“ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත යුතුයි” – විමල්ගෙන් මුදල් රාජ්‍ය ඇමැතිට ලිපියක්

ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත ගන්නා ලෙස ඉල්ලා සිටිමින් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත 2022.12.16 දින ලිපියක් යොමු කර ඇත.

අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

ගරු රංජිත් සියඹලාපිටිය
මුදල් රාජ්‍ය අමාත්‍යතුමා,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය,
මහලේකම් කාර්යාලය,
කොළඹ 01

ගරු රාජ්‍ය අමාත්‍යතුමනි,

ආබාධිත තැනැත්තන් භාවිත කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීම

ආබාධිතයන් විසින් භාවිතා කරන සහායක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස ඉල්ලමින් 2022.12.08 දින අයවැය විවාදයේ මා විසින් පැවැත්වූ පාර්ලිමේන්තු කතාව අතරතුර දී, “ආබාධිතයන් සඳහා ගෙන්වන කිසිදු උපකරණයකට බදු පනවා නැත” යනුවෙන් ඔබතුමා පැවසූ බව ඔබතුමාට මතක ඇතැයි සිතමි. මෙම අවස්ථාව පාර්ලිමේන්තු සජීව රූපවාහිනී ප්‍රචාරය මගින් විකාශනය වූ අතර විවිධ මාධ්‍ය මගින් ද වාර්තා කරන ලදී.

එසේ වෙතත් මා විසින් 2012.12.08 දින පාර්ලිමේන්තුවේ දී පැවසූ ආකාරයටම ආබාධිතයන් භාවිතා කරන උපකරණ සඳහා රේගු බදු අය කරන අතර එසේ බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක බදු කාණ්ඩ අංකයන් ඇතුළත් ලේඛනයක් ඔබතුමා දැනුම්වත්කිරීම පිණිස මේ සමග ඉදිරිපත් කරමි.

සත්‍ය තත්ත්වය නම් දෘශ්‍යාබාධිත, ශ්‍රවණ හා කථන ආබාධිත මෙන්ම, වෙනත් ශාරීරික දුබලතා නිසා ද ආබාධිත තත්ත්වයේ පසුවන්නවුන් භාවිතා කළයුතු සහායක උපකරණ වන අත්වාරු, රෝද පුටු, ශ්‍රවණාධාරක වැනි උපකරණවල මිල, ඒවා මත අය කෙරෙන බදු හේතුවෙන් ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි. මෙම සහායක උපකරණවලින් රෝදපුටු වැනි ඇතැම් දෑ යම් ප්‍රමාණයක් දේශීයව නිපදවෙන නමුත් ඒවායේ කල්පැවැත්ම අඩුවීම මෙන් ම, එම දේශීය රෝද පුටුවල මිල, ආනයනික උපකරණ හා සසඳා බැලීමේ දී 3-4 ගුණයකින් වැඩිවීම නිසාත්, තවත් බොහෝ සහායක උපකරණ දේශීයව නිෂ්පාදනය නොකෙරෙන නිසාත් මේවා ආනයනය කර ආබාධිත ප්‍රජාව වෙත ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

2012 වසරේදී සිදුකරන ලද අවසන් සංගණනයේදී එවකට ශ්‍රී ලංකාවේ අබාධිත තැනැත්තන් 1,617,924 දෙනෙකු සිටි බව වාර්තාවී ඇත. ඉන් වසර 10 කට පසුව අද වන විට මෙම සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ඇතැයි සැලකේ. එසේ ම අංශුමාත්‍ර හෝ ඉපැයුම් ධාරිතාවයක් ඇත්තේ ආබාධිතයන් අතුරින් අතිශය සුළුතරයකට පමණක් වන බව ද ඔබතුමාගේ අවධානයට ලක් කරනු කැමැත්තෙමි.

ආබාධිතයන් භාවිත කරන සහායක තාක්ෂණික උපකරණ කිසිවක් හුදෙක් උපකරණයක් ලෙස නොව ආබාධ සහිත තැනැත්තාගේ ශරීරයේ කොටසක් ලෙස සැලකෙන බැවින් ආබාධිතයන් භාවිතා කරන සහායක උපකරණ මත අයකෙරෙන බදු ඉවත් කිරීමට අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

විමල් වීරවංශ (පා.ම.)
2022.12.16

මෙම පුවත අද (2022.12.19) දින “දෙරණ අරුණ” වැඩසටහන වාර්තා කළ ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *