සුනාමියෙන් පසු නැගිට්ටා වගේ – තිස් අවුරුදු යුද්ධය ජයගත්තා වගේ “කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැකියි. – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජනතා තදබදය අවම කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම බෙදාහැරීමේ රාජ්‍ය යාන්ත්‍රණය, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය නිලධාරී රැස්වීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.

“කොරෝනා වසංගතයට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු දියුණු යැයි සම්මත යුරෝපා රටවලටත් සාර්ථකව මුහුණ දීමට නොහැකි වී තිබෙනවා. එම රටවල් සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවයක් නොමැතිවීම, පෞද්ගලික අංශය සතු සෞඛ්‍ය සේවාවන් ලාභය පිළිබදව සලකා කටයුතු කිරීම ආදී හේතු එසේ වීමට බලපා තිබෙනවා. එනමුත් ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් පැවතීම අපට මෙම වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකිවීමට එක් හේතුවක් වී තිබෙනවා.

ඉහත රටවල භාණ්ඩ සැපයුම් ජාලයත් සම්පූර්ණයෙන්ම පාහේ පෞද්ගලික අංශය සතුයි. අපේ රටෙත් පෞද්ගලික අංශය සතුව සැපයුම් ජාලා පැවතියත් රාජ්‍ය අංශයටත් සතොස, විවිධ සේවා සමූපකාර සමිති ආදී සැපයුම් ජාල පවතිනවා. එයත් මෙම අවස්ථාවේදී අපට වාසිදායක වී තිබෙනවා. එසේම රටට විපතක් සිදුවන ඕනෑම මොහොතක යොදවා ගත හැකි රාජ්‍ය හමුදාවක් ද අපේ රට සතුයි. අද නිරෝධායන කටයුතු ශක්තිමත්ව සිදු කිරීමට අපට හැකි වී ඇත්තේ ඒ නිසයි. ඔස්ට්‍රේලියාව වැනි රටවල් නිරෝධායන කටයුතු තරු පංතියේ හෝටල්වල සිදු කළත් ඒවාට අදාළ පුද්ගලයා ගෙවීම් කළ යුතුයි. එවැනි තත්වයක් යටතේ කිසිසේත්ම ශක්තිමත් නිරෝධායන වැඩපිළිවෙලක් ද සැකසෙන්නේ නැහැ.

කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම

ඒ අනුව අපේ රට තුළ තිබෙන ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවය, රාජ්‍ය සැපයුම් ජාලය හා රජයේ හමුදා යන රාජ්‍ය යාන්ත්‍රණයට අද වන විට ඉහත යුරෝපා රටවලට සාපේක්ෂව කොරෝනා ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ඊයේ (25) දිනයේ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවන තත්වයක් රට තුළ නිර්මාණය කර ගැනීමට අපේ රාජ්‍ය යාන්ත්‍රණය සමත් වී තිබෙනවා. නමුත් ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවල දැඩි තදබදයක් ඇති වන ආකාරයක් අපට දැකගත හැකි වුණා. එය දැඩිව දැකගත හැකි වුණේ බස්නාහිර පළාත තුළයි. මේ තත්වයට යම් පිළියමක් ලෙස බස්නාහිර පළාත අද වන විට අවදානම් කලාපයක් ලෙස නම් කරලා තිබෙනවා. ඉදිරි කාලය තුළ මා විශ්වාස කරන ආකාරයට අප්‍රේල් 04 වැනිදා පමණ වනතෙක්වත් එම කලාපයේ අඛණ්ඩව ඇදිරි නීතිය පවත්වාගෙන යාමට සිදු වේවි. එහෙම වුවහොත් පමණයි මේ දැන් පවතින අවම කොරෝනා ව්‍යාප්තිය රට තුළ පවත්වාගත හැක්කේ .

“අත්‍යවශ්‍ය ආහාර නිවසටම…”

ඒ නිසා ඇදිරි නීති තත්වය යටතේ සිටින්නට වන බස්නාහිර පළාතේ සහ වෙනත් අවදානම් මතු වන කලාපවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙලක් සැකසීම සදහා මේ වන විට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව ඔබ දන්නවා. මේ කටයුත්ත සදහා ද ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති බව මීට ඉහත දී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්තුමිය පෙන්වා දුන්නා. ඒ යාන්ත්‍රණයට අයත් ග්‍රාම නිලධාරීවරු, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් වන ඔබ සැම ඉහත මගමානවක මෙහෙවර සාර්ථකව ඉටු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ සදහා ඔබ සැමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා.

ලෝක පරිමාණ අභියෝගයකටයි අපි මුහුණ දී ඉන්නේ. දියණු යැයි සැලකූ රටවල් පවා අද අසරණ වෙලා. එහෙත් අපේ රටවැසියන් එකමුතුව මේ තත්වයට මුහුණ දුන්නොත් මේ අභියෝගය ජයගත හැකියි. සුනාමියෙන් පසු නැගිට්ටා වගේ – අවුරුදු 30ක යුද්ධය ජයගත්තා වගේ මේ අභියෝගයත් ජය ගැනීමට පුළුවන්. ඒ සදහා ජනාධිපතිතුමන් අතුළු අපේ රජයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලනවා”

මෙම රැස්වීම කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී මහත්මිය කැදවා තිබූ අතර කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු කඩුවෙල මහජන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020-03-26

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *