ලාංකීය වියත් එකමුතුව විමල්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්වෙයි

ලාංකීය වියත් එකමුතුව ඊයේ (27) රාත්‍රී පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී සුහද හමුවක් පවත්වා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාට ඇරයුම් කර තිබිණි.

මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා ලෙස ලබන ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීම වෙනුවෙන් කැපවෙන බව ලාංකීය වියත් එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් එහි නිර්මාතෘ‍ කොළඹ වෝකර්ස් නැව් තටාකාංගණයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සරත් ඔබේසේකර මහතා පැවසීය. නැවත නොඑන මෙම තීරණාත්මක ඓතිහාසික මොහොත රටේ ඉරණම සඳහා නිශ්චිත දේශපාලනික හැරවුමකට හේතු වන බවත් එබැවින් දේශහිතෛෂී නායකත්වයක් අවශ්‍ය මොහොතක එම ජයග්‍රහණය විජයග්‍රහණය කරා යොමු කිරීමට තම සංවිධානයට කළ හැකි උපරිමය මෙම අවස්ථාවේ දී සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශෝක හේරත් මහතා මෙම සුහද හමුව සංවිධානය කොට තිබූ අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ අජිත් ජයවර්ධන මහතා ඇතුළු විශ්වවිද්‍යාල අචාර්යවරු පිරිසක් ද විශ්‍රාමික විධායක රාජ්‍ය නිලධාරීහු, ඉංජිනේරු, වෛද්‍ය නීතිඥ වෘත්තිකයෝ, කර්මාන්ත හිමියෝ, කීර්තිමත් ව්‍යාපාරිකයෝ සහ කලාකරුවෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහි දී දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විශේෂ දේශනයක් සිදුකරනු ලැබීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2020.07.28

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *