ඖෂධ ජාවාරම්කාරයන්ගේ “යාලුවෝ ඒ පැත්තේ – නෑයෝ මේ පැත්තේ” – විශ්වාසභංගය අතරතුර විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන හදිසි මිලදී ගැනීම්වලින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, වංචනික ලෙස සෞඛ්‍ය පද්ධතියට පැමිණ ඇති බවට, විශ්වාසභංගය මඟින් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට එල්ල කර ඇති ප්‍රධාන චෝදනාව “ආණ්ඩු පක්ෂයේ සිටින හදිසි මිලදී ගැනීම්වලින් අයුතු වාසි ලබන්නන්” සහ “විපක්ෂයේ සිටින හදිසි මිලදී ගැනීම්වලට ඖෂධ සපයන සමාගම්වල හිමිකරුවන්ගේ ඥාතීන්” විසින් යට ගසන බවත් මෙසේ තක්කඩිකමින් සිදු කරන විශ්වාසභංගයකින් අවසානයේ සිදු වන්නේ “කෙහෙළිය රඹුක්වැල්ල 01” වෙනුවට “කෙහෙළිය රඹුක්වැල්ල 02” සෞඛ්‍ය ඇමැති පුටුවට පැන ගැනීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“තක්කඩිකමින්” දවස් ගණනක් විවාද කළත් වැඩක් නැහැ!

“සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අපගේ සහයෝගය ලබාදෙන බව මුලින්ම අවධාරණය කළ යුතුයි. මෙම විවාදයට සවන් දීමේදී මා නිරීක්ෂණය කළ ප්‍රධාන කරුණක් තමයි එල්ල වන ලොකුම චෝදනාව වන ‘හදිසි මිලදී ගැනීම්වලින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, වංචනික ලෙස සෞඛ්‍ය පද්ධතියට ඇවිල්ලා’ කියන කාරණය ගැන සවිස්තරව සාකච්ඡා නොවීම. මම සොයා බැලුවා, ‘ඇයි ඒ නිශ්චිත කාරණය පිළිබඳව මෙතැන එච්චර කතා නොවෙන්නේ?’ කියා. ඒකට හේතුව මේකයි. හදිසි මිලදී ගැනීම්වලින් අයුතු වාසි ලබාගන්නා සමහරු ඉන්නවා ඔය පැත්තේ(ආණ්ඩු පක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරමින්). ඒ වගේම හදිසි මිලදී ගැනීම්වලට ඖෂධ සපයන සමාගම්වල නෑදෑයො ඉන්නවා මේ පැත්තේ. මේක තමයි ඇත්ත කතාව. නෑදෑයො ඉන්න නිසා, අදාළ ඖෂධ සමාගමේ නම කියන්න බැහැ; සමාගමේ අයිතිකරුගේ නැන්දා කවුද, කියන්න බැහැ; බැන්ඳේ කවුද, කියන්න බැහැ. ඒ නිසා ඒ තොරතුරු වහගෙන යනවා. ඒවා වහගෙන ‘චැනල් 4’ ගැනයි තවත් බොහෝ දේ ගැනයි කතා කරනවා. මේ සියල්ල තක්කඩිකමට කරන දේවල්. ඔය තක්කඩිකම තියාගෙන අපි දවස් කිහිපයක් විවාද කළත් එහි ප්‍රතිපලයක් තිබෙයි ද? මේ විදිහට හරි විවාද කරලා, ඡන්ද විමසලා, හදිසි මිලදී ගැනීම්වලින් වංචා කළා, කියලා අපි කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කළා කියා හිතමුකෝ. නමුත් ඉන් පසුව සෞඛ්‍ය ඇමැති පුටුවට එන්නේ කවුද? කෙහෙළිය රඹුක්වැල්ල 02. ඉන් පසුවත් මේ විදිහටම ගිහින් කෙහෙළිය රඹුක්වැල්ල 03 ඇමැති පුටුවට ඒවි.

‘මහා කඩා වැටීම නතර වෙයි ද?’

මේ විදිහේ වෙනස්කම් වුණා කියලා අපේ සෞඛ්‍ය පද්ධතියේ සිදුව ඇති මහා කඩා වැටීම නතර වෙයි ද? කැපවීමෙන් වැඩ කරන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ට, රෝගීන්ට සාධාරණය ඉෂ්ට වෙයි ද? ඒ නිසා අපි ‘වටේ වනලා’ වැඩක් නැහැ; මහා පින්තූරය දකින්න ඕනේ. හදිසි මිලදී ගැනීම්වලින් ගසා කනවා, කියන චෝදනාව මේ රටේ බොහෝ සෞඛ්‍ය ඇමතිවරුන්ට එල්ල වූ චෝදනාවක්. විපක්ෂයේ අපි හැමදාම ඒ චෝදනාව කරනවා. ආණ්ඩුවේ කට්ටිය ඇවිත් ඒ චෝදනාව බොරුයි කියලා, ඡන්ද විමසීමෙන් දිනලා, සතුටින් යන්න යනවා. මේක තමයි දිගින් දිගටම සිදු වුණේ.

‘ලැබ් එකක්’ හදලා විතරක් බැහැ

දැන් මෙතැනදී ඔබතුමා පැවසුවා, ඖෂධවල ප්‍රමිතිය සොයා බැලීමට ‘ලැබ් එකක්’ ඉදිකිරීමට මුදල් වෙන් කරනවා, කියා. නමුත් හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට කිට්ටු කරලා රසායනාගාරයේ එක කොටසක් අක්‍රිය වේවි, අර පායන කාලය කිට්ටු කරලා නොරොච්චෝලේ අක්‍රිය වෙනවා වගේ. ඒ වගේම ඔබතුමා පවසා තිබුණා, රෝහල් ඉදිරිපිට තිබෙන්නේ මල් ශාලා, කියා. රෝහල් ඉදිරිපිට මල් ශාලා පමණක් නොවෙයි, රෝගීන්ට අවශ්‍ය පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රසායනාගාර ද තිබෙනවා. ඇතැම්විට රෝහලේ තිබෙන වෛද්‍ය පරීක්ෂණ සිදු කරන යන්ත්‍රයක් කැඩෙනවා, පෞද්ගලික රසායනාගාරයේ තිබෙන යන්ත්‍රයට වැඩ යනවා. ඒ නිසා ‘ලැබ් එකක්’ හදලා විතරක් මේ සෞඛ්‍ය සේවයේ සිදුව ඇති මහා කඩාවැටීමෙන් ගොඩඑන්න බැහැ. මේ ‘සමස්ත පින්තූරය’ දැකලා මහා වෙනස්කමකට අප ගමන් කළ යුතුයි.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

අපි මේ විවාදය, මේ වටිනා කාලය, යොදා ගන්න ඕනේ ලෝක සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට සිදුව ඇති දේ තේරුම් ගන්නයි. මට පෙර අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා පැවැසුවා, මේ වසරේ පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරවලට වඩා වැඩි වෙලා, කියා. පිළිකා රෝහලට වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට වඩා පිළිකා තිබෙන බව නොදැන ඉන්න තවත් පිරිසකුත් ඇති. මේ කාරණය පිළිබඳව අපි විශේෂයෙන් අවධානය යොමු කරමින්, පිළිකා රෝගීන් මේ තරමට බහුල වන්නේ ඇයි? කියලා බලමු. මේ ආර්ථික අර්බුදය විසින් මේ තත්ත්වය තවත් උග්‍ර කරනවා. ප්‍රමිතියෙන් යුතු ආහාර සහ පරිභෝජන ද්‍රව්‍ය මිලදී ගැනීමේ හැකියාව අඩු වීමත් සමඟම බොහෝදෙනා ප්‍රමිතියෙන් තොර ඉහත දේවල් මිලදී ගැනීම ඇතුළේ තමයි මේ කනගාටුදායක කාරණය සිදු වන්නේ.

‘බඩ බුරුල් වූ කෙනෙක්’ ගැන අතුරු කථාවක්!

ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බින්දුවට වැටී තිබියදී Global Finance සඟරාව, අපේ රටේ මහ බැංකු අධිපතිවරයා ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට ගෙන යනවා. අපට මතකයි මීට ඉහතදී එම ‘ජාත්‍යන්තර සඟරාවෙන්’ රවී කරුණානායක මහතා ලෝකයේ හොඳම මුදල් ඇමතිවරුන් අතරට ගෙන ගියා. මේ රටේ අපනයනකරුවන් උපයන ආදායම මාස තුනක් ඇතුළත රට තුළට රැගෙන නාවොත් එය අපරාධ වරදක් ලෙස සලකපු විදේශ විනිමය පනත සංශෝධනය කරලා, නව විදේශ විනිමය පනතක් මගින් ඒ මුදල් පිටරටවල ‘පාක් කරලා’ තියාගන්න වාතාවරණය හැදුවාටයි රවී කරුණානායකට ඒ සම්මානය ලැබෙන්න ඇත්තේ. ඒ වගේම මේ වත්මන් මහ බැංකු අධිපතිවරයා පත් වූ ගමන් ‘හදිසියේ බඩ බුරුල් වෙලා වැසිකිළියට යනවා’ වගේ ‘ශ්‍රී ලංකාව බංකොලොත් රටක්. ණය ගෙවා ගන්න බැහැ’ කියලා ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රකාශයට පත් කිරීම නිසා අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අපේ රටේ ආර්ථිකයේ, බෙල්ල මුලින් අල්ලාගෙන ඉන්නවා. දැන් බලන්න, ජනාධිපතිවරයා පනත් දෙකක් ගෙනැවිත් කියනවා, ‘මට මේ පනත් දෙක මේ සතියෙම සම්මත කර ගන්න ඕනෙ. නැතිනම් IMF එක මගේ බෙල්ල කනවා’ කියා. මේ පනත් දෙක පාර්ලිමේන්තු සම්ප්‍රදාය පවා උල්ලංඝනය කරමිනුයි ගෙනවිත් තිබෙන්නේ. IMF එක පාකිස්ථානයට, ‘බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරපල්ලා’ කියලා කොතරම් කීවත් ඔවුන් ඒක කළේ නැහැ. පාකිස්ථානය එහිදී විකල්ප උත්තර හොයා ගත්තා. නමුත් මේ රටේ, ‘IMF කුක්කෙක්’ ඇවිල්ලා මහ බැංකු අධිපති වුණාම ‘රට බංකොලොත්’ කියනවා පමණක් නොවෙයි ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් 21ටත් අයිති වෙනවා. මේ විදියට ගියාම එයා IMF පදයට නටන ලෝකෙ පළමුවැනියා බවටත් පත් වෙලා සම්මානයෙන් පිදුම් ලබාවි. ඒක අතුරු කතාවක්.

ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයට…

මේ ආර්ථික අර්බුදය උත්සන්න වන තරමට අපේ සමාජයේ සෞබ්‍ය ගැටලු ද තීව්‍ර වීම සිදු වෙනවා. දැන් බලන්න, වෙළෙඳපොළට ගියාම කරවල තියෙනවා මැස්සෝ වහන්නේ නැති; සීනි තියෙනවා කූඹි වහන්නේ නැති; හාල් තියෙනවා ගුල්ලො ගහන්නෙ නැති. විශාල හාල් මෝල් හිමියෝ කන්ටේනරය වගේ තිබෙන ලොරියට හාල් පටවලා, ගෑස් එකක් ගහලා දොරවල් වහනවා. එහෙම වෙළඳපළට එන හාල් මිලදී ගන්නා ගෙදර උන්දැලාත් කියනවා, ‘ඒ හාල හරි ෂෝක්. ගුල්ලෝ ගහන්නෙත් නැහැ’ කියා. අද අපි, ගුල්ලෝ නොගහන හාල් හොයන, මැස්සෝ නොවහන කරවල හොයන, කූඹි නොවහන සීනි හොයන ජාතියක් බවට පත්ව තිබෙනවා. ඒ කියන්නේ අද අපි විවිධ වස විස මිශ්‍ර කරපු ආහාර, ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනය කරන ජාතියක් බවට පත්ව තිබෙන බවයි.

‘Unilever’ලාට උවමනා ප්‍රමිතිය

දැන් බලන්න, ප්‍රමිති කාර්යාංශය කියා එකක් තිබෙනවා. ඒකෙත් ඉන්නවා ‘සුදු කරපටි’ බඩු ටිකක්. ඒ උන්දැලා සියලු සමාගම්වලින් පගාව කාලා ඒ සමාගම්වලට උවමනා විදිහට ප්‍රමිතිය හදනවා. මේ ප්‍රමිතිය හැදිය යුත්තේ මහජනයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට නොවෙයි ද? හැබැයි මෙයාලා ප්‍රමිතිය හදන්නේ Unileverලාට, Nestleලාට උවමනා විදිහටයි. සබන් කැටයේ ප්‍රමිතිය හදන්නේ Unileverලාට උවමනා අන්දමටයි. මම මීට කලින් මේ සභාවේ දී කර්මාන්ත අමාත්‍යවරයා විදිහට Lifebuoy කැටය පිළිබඳව අනාවරණය කළා. ඊට පසුව Unilever සමාගමේ නියෝජිතයින් පිරිසක් මාව සොයාගෙන අමාත්‍යාංශයට ආවා. මම විශේෂඥයන් පිරිසක් හා එක්ව ඔවුන් සමඟ මේ පිළිබඳව කතා කළා. නමුත් ඒ Unilever සමාගමේ නියෝජිතයන්ට අප ඉදිරිපත් කළ කිසිදු තර්කයකට පිළිතුරු දෙන්න බැරි වුණා.

Nestomalt ප්‍රමිතියෙන් තොරයි!

මම තවත් මෙවැනි උදාහරණයක් කියන්නම්. අපේ රටේ ජනතාව Nestle සමාගමේ Nestomalt නැමැති පානය පරිභෝජනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. මොරටුව විශ්වවිද්‍යාලයේ දරුවන් පිරිසක් වැඩිපුර අධ්‍යාපන කටයුතු සඳහා නොර්වේ රටට යනවා. ඔවුන් බීලා පුරුදු වෙලා තිබුණු Nestomalt නැතුව හාමතේ වගේ ලු. ඒ නිසා නෝර්වේ රටේ එක නගරයක ශ්‍රී ලාංකිකයන් පරිභෝජනය කරන ද්‍රව්‍ය තිබෙන වෙළඳසැලක Nestomalt ගිහින් තියාගෙන ඉන්නවාලු. කොහොම නමුත් නෝර්වේවල ප්‍රමිති අංශ සහ සෞඛ්‍ය අංශ මේ වෙළඳසැල වටලලා විකීණීමට තිබුණු Nestomaltවල ප්‍රමිතිය පරික්ෂා කර බලා තිබුණා. ඒ පරීක්ෂාවෙන් පසුව ‘මේ නිෂ්පාදනය ප්‍රමිතියෙන් තොරයි; කැරලි බහුලයි; සෞඛ්‍යයට අහිතකරයි; නැවත එය නොර්වේ රටට රැගෙන ආ නොහැකියි.’ කියා නියෝගයක් පනවා තිබෙනවා. මේ අපේ රටේ ප්‍රමිති කාර්යාංශය හොඳට බලලා අපට පොවන Nestomalt තමයි නෝර්වේවලදී ප්‍රමිතියෙන් තොර වූයේ. බලය, ජවය, ශක්තිය වඩවන එක කෙසේ වෙතත් ලෙඩ්ඩු බෝ කරමින්, ඉස්පිරිතාලවලට පැටවීම නම් මෙයාලා සිදු කරනවා.

හෘදසාක්ෂිමය බැඳීමක් නැති මිනිස්සු

කෝ මේ ප්‍රමිති කාර්යාංශයේ මහත්වරුන්ගේ හෘදසාක්ෂිය? ‘හෘදසාක්ෂිය’ ඔවුන් දමන ‘ටයි ගැටේ’ හිර කරලා ද? මේ විදිහේ තමන්ගේ වගකීම පිළිබඳ හෘදසාක්ෂිමය බැඳීමක් නැති මිනිස්සු ඉන්නා තුරු ඖෂධවල ප්‍රමිතිය පිරික්සන්න ‘ලැබ්’ හැදුවත් ඒවායේ උපකරණ කැඩෙන්න පටන් ගන්නවා. මේ තමයි මෙතැන තිබෙන ඉරණම් කතාව. එයයි අපි වෙනස් කළ යුත්තේ. තමන්ගේ වගකීම පිළිබඳ හෘදසාක්ෂිමය බැඳීමක් නොමැති සමාජයක් ඇතුළෙ ඖෂධ මාෆියා, ඒවා හා බැඳුණු වෙනත් මාෆියා අතු-ඉති-රිකිලි දමමින් වැඩෙන එක වළක්වන්න බැහැ. එක තැනකට පොඩි ප්‍රතිකාරයක් කළා කියලා සමස්ත දේහය පුරා පිළිකාව ඔඩු දුවන එක වළක්වන්න බැහැ. ඒ නිසා අපි පුළුල් ප්‍රතිසංස්කරණයක් පිළිබඳ සංවාදයක් තමයි ගොඩනැගිය යුත්තේ.

බිල් ගේට්ස්ලාගේ මතය මෙන්න!

ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිපුරම මුදල් පොම්ප කරන සුපිරිම ධනපතියෙකු වන බිල් ගේට්ස් එක්තරා වීඩියෝ පටයකින් මෙසේ කියනවා මා නරඹනු ලැබුවා. ඔහු කියනවා, ‘මමත් මගේ බිරිඳත් සාකච්ඡා කළා ලෝක සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් දියුණු කළ යුතුද, නැද්ද, කියා. අපි දෙදෙනා තීරණය කළා තවදුරටත් එසේ කළ යුතු නැහැ, කියා. තව දියුණු කළොත් ලෝක ජනගහනය වැඩි වෙනවා. ඒ මගින් ලෝකය තුළ අර්බුද ගණනාවක් ඇති වෙනවා. ඒවායින් පළමුවැනි ලෝකයේ අපටත් බැට කන්න සිදු වෙනවා. ඒ නිසයි අපි තීරණය කළේ ලෝක සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් දියුණු නොකළ යුතුයි, කියා’ යනුවෙන්. මේ තමයි ඔවුන්ගේ මතය.

මානව සංහතියට එරෙහි ජෛව ප්‍රහාර

දැන් බලන්න, ඉහෙන් බහින කිසිම ලෙඩක් නොතිබුණු අපේ රටේ අවුරුදු 50ට අඩු බොහෝ පිරිස් හෘදයාබාධවලින් මිය යනවා; සමහරු අංශභාග තත්වයට පත් වෙනවා. හදිසි මරණ පරීක්ෂකවරයා මරණයට හේතුව කීවාට, බොහෝ වෛද්‍යවරුන් මේ ගැන නිරුත්තරයි. නමුත් ඇතැම් වෛද්‍යවරුන් අහනවා, ‘වැක්සීන් තුනම ගත්තා ද?’ කියා. හොයලා බැලුවාම උත්තරය ‘ඔව්’. මේ විදියට ලෝක සෞඛ්‍ය සංවිධානය අපව මරන් කන්න ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානය මරන් කන්න ගත්තාම, මෙහෙ පාලකයෝ අපව මරන් කන්න ගත්තා, ‘වැක්සීන් තුනම ගහපල්ලා’ කියා. අපි ලණු කනවා. බලන්න, දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මේ වැක්සීන් පිළිබඳව කතා කරන දේවල්. මේවා මානව සංහතියට එරෙහිව එන ජෛව ප්‍රහාර. අපේ අහිංසක තරුණ දරුවන් අද ඒවායේ ගොදුරු බවට පත්ව තිබෙනවා. ඒ නිසා ලෝක පරිමාණ සෞඛ්‍ය මාෆියාවේ කතාව හරියට කියවාගෙන, ඉන් එළියට ඒමේ දැක්මක් සහ චින්තනයක් අප සකසාගත යුතුයි.

දැනුම කියන්නේ ආයතනගත දැනුම පමණක් ද?

දැනුම කියන්නේ මේ ආයතනගත දැනුමම නොවෙයි. දැන් බලන්න, කාලගුණ දෙපාර්තමේන්තුව කිව්වා, ‘වර්ෂාව ලැබෙන්නේ ලබන මාසයේ’ කියා. අපේ ගමේ වාසය කරන මගේ මිත්‍රයෙකුගේ සීයා කෙනෙකු මීට සතියකට පමණ පෙර කිව්වා,’ පුතේ තව සතියකින් වහිනවා’ කියා. එවිට මගේ යාළුවා ඇහුවා,’ සීයේ කොහොමද එහෙම කියන්නේ?’ කියා. එවිට සීයා කියනවා,’ බලපන් අර වේ හුඹහ ගහ උඩට බැඳලා නේ’ කියා. ඔහු දන්නවා වේයන් ගහ උඩ හුඹහ බඳින විට තව සතියකින් විතර වැස්සක් වැටෙන බව. ‘සුනාමියක් එනවා’ කියලා මුලින්ම දැනුම් දුන්නේ කාලගුණ දෙපාර්තමේන්තුව නොවෙයි. අවට සිටි බල්ලන් විසින්.

ඓතිහාසික දැනුම හා චින්තනය සමඟ මුසු වෙමු!

අපේ ජාතිය ඓතිහාසික දැනුම් සම්භාරයක් හිමි ජාතියක්. ලෝකයේ පළමු රෝහල මිහින්තලා රෝහලයි. ලෝකයේ පළමු ශල්‍යකර්ම උපකරණ කට්ටලය නිපදවූ රට අපේ රටයි. ඒ ශල්‍යකර්ම උපකරණ කට්ටලය තුළ තිබුණා අදත් ශරීර අභ්‍යන්තරය ඡේදනය සඳහා භාවිතා කරන, එක තලයක් දිග, අනිත් තලය කොට සැත්කම් කතුර. අපේ ඇතැම් රජවරු එදා පෝය දවසට රාජකීය ඇඳුම් කට්ටලය ගලවලා, ශල්‍යකර්ම වෛද්‍යවරයාගේ ඇඳුම් කට්ටලය ඇඳගෙන කුලගොත් කිසිවක් නොබලා සාමාන්‍ය මිනිහාට සැත්කම් කළා. ඒ නිසා ඒ ඓතිහාසික දැනුම හා චින්තනය සමඟ මුසු වෙලා අපේ සෞඛ්‍ය සේවය දෙස බැලිය යුතුයි. එහෙම නොවුණොත් අපට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වැටී තිබෙන වළෙන් කිසිදාක ගොඩගන්න බැහැ”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-09-07

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *