සැබෑ සාමය – සහජීවනය වෙනුවෙන් කැපවෙමු!

සැබෑ සාමය – සහජීවනය වෙනුවෙන් කැපවෙමු!

’සාමය උදෙසා ලෝකවාසීන් අවදි කරලීම’ යන අරුතෙන් සැමරෙන තවත් නත්තල් දිනයක් අදට (25) යෙදී තිබේ. ජේසු බිළින්දාගේ උපත සිහිපත් කරමින් ද ඉහත අරුත වටහා ගනිමින් ද එය මිනිස් සිත්සතන් තුළ ගැඹුරින් සනිටුහන් කිරීම මේ උතුම් දිනයේදී කිතුණු බැතිමතුන්ගේ කාර්යභාරය වී තිබේ.

සමස්ත ලෝකවාසීන්ට යහපත් හෙට දිනයක් උදා කරලීම වෙනුවෙන් සියල්ලෝ සාමය වෙනුවෙන් කැප විය යුතු වුව ද පවිටු බලවේග ඊට ඉඩ නොතබයි. ඔවුන් රටවල් අතර ද රටවල් තුළ ද සියුම්ව ගැටුම් ඇවිලවීමට කළ හැකි සියල්ල කරමින් සිටී. අප ද රටක් ලෙස එවැනි පවිටු බලවේගවල ගොදුරක්ව පැවැති බව 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මැනවින් පැහැදිලි විය. මෙරට එවැනි පවිටු බලවේගවලට උඩගෙඩි දුන් පිරිස් දැන් පසුබැස සිටියත් තවදුරටත් ඒ පිළිබඳව විමසිලිමත් වීම සාමයට ලැදි අප සැමගේ වගකීමක්ව පවතී.
“ජාතීන් අතර සහජීවනය – ලෝක සාමය – මානව හිමිකම්” ආදී විසිතුරු වදන්වලට මුවා වෙමින් ලොව පුරා ක්‍රියාත්මක එම ගෝලීය පවිටු බලවේග හඳුනාගෙන ඒවා පැරදවීමේ අදිටන ඇතිකර ගත හැකි සුදුසුම මොහොත වන්නේ ද මෙම නත්තල් උදාවයි. එසේම රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනගමින් යහපත් හෙට දිනයක් නි්ර්මාණය කිරීම වෙනුවෙන් කැපවීමට මෙරට කිතුණු බැතිමතුන්ට හැකිවේවා’යි ප්‍රාර්ථනා කරන්නෙමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය
2019-12-25

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *