සියලු බෙදුම් රේඛා මකා දමා, සවියෙන් එක්ව, නැඟී සිටීමට අදිටන් කර ගනිමු !

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් උත්සවයට සුබ පතමින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ.

කෘෂිකර්මාන්තයෙහි නියැලී සිටි හින්දු බැතිමතුන් තමන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිඳුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් ඇරඹූ බව කියැවෙන තෛපොංගල් උත්සවය අදට(15) යෙදී තිබේ.

හින්දු බැතිමතුනට තෛපොංගල් දිනයත් සමග උදාවන්නේ නව වසරකි. එහෙයින් උදාවූ නව වසරත් සමගම සුබ කටයුතු, නව බලාපොරොත්තු හද පුරවා ගත් ශ්රී ලාංකේය හින්දු බැතිමතුන්ට ප්රථම කොටම සුබ නව වසරක් වේවා’යි අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම් එක් කර සිටින්නෙමු.

මේ වන විට සිංහල, දෙමළ, මුස්ලිම් යන සකල ජාතිකත්වයන්ට මෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික සකල ආගම්වලට අයත් මුළුමහත් ලාංකේය ජනතාව, සිය ඉතිහාසය තුළ පැන නැඟුණු ඉතාමත් බරපතළම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිති. මේ අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන සමාජ අසහනය දඩමීමා කරගෙන අද මේ රටේ පිළිගත් ආයතන, පිළිගත් මත, පිළිගත් සංස්කෘතිය ආදී සියල්ලටම සැලසුම් සහගතව පහරදෙන ප්රවණතාවක් ද දැකගත හැකිව තිබේ.

සිංහල, දෙමළ, මුස්ලිම් අප කාටත් සහෝදරත්වයෙන් බැඳී ජීවත් වීමට හැකි වූයේ බුදුදහම නැමැති සහනශීලී ධර්මයක් ද එසේම ඒ තුළින් අන්ය ආගම් බැහැර නොකරන, අන්ය විශ්වාසයන්ට පහර නොදෙන, ඒවා ඉවසන මානව ගුණාංගවලින් සමන්විත දියුණු සංස්කෘතියක් ද අප මව් පොළොවෙහි ගොඩනැගුණු නිසාය. එහෙයින් ඉහත කී අදමිටු ප්රවණතාව පැරදවීම මේ මොහොතේ අප කාටත් අත්හල නොහැකි වගකීමක්ව තිබේ. එම වගකීමට උරදෙමින් අප අතර වන සියලු බෙදුම් රේඛා මකා දමා, ශ්රී ලාංකිකයන් ලෙස වත්මන් අර්බුදය ජය ගැනීමට, සවියෙන් එක්ව, නැඟී සිටීමේ අදිටන ද සහිතව මෙවර තෛපොංගල් දිනය සැමරීමට ලාංකේය හින්දු බැතිමතුන්ට හැකිවේවා’යි ද පතමි.

විමල් වීරවංශ(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *