“අලිරාජාට” “ටෙලිකොම්” එක තුට්ටු දෙකට විකුණන්න, ජනපති රනිල් වැඩ අල්ලලා – ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයක් මගින් නෙරපා හැර ඒ වෙනුවට රියාස් මිහුලර්(Reyaz Mihular) නැමැත්තා සභාපති පුටුවේ වාඩි කරවමින් ජනාධිපතිවරයා සිදු කර ඇත්තේ සුබාස්කරන් අලිරාජාට එම සමාගම “තුට්ටු දෙකට” විකිණීම සඳහා “වැඩ ඇල්ලීම” යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

අද(21) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය.

‘රනිල්ගේ බ්‍රෝකර්’

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට පෙර ටෙලිකොම් සමාගම විකිණීමට ‘වැඩ අල්ලා’ තිබෙනවා. එසේ වැඩ අල්ලා ඇත්තේ ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය දැරූ රොහාන් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයක් මගින් ඉවත් කොට, මීට මාස හතරකට පමණ පෙර එම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ, ඒ වගේම ටෙලිකොම් සමාගම සුබාස්කරන් අලිරාජාට ‘තුට්ටු දෙකට’ විකිණීමේ ගනුදෙනුවේ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කරන රියාස් මුහුලර් නැමැත්තා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමෙනුයි.

51%ක් ශ්‍රී ලංකා රජයට

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, රුපියල් බිලියන ගණනින් ලාබ ලබන, ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් ආයතනයක්. එම සමාගමේ කොටස්වලින් 51%ක් ශ්‍රී ලංකා රජයටත් 49%ක් මැලේසියානු ජී. ටී. එච්. සමාගමටත් අයත්. මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය දහදෙනෙකුගෙන් සමන්විතයි. ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් අධ්‍යක්ෂවරුන් හයක් සහ ජී. ටී. එච් සමාගමෙන් අධ්‍යක්ෂවරුන් හතරක් ලෙස ඒ අධ්‍යක්ෂ ධුර බෙදී යනවා. ශ්‍රී ලංකා රජයට වැඩි කොටස් හිමිකාරීත්වයක් තිබෙන නිසා සභාපතිවරයා පත් කරනු ලබන්නේ එම පාර්ශවයෙනුයි. ඒ නිසා සභාපතිවරයා ඉවත් කරනවා නම් එය ද සිදු කළ යුත්තේ ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන්. සාමාන්‍යයෙන් සභාපතිවරයා ඉවත් කිරීමේ ක්‍රමවේදය වන්නේ අක්‍රමිකතාවක්, පරිපාලන දෝෂයක්, අකාර්යක්ෂමතාවක් ඇත්නම් ඒ බව මුදල් අමාත්‍යාංශය මගින් දැනුම් දී විධිමත් පරීක්ෂණයකින් පසුව ඔහු ඉවත් කිරීමයි. ඒ නීත්‍යනුකූල ක්‍රමවේදයට අවතීර්ණ නොවී හිටිහැටියේ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවකින් තමයි රොහාන් ප්‍රනාන්දු මහතා ඉවත් කොට ඇත්තේ.

රියාස් මිහුලර් සහ රංජිත් රූබසිංහ

ඊයේ තමන් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා තිබුණු බවත් ඊට අදාළ න්‍යාය පත්‍රයට හිටිහැටියේ සභාපතිවරයා නෙරපා හැරීමේ යෝජනාවක් පැමිණි බවත් රොහාන් ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා. එහිදී මැලේසියානු ජී. ටී. එච්. සමාගමේ අධ්‍යක්ෂවරුන් හතරදෙනා සමග රජය පාර්ශ්වයෙන් පත් කළ අධ්‍යක්ෂවරුන් වන රංජිත් රූබසිංහ සහ රියාස් මුහුලර් යන අය එක්ව ඡන්දය පාවිච්චි කිරීමෙන් රොහාන් ප්‍රනාන්දු මහතා ටෙලිකොම් සභාපති ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙනවා.

‘කුමන්ත්‍රණයක් නොවෙයි ද?’

රොහාන් ප්‍රනාන්දු මහතා එසේ කුමන්ත්‍රණකාරී ලෙස නෙරපා හැරියා පමණක් නොවෙයි, මාස හතරපහකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරපු රියාස් මුහුලර් නව සභාපතිවරයා ලෙස පත් කිරීමත් ඊයේ එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සිදු වෙනවා. මෙය කුමන්ත්‍රණයක් නොවෙයි නම් වෙන කුමක්ද? මේ රියාස් මුහුලර් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ දිනයේ සිටම උත්සාහ කර ඇත්තේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකීණීමේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමයි. ඒ පුද්ගලයා තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට පිටින් ඉඳන් උපදෙස් දෙන පුද්ගලයා. ඔහු උත්සාහ කරන්නේ ටෙලිකොම් සමාගම සුබාස්කරන් අලිරාජාට ‘තුට්ටු දෙකට’ විකුණා දමන්නයි.

‘සයිබර් ආරක්ෂාව’ සඳහා අතිශය වැදගත් ආයතනයක්

ඉවත් කරන ලද සභාපතිවරයා කිසිසේත්ම ටෙලිකොම් සමාගම විකිණීමට එකඟ වූ සභාපතිවරයෙකු නොවන බව ද අපට අවබෝධ වී තිබුණා. පසුගියදා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අපි ශ්‍රී ලංකා ටෙලිකොම් පිළිබඳ සොයා බැලීමක් කළා. එහිදී හෙළිදරව් වුණා, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ජාතික ආරක්ෂාවේ සයිබර් ආරක්ෂාව සඳහා අතිශය වැදගත් ආයතනයක් බව.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුබාස්ඛරන් අලිරාජා අතට පත් වුණොත් එය එක් පැත්තකින් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක්. ඒ වගේම අනෙක් පැත්තෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන ගණනින් මුදල් උපයා දෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුබාස්කරන් අලිරාජාට දෙන්න හදන්නේ තුට්ටු දෙකට, කුණු කොල්ලයට.

‘මේක බරපතළ තත්ත්වයක්’

මේක බරපතළ තත්ත්වයක්. ඒ වගේම මේ විකුණා දමන්න සැරසෙන ලයිස්තුවේ තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පමණක් නොවෙයි, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්’ ඇතුළු තව ලාබ ලබන රාජ්‍ය සමාගම් ගණනාවක් එහි තිබෙනවා. අපි දන්නවා දේශපාලන පත්වීම් ලබපු සභාපතිවරු, පාඩු ලබන රාජ්‍ය සමාගම්වල සභාපති පුටුවල ලැගගෙන වංචා, දූෂණ, අක්‍රමිකතාවල නිරත වෙමින් සිටින බව. නමුත් ඔවුන් ඉවත් කිරීමට මේ ආණ්ඩුවට උවමනා නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුවට වුවමනා වී ඇත්තේ ජාතික ආරක්ෂාවට අතිශය වැදගත්, ඒ වගේම මහා භාණ්ඩාගාරයට මුදල් උපයා දෙන රාජ්‍ය ආයතන ටික තුට්ටු දෙකට, කුණු කොල්ලයට විකුණා දමන්න.

ටෙලිකොම් රැකගමු!

අපි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ධුරයෙන් නෙරපීමේ මෙම නින්දිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම ජනතාවට අපි කියනවා, ‘මේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, සුබාස්කරන් අලිරාජාට කුණුකොල්ලෙට ගන්න දෙන්න එපා!’ කියලා. ‘මේ රටේ ජාතික ආරක්ෂාව රැකගත යුතුයි’ කියා සිතන, රටේ අභිවෘද්ධිය පතන දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, ‘ටෙලිකොම් සේවක ප්‍රජාව’ සමග ටෙලිකොම් රැකගැනීම සඳහා සියලු වාද භේද ඉවතලා අත්වැල් බැඳගත යුතුයි, කියා මේ මොහොතේ අපි යෝජනා කරන්න කැමතියි.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-07-21

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *