“සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් මේ රටේ නැවත සුලබ ලෙස රෙදිපිළි නිපදවන යුගයක් ඇරඹීම සඳහා අපි මූලික අඩිතාලම දමා තිබෙනවා.” – කර්මාන්ත ඇමති විමල් කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මේ රටේ නැවත සුලබ ලෙස රෙදිපිළි නිපදවන යුගයක් ඇරඹීම සඳහා වත්මන් ආණ්ඩුව මූලික අඩිතාලම දමා ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අත්යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනය නතර කිරීම ඇතුළු දේශීය රෙදිපිළි කර්මාන්තයට අදාළව පසුගිය දා ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ තුළින් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අද (17) දිනයේ සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද පැවසීය.

“මේ රටේ රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන පිරිස් සමඟ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති සාකච්ඡාවේ දී ගනු ලැබූ විශේෂ තීරණ තුළින් එම කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුම් දීමටයි මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවූයේ. එම සාකච්ඡාව සඳහා දේශීය රෙදිපිළි නිෂ්පාදනයෙහි නිරත වන අංශ ගණනාවක පිරිස් සහභාගී වූවා. එක් අංශයක් තමයි පාසල් නිල ඇඳුම් රෙදිපිළි නිෂ්පාදනය කරන පිරිස්. එසේම බතික් රෙදිපිළි කර්මාන්තයේ නිරත පිරිස් හා අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ නිරත පිරිස් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා.

අත්යන්ත්‍ර රෙදිපිළි ආනයනය නතර කිරීම

මෙහි දී ප්‍රධාන තීරණ කිහිපයක් ගනු ලැබුවා. පළමුවැන්න අත්යන්ත්‍ර රෙදිපිළි ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීම. ඒ අනුව දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රචලිත කිරීමේ ඉඩකඩ එම කර්මාන්තයේ නියැලී සිටින පිරිස්වලට ලැබෙනවා. අප අමාත්‍යාංශයේ ඇති පේෂකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් පේෂකර්ම අමාත්‍යාංශ සමඟ අප සාකච්ඡා ගණනාවක් පවත්වා දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ ඇති ස්වාභාවික නොහැකියාව හඳුනාගෙන තිබෙනවා. මෙම තීරණයත් සමඟ එය නතර වෙනවා. මෙම කර්මාන්තය නව ජවයකින් පණ ගැන්වෙනවා. කර්මාන්තයේ නියැලෙන පිරිසට නව වෙළෙඳපොළක් හිමි වෙනවා. ඒ සුබ පණිවිඩය එම තීරණයත් සමඟ ඔවුනට ලැබෙනවා.

‘බතික් රෙදිපිළි ආනයනයත් නතර වීම’

බතික් රෙදිපිළි කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදකයන් හා නිර්මාණ ශිල්පීන් ඉල්ලා සිටි පරිදි විදෙස් රටවලින් බතික් රෙදිපිළි ගෙන ඒම නතර කිරීමට ද ජනාධිපතිතුමන් එහි දී තීරණය කරනු ලැබුවා. අපේ රටේ සාම්ප්‍රදායික හා දේශීය අනන්‍යතාවකින් හෙබි කර්මාන්තයක් වූ බතික් කර්මාන්තයට මෙම තීරණයත් සමඟ නව පණක් ලැබේවි. විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති මෙරට බතික් නිමි ඇඳුම් මේ තීරණය තුළින් වඩාත් ප්‍රචලිත වේවි. ඉහත තීරණ දෙක දේශීය රෙදිපිළි කර්මාන්තයෙහි නිරත පිරිසට අනුබලයක්, උත්තේජනයක් ලබා දෙන බව අපට විශ්වාසයි.

‘නිල ඇඳුම් නිෂ්පාදනය රට තුළ දීම’

එසේම දේශීය රෙදිිපිළි කර්මාන්තයේ නියැලී සිටින පාසල් නිල ඇඳුම් ටෙන්ඩරය සහ හමුදා නිල ඇඳුම් ටෙන්ඩරය ලබා ගන්නා පිරිස්වලට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වූවා. එම පිරිස්වලට එල්ල වන චෝදනාව තමයි ටෙන්ඩරය ලබා ගෙන ඊට අදාළ රෙදිපිළි ඉල්ලුමට සරිලන සේ සැපයීමට නොහැකි නිසා පසුව ඒ අඩුව ආනයනික රෙදිපිළිවලින් සපුරන බව. එයට පිළියමක් ලෙස එම රෙදිපිළි ටෙන්ඩර ලබා ගන්නා පිරිස්වල රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත ශාලාවල ධාරිතාවන් සමීපව අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කළා. ඒ සඳහා මෙම ටෙන්ඩර් ලබා දීමෙන් පසු එම රෙදිපිළි හා නිල ඇඳුම් සැපයීම සමීපව අධික්ෂණය කිරීම සඳහා දැනට සම්බන්ධ වන අධ්‍යාපන අමාත්‍යාංශ තාක්ෂණ කමිටුවල පිරිස්වලට අමතරව ආරක්ෂක අංශ නිලධාරීන් ද යෙදවීමට තීරණය වුණා. මෙම නිසි අධික්ෂණයත් සමඟ අපට අනාවරණය කරගත හැකියි, මෙම ටෙන්ඩරවලට අදාළ නිල ඇඳුම් රෙදිපිළි දේශීයව නිපදවිය හැකිද, නොහැකිද කියා. එසේ නිපදවිය නොහැකි නම් අපට එම නිපදවිය නොහැකි ප්‍රමාණය ආනයනය කිරීම සඳහා තීරණයක් ගත හැකියි.

වවුචර් වෙනුවට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමෙන් රජයට ඉතිරි කරගත හැකි මුදල රුපියල් මිලියන 450ක් බව ද කීමට කැමතියි. එසේම පාසල් නිල ඇඳුම් රෙදිපිළි අදාළ කර්මාන්තකරුවන් මගින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දීම මගින් ද අපට ප්‍රවාහන වියදම්වල විශාල ඉතිරියක් කරගත හැකියි.

පාසල් නිල ඇඳුම්, ආරක්ෂක හමුදා නිල ඇඳුම් පමණක් නොවෙයි, සෞඛ්‍ය අංශවල නිල ඇඳුම්, ඇඳ ඇතිරිලි, තුවා ආදී ඇඟලුම් හා රෙදිපිළි ටෙන්ඩර ද දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට ලබා දීමෙන් දේශීය රෙදිපිළි කර්මාන්තයේ නව ජවයක් ඇති කළ හැකියි. ඒ අනුව දැනට පාසල් නිල ඇඳුම් ටෙන්ඩර හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් ටෙන්ඩර දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට ලබා දීමේ තීරණය ද ජනාධිපතිතුමන් විසින් ගනු ලැබුවා.

මේ සියලු තීරණ මගින් රෙදිපිළි, ඇඟලුම් සඳහා පිටරටට ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගත හැකියි. එමගින් රුපියල අවප්‍රමාණ වීම නතර කරගත හැකියි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය අනුව යමින් අපි ගනු ලැබූ ඉහත තීරණ මගින් යළි අප පා නඟන්නේ විජය නමැති ඉන්දියානුවා මේ රටට පා තබන විටත් කුවේණිය කපු කටිමින් සිටි යුගය සිහිපත් කරනු ලබන නව යුගයකට. අපට එමඟින් නැවත රෙදිපිළි පුළුල් ලෙස නිපදවන යුගයක් කරා මේ රට ගෙන යෑමට හැකි වේවි.

‘රාජ්‍ය සේවකයන්ට දේශීය රෙදිපිළි කර්මාන්තයට අත දෙන්න ඉඩක්’

එසේම එහි දී සාකච්ඡාවට භාජනය වූවා පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවක පිරිස් සතියේ එක් දිනක දී අත්යන්ත්‍ර හා බතික් රෙදිපිළි හා නිමි ඇඳුම්වලින් සැරසී සේවයට පැමිණීමෙන් මෙම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයට දිරි දීමේ හැකියාව පිළිබඳව. මේ සියලු තීරණ සමඟ මෙරට දේශීය රෙදිපිළි කර්මාන්තය නව උත්තේජනයකින් හා පිබිදීමකින් පෙරට එන බවට සුබවාදී බලාපොරොත්තුවක් අපට තිබෙනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020.06.17

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *