ආණ්ඩුව කියන්නේ ‘මහනාහිමිවරුන්ගේ ප්‍රකාශයන් අපට වැදගත් නැහැ’ කියලාද?

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය සඳුදා(14) මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් හා ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැදැකීමට මහනුවරට ගොස් තිබිණි. මේ ගමනට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, නියෝජ්‍ය ලේකම්වරු මෙන්ම මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු ද වන නිමල් ප්‍රේමවංශ සහ නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර යන පක්‍ෂ නායකයෝ ද එක්ව සිටියහ. මෙම ගමනේ අරමුණ වී තිබුණේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රකාශය හිස මුදුනින් පිළිගෙන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජානිපෙ මන්ත්‍රීවරුන් 05 දෙනා නිල වශයෙන් ඉවත් වූ බව මහනාහිමිවරුන්ට සැල කර සිටීමය.
විමල් ඇතුළු ජානිපෙ නායකයන් පිරිස එදින උදෑසනින්ම මහනුවරට පැමිණියේ ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගෙන ඉන් අනතුරුව පෙ.ව. 09:00 වන විට අස්ගිරි මහා විහාරය වෙත යාමට තිබූ නිසාය.
අස්ගිරි මහා විහාරයේදී ජානිපෙ නායකයන් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමි බැහැදුටු අතර මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී සහ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද යන නාහිමිවරු ද එක්ව සිටියහ.
මෙහිදී අස්ගිරි මහනාහිමියන් පවසා සිටියේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රකාශනය පරිදි ජානිපෙ මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් නිල වශයෙන් ඉවත්වීම අගය කරන බවය.
“ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රකාශනයත් සමග ජනාධිපතිවරයා සාකච්ඡාවට ආවත් අග්‍රාමාත්‍යවරයා හෝ වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් අප සමග සාකච්ඡාවකටවත් ආවේ නැහැ. ඉන් පෙනී යන්නේ මේ අය තමන්ගේ අභිලාෂය මුදුන්පත් කර ගැනීමට පුළුවන් තරම් උත්සාහ දරන බවයි. ‘මහනාහිමිවරුන්ගේ ප්‍රකාශයන් අපට වැදගත් නැහැ’ යන මතයේ ඔවුන් සිටින බවයි පෙනෙන්නේ” එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ.
“ජාතික නිදහස් පෙරමුණ අපගේ ඉල්ලීමට ඇහුම්කන් දීම අප අගය කරනවා. ජනාධිපතිවරයා මහනාහිමිවරුන් සමග සාකච්ඡා කළ අවස්ථාවේ කීවේ ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කරුණුවත් තවම සකස් කර නැහැ’ කියලයි. එසේ කීවත් නව ව්‍යවස්ථාවක් සඳහා මූලික අමුද්‍රව්‍ය ඒකරාශී කර ගන්නා බවක් නම් දැන් අපට පෙනෙන්න තිබෙනවා. ඒ පිළිබඳව අපි දැඩි අවධානයෙන් ඉන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අපට මුණගස්සවා සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත් තවම එය ඉටු වී නැහැ. ඉදිරියේදී මේ මෙහෙයුම් කමිටුව මහා සංඝරත්නය මුණගැසී සාකච්ඡා කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා.” අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සිය අනුශාසනාවේදී පවසා සිටියහ.
අස්ගිරි මහනාහිමි ඇතුළු කාරක සංඝ සභාවේ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ජානිපෙ නායකයන් මල්වතු මහා විහාරය වෙත ගියේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැකීම පිණිසය.
“ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිගනිමින් කටයුතු කිරීම අගය කරනවා” යනුවෙන් මල්වතු මහනාහිමියන් එහිදී විමල් ඇතුළු ජානිපෙ නායකයන්ට ආශිර්වාද කළ අතර වැඩිදුරටත් සිදු වූ සංවාදය මාධ්‍ය වෙත නිරාවරණය වූයේ නැත.
‘ඔබ වැනි අය නිසයි මේ රට මේ තරමින්වත් රැකිලා තියෙන්නේ’
මල්වතු – අස්ගිරි මහා විහාර වෙත පැමිණි විමල් ඇතුළු ජානිපෙ නායකත්වය ගැටඹේ රාජෝපවනාරාමය වෙත යාමට ද අමතක නොකළහ.
“අවශ්‍ය නැති මොහොතකයි මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්න හදන්නේ. මේ අයට ඕනේ රට අනෙක් පැත්ත හරවන්න. මේ ආණ්ඩුව රටක්, ජාතියක්, ආගමක් ගැන හැඟීමක් ඇති එකක් නොවෙයි. රටේ තිබෙන දේවල් විකුණන් කාලා රටත් විනාශ කරලා, තමුනුත් විනාශ වන එකයි මේ අෘණ්ඩුව කරමින් ඉන්නේ. ඔබතුමන්ලා වාගේ අය නිසා මේ රට මේ තරමින්වත් රැකිලා තිබෙනවා. මේ අය ඔබතුමාගේ කටට බයයි. නැත්තම් මීට වැඩියෙන් නටනවා. රටට හානි කරනවා. බෙදුම්වාදීන්ට ඡන්දයේදී පොරොන්දු වුණු නිසා මේ ආණ්ඩුවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනෙන්න වෙනවා. ඒක නොකර ඉන්න බැරි වෙලා තිබෙනවා. ඔබතුමන්ලා මේ ෆෙඩරල් ව්‍යවස්ථාව හදන එකට විරුද්ධ වුණු එක ලොකු දෙයක්.
මේ රට ස්ථාවර කරන්න නම් මේ ආණ්ඩුව පැත්තකින් තියන්න වෙනවා. එහෙම පැත්තකින් කියලා රටට උචිත, මහජන සේවයක් හොඳින් සිද්ධ වන වැඩපිළිවෙළක් සහිත ආණ්ඩුවක් අපි ගොඩනැගිය යුතුව තිබෙනවා. හොරු අල්ලනවා කියලා බලයට ආවාට මේ අයට එක හොරෙක්වත් අල්ලා ගන්න තවම බැරි වුණා. දැන් ඒ අය හොරකම් කරනවා. කවදාවත් නොතිබුණු නියඟයක් අද තිබෙන්නේ. ධාර්මික පාලනයක් රටක නොමැති වන කොට මේ වගේ තත්වයක් ඇති වෙනවා. ” තමන් බැහැදැකීමට පැමිණි විමල් ඇතුළු පිරිසට අනුශාසනාවක් කරමින් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පැවසූහ.
“මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි අපි ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමයෙන් ඉවත් වුණා. එහිදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් අපේ මන්ත්‍රීවරු පස් දෙනා කථානායකවරයාට ලිපියක් භාර දෙමින් නිල වශයෙන් ඉවත් වුණා. 2015 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ජනවරමක් ඉල්ලා සිටියේ ජනමතවිචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්න. මහ ඡන්දයේදී කිසිම පක්‍ෂයකට මන්ත්‍රී ධුර 113 ඉක්ම වූ බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහ මැතිවරණයේදී කිසිම පාර්ශ්වයකට ජනවරමක් ලැබුණා කියනවා නම් ඒක බොරුවක්. මේ ආණ්ඩුවේ අය සහ නව ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින අය කියන්නේ ‘ජනවරම අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි’ කියලානේ. නමුත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවකුටත් ජනවරමක් ලැබී නැහැ.
මේ ආණ්ඩුව කඩිනමින් ඉවත් නොකළහොත් රටටත්, ජනතාවටත් තවත් ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා. දැන් සමෘද්ධිලාභීන්ගේ දීමනාව කපන්න යනවා. මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්න යනවා. ආර්ථිකය දිනෙන් දිනම කඩා වැටෙනවා. උතුරේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පොලිසියට බැරි වෙලා තිබෙනවා. හොරු අල්ලනවා කියලා බලයට ආපු මේ අයට දැන් තමන්වම අල්ලා ගන්නයි වෙලා තියෙන්නේ.” විමල් වීරවංශ මහතා පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ට එහිදී පැවසූහ.
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *