාට පසුව, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පසුව, බැසිල් රාජපක්ෂලාගේම අත්වාරුවෙන් ජනාධිපති පුටුවට ආපු රනිල් වික්‍රමසිංහ මහතා දැන් උත්සාහ කරනවා 1988 කරගන්න බැරි වුණු වැඩේ, 2002, 2015 කරගන්න බැරි වුණු වැඩේ කරගන්න. අපි රනිල් වික්‍රමසිංහ මහතාට කියනවා,’ඔයාට එහෙම බලයක් නැහැ. ඔයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රී. ඔයාට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම ප්‍රකාරව කටයුතු කිරීම මිසක් වෙන කිසිවක් නොවෙයි. ඒ නිසා ඔයාට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන්න සදාචාරාත්මක, දේශපාලනික, ව්‍යවස්ථාමය බලයක් නැහැ’ කියා.
ඊළඟ ජනාධිපතිවරණයේදී බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය කඩාගන්න 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට සැරසෙන මේ පත්කළ ජනාධිපතිවරයාට මේ රටේ බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතාව එයට ඉඩනොදෙන බවත් ඔහු මතක තබා ගත යුතුයි. මේ පළාත් සභා හරහා රට බෙදන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට එරෙහිව 80 දශකයේ ඉහත කී ආකාරයට දේශප්‍රේමීන් 60,000ක් දිවි දුන්නා. ඒ වගේම රණවිරුවන් තිස්දාහක් ජීවිත පූජා කළේ, තවත් 29,000ක් අතපය දන් දුන්නේ රට බෙදීමට එරෙහිව බව ඔබ සිහියේ තබාගත යුතුයි.

‘මහින්ද – දිනේෂ් ළඟ තියාගෙන’

පසුගිය ජනවාරි 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා, ’13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරනවා’ යැයි පාරම්බාන්නේ කොටි කම්මුතු කරපු නායකයා මහින්ද රාජපක්ෂ මහතා ළඟ තියාගෙන; ඒ වගේම එදා 1987 ජුනි 29 වැනිදා ඉන්දු – ලංකා ගිවිසුම ගහපු අවස්ථාවේ ඊට එරෙහිව හිටගත්තු, ඉන්පසු ඒ රට පාවා දීමේ ගිවිසුමට එරෙහි අරගලයට නායකත්වය දීපු නායකයකු වන දිනේෂ් ගුණවර්ධන වත්මන් අගමැතිවරයා ළඟ තියාගෙන.

අපි මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් අහනවා “ඔබතුමන්ලා ඉතිහාසය පුරා බෙදුම්වාදයට, බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණේ අවසානයේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වන සුමන්දිරන්ලාට බන්දේසියක තබා ඊළම දෙන්නද?’ කියා.

‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ අද කුණුකූඩයට දමලා ද?’

මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ නිරුත්තරයි. ‘මේ රට දෙකඩ කළොත් සමාජවාදය ගොඩනැගීමට බැහැ’ කියා විශ්වාස කළ නිසයි රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, රංජිතම් ගුණරත්නම් ප්‍රමුඛ ජවිපෙ සහෝදරවරුන් එදා දහතුන්වැනි සංශෝධනය බලාත්මක වීමට එරෙහි සටනට නායකත්වය දුන්නේ. එදා ජවිපෙ අත්පොත වුණේ ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’යන ග්‍රන්ථයයි. අදත් අපේ අත්පොත මේකයි. අපි ජනතා විමුක්ති පෙරමුණෙන් අහනවා ‘මේ අත්පොත ඔයාලා කුණුකූඩයට දමලා ද තිබෙන්නේ? කියා. අපි අහනවා ඒකීයභාවය වෙනුවෙන් සටන් කරපු, හෘද සාක්ෂියක් තිබෙන ජවිපෙ සහෝදරවරුන්ගෙන් ‘ඔබලා මේ බෙදුම්වාදයට පාර කපන, 13 සංශෝධනය බලාත්මක කරනවාට එකඟද?’ කියා. එකඟ නැතිනම් ඔබ මේ මොහොතේ පාරට පැමිණිය යුතුයි. මේ රට දෙකඩ කිරීමේ, සුඩානයක් බවට පත් කිරීමේ මේ වික්‍රමසිංහගේ උත්සාහයට සැබෑ ලෙසම විරුද්ධ නම් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස පාරට බැසිය යුතුයි, කියා අපි ඔවුනට යෝජනා කරනවා”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා ද සහභාගී විය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-01-30

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *