ජනපති රනිල් තව “එක ගිවිසුමකට” ගියොත් ශ්‍රී ලංකාව ඉබේම “ඉන්දියාවේ ප්‍රාන්තයක්!” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර මෙරට ජනතාවගේ අදහස් විමසීමකින් හෝ පාර්ලිමේන්තුවේ සංවාදයකින් තොරව ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම් හතරෙන් එකක් මගින් මෙරට තුළ ඉන්දියානු රුපියල, ශ්‍රී ලංකා රුපියල වැනිම මුදල් ඒකකයක් බවට පත් කොට ඇති බවත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රේගු දෙක ඒකාබද්ධ කෙරෙන තව එක ගිවිසුමක් අත්සන් තැබීමෙන් පසු “ශ්‍රී ලංකා රාජ්‍යය” ආර්ථිකමය වශයෙන් “ඉන්දියාවේ ප්‍රාන්තයක්” බවට පත් වීම නියත බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

ඊයේ(30) පිළියන්දල බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේදී පැවැති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයේදී සිය දේශනය පවත්වමින් උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ පෙන්වාදුන්නේය.

මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායක, කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අතුල සේනානායක, උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවල සෙසු ප්‍රාදේශීය නායකයෝ සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේද සඳහන් කළේය.

‘ඉන්දියානු රුපියලේ ගිවිසුම’

“ප්‍රශ්නය කුමක්ද? ඒකට මුල් වුණු හේතු මොනවාද? කියා හරියට තේරුම් ගත්තොත් තමයි ‘රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?’ කියා හොයාගන්න පුළුවන් වෙන්නේ. මෑතකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දියාවේ ගොස් ගිවිසුම් හතරකට අත්සන් තැබුවා. එකක් තමයි, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තෙල් නළයක් එළීම පිළිබඳ ගිවිසුම. දකුණු ඉන්දියාවත් මන්නාරමත් යාකරන අධිවේගී මාර්ගයක් හැදීම පිළිබඳ ගිවිසුම දෙවැන්නයි. මේ ගිවිසුම් හතරෙන් කිසිවක් පිළිබඳව මේ රටේ ජනතාවගේ අදහස් විමසලා නැහැ. මේ ගිවිසුම් අතර තිබෙන ඉතා විවාදාත්මක ගිවිසුම තමයි ‘ඉන්දියානු රුපියල’ ශ්‍රී ලංකාව තුළ ‘ශ්‍රී ලංකා රුපියල’ සේම වෙළෙඳ හා වාණිජ කටයුතු සඳහා යොදාගන්නා මුදල් ඒකකයක් බවට පත් කිරීමේ ගිවිසුම.

‘ළඟ එන ගිවිසුම…’

මේ ගිවිසුම් හතරෙන් පසුව, ඊළඟට එන්න නියමිතයි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රේගු දෙක ඒකාබද්ධ කිරීමට අදාළ ගිවිසුමක්. ඒ ගිවිසුම ආවාම බදු අය කිරීම් ද නතර වෙනවා. ඉන් පසුව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉබේම ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් වෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් බැට කාපු ජනතාවට රටේ, ලෝකයේ සිදුවීම් ගැන හිතන්න අද වෙලාවක් නැහැ. ආර්ථික අර්බුදයේ පීඩනය හේතුවෙන් අද ඔවුන් විෂම මනසකට ගොදුරු වී සිටිනවා. එම වාතාවරණය පාවිච්චි කරලා සාමාන්‍ය වෙලාවකදී ගන්න බැරි ප්‍රතිගාමී තීරණ ටික අද රනිල් වික්‍රමසිංහ මහතා ගනිමින් සිටිනවා.

‘ආර්ථික අර්බුදයට හේතු’

මේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව තමයි අසීමාන්තිකව ණය ගැනීම. ඵලදායක නොවන කාරණා සඳහා වුවත් 1977න් පසුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් විවෘත ආර්ථික මොඩලය යටතේ, මේ රටේ පාලකයන් ණය ගත්තා. ඒ වගේම මෙම ආර්ථික අර්බුදයට මුල් වුණු ඊළඟ හේතුව තමයි, අධි පාරිභෝජනවාදී සමාජ ආර්ථික සැකැස්මක් නඩත්තු කිරීම. ඒ නව ලිබරල්වාදී ආර්ථික රටාව යටතේ, ‘පිටරටින් ගෙනල්ලා, සැපට කාලා ජොලියේ ඉඳිමු’ යන තත්ත්වයට ජනමනස හැදුණා. ඒ යටතේ ලංකාවේ නිෂ්පාදන හෑල්ලුවට, අවතක්සේරුවට ලක් වුණා.

‘කැඳ බීලා ද ආවේ?’

සුද්දාගේ කාලයේ සිටම අපේ දේවලට ගැහුවා. ‘සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා’ කිව්වේ ‘කැවුම’ පරණ වුණාම අපේ සෙබළුන්ට එය යුද පිටියේ දී සිදු වන තුවාලවලට පවා ඖෂධයක් වූ බව සුද්දා දුටු නිසයි. ‘කැඳ බීලා ද ආවේ?’ කියමින් ඖෂධීය ගුණයෙන් පිරිපුන් කැඳ කෝප්පය වෙනුවට ජාතියට පිටිකිරි හුරු කළා. පසුකාලීනව යූරියා නිපදවා අතිරික්තය පාකිස්ථානයේ ගොවියාට පවා යවපු අපේ රටේ දේශීය නිෂ්පාදනය පද්ධතිය, 1977න් පසුව අද දක්වා ඉතාමත් බරපතල ලෙස බිඳවට්ටවා තිබෙනවා. ඒ අපේ දේවල් අත්හරවලා අධි පරිභෝජන රටාවකට අද ජනතාව හුරු කරලා තිබෙනවා.

‘තේ හදන්නත් රජයේ සේවකයෙක්’

ජපානය වැනි දියුණු ධනවාදී රටක පවා රාජ්‍ය සේවය තුළ තමන්ගේ ප්‍රධානීන්ට ‘තේ හදලා දෙන’ ක්‍රමවේදයක් නැහැ. නමුත් අපේ රාජ්‍ය සේවය තුළ ප්‍රධානීන්ට තේ හදන්නත් රාජ්‍ය සේවකයන් කීයක් නඩත්තු කරනවා ද? මේ එකක් දෙකක් වෙනස් කරලා මදි. මේ තත්ත්වය තේරුම් ගැනීමට, නිදසුන් කිහිපයක් පමණයි. බලන්න, ‘කැඳ එකට ගැහුවා, පිටි කිරි පෙව්වා, ලෙඩ වැඩි වුණා, ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ගෙන් පිරුණා. සෞඛ්‍ය සේවයට වෙන් කළ යුතු මුදල වැඩි වුණා, ඒ මුදල දෙන්න විදිහක් නැති වුණාම ණය වුණා’ කියන විෂම චක්‍රයකට නොවෙයි ද අපි ගොදුරුව සිටින්නේ?

‘වාලච්චේන ආදර්ශය’

මේ රට ණයට අරන්, සැපට කාලා, ජොලියේ ඉන්න, ගමනකට හුරුවුණු රටක්. ඒ ගමන තමයි අද අර්බුදයට පත්ව ඇත්තේ. අපට ජාතියක් ලෙස ස්වෝත්සාහයෙන් නැගී සිටි ඉතිහාසයක් තිබෙනවා. වාලච්චේන කඩදාසි කම්හල කියන්නේ ටී. බී. සුබසිංහ මැතිතුමා කර්මාන්ත අමාත්‍ය ධුරය දරපු සමයේ නැගෙනහිර ජර්මනිය මෙරටට ලබා දීපු පරිත්‍යාගයක්. ‘වාලච්චේන කඩදාසිය’ එදා සිටම අපේ රටේ කඩදාසි අවශ්‍යතාව යම් පමණකට සපුරා දුන්නා. මා 2019 අග භාගයේ කර්මාන්ත අමාත්‍ය ධුරය භාරගන්නා විට වාලච්චේන කඩදාසි කම්හල අබලි යකඩවලට විකුණා දැමීමට කැබිනට් තීන්දුවක් ගෙන තිබුණා. නමුත් අපි අද වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දී තිබෙනවා. ‘දේශපාලන හෙන්චෙකු’ වෙනුවට විෂය ප්‍රවීණයකු ජාතික කඩදාසි සමාගමේ සභාපති කරවීමෙන් අපි අරඹපු ‘වාලච්චේනට යළි පණ දීම’ ලොතරැයි මුද්‍රණය, රජයේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි සැපයීම දක්වා ඉදිරියට ආවා. අද විය යුත්තේ විදේශ විනිමයට තිබෙන ඉල්ලුම අඩු කිරීමයි. ඒ කියන්නේ ඩොලරයට තිබෙන ඉල්ලුම අඩු කිරීමයි. ඒ සඳහා අපි දේශීය නිෂ්පාදනය ඉහළ දැමීමේ සහ දේශීය නිෂ්පාදන පාරිභෝජනය කිරීමේ ක්‍රමවේදයකට හැකි ඉක්මනින් මාරු විය යුතුයි.

‘නිවට කරණවෑමියා’

දැන් බලන්න, රුසියාව දෙස. රුසියාවට ඉර පායන්නේ මාස හයයි. නිදසුනක් ලෙස තිරිඟු වගාව ගත්තොත් ඔවුන් ඒ ඉර පායන මාස 6 තුළ වසරට අවශ්‍ය තිරිඟු පිටි නිපදවලා අතිරික්තය අපනයනයට ද කටයුතු කරනවා. ආහාර සුරක්ෂිතතාව සහ හොඳ අපනයන ආදායමක් තිබෙන විට එතැනින් තමයි රටක ස්වෛරීත්වයට පාර කැපෙන්නේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට කොන්ද කෙලින් තියාගෙන තීරණ ගතහැකිව තිබෙන්නේ ඉහත කී තත්ත්වය නිසයි. අපේ රටේ පාලකයන් අද ‘නිවට කරණවෑමියා’ වගේ, ‘එළුවොත්’ ඇවිත් ‘නිකට’ පානවා. රට එතැනට වට්ටලයි තිබෙන්නේ.

‘ඇමරිකාවේ උවමනාව’

ඉන්දු – පැසිෆික් කලාපයේ පිහිටි උපායමාර්ගික වැදගත්කමින් වැඩිම රට හන්දා අද ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම අවධානය යොමුව ඇත්තේ ද අපේ රටටයි. පසුගිය පෙබරවාරි 14 වැනිදා CIA ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් 20ක කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ආවා. ඇවිත් තමන්ට මේ රටේ බින්න බහින්න පුළුවන් ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරයාව ඒවාට එකඟ කර ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. තුන්වන ලෝක යුද්ධයක් ඇතිවුවහොත් ‘ශ්‍රී ලංකාව කවුරුන් යටතේ ද පවතින්නේ?’ කියන එක මත තමයි එම යුද්ධය කෙළවර වීම පවා තීරණය වන්නේ. ඒ නිසා බටහිර බලවතුන් අපේ රටේ ‘නිවට කරණවෑමියන්’ පාලනයේ ඉන්නවාට කැමතියි.

ටෙලිකොම් විකිණීම උත්තරයක් ද?

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් අපි ඉහත කී ආකාරයට තෝරන්න ඕනේ ඩොලරයට තිබෙන ඉල්ලුම අඩු වෙන ක්‍රියාමාර්ගයි. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායමාර්ගය වී ඇත්තේ ලාබ ලබන රාජ්‍ය ආයතන පවා විකුණා දැමීමයි. මේවා මිලදී ගන්නෙ විදේශ සමාගම්. දැන් ටෙලිකොම් සමාගම 5G තාක්ෂණය සතු කර ගත්තාට පසුව එය ලයිකා මොබයිල් සමාගමේ හිමිකරු සුබාස්කරන් අලිරාජාට කුණුකොල්ලයට විකුණා දමන්නයි හදන්නේ. මෙහෙම කළාම ඔවුන් ලබන ලාබය ඩොලර් බවට පත් කරලා රටින් පිටට ගෙන යනවා. එවිට අපේ රටේ ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර වෙනවා. ඒ අනුව දැන් රනිල් වික්‍රමසිංහගේ උපායමාර්ගයෙන් සිදු වන්නේ මේ ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වීම බව පැහැදිලියි. රනිල් වික්‍රමසිංහට තිබෙන උත්තරය තමයි ඉහත ආකාරයට රාජ්‍ය ආයතන විකිණීම සහ තවතවත් ණය ගැනීම.

හරියට සහනාධාරයක් බෙදාගන්නවත් බැරි ජනපතිවරයෙක්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේ විකිණීම සහ තවතවත් ණය ගැනීම යන “උත්තරවලට” අමතරව මේ මොහොතේ රටට කිසිදු ආකාරයක මඟපෙන්වීමක් සිදු කර තිබෙනවා ද? දැන් බලන්න, මෙයා ‘අස්වැසුම’ කියා සහනාධාර බෙදීමක් කළානේ. ඇතැම් රජයේ සේවකයන්ට, තේ අක්කර කාලක් සහ වාහන දෙකක් හිමි අයට ‘අස්වැසුම’ හිමි වෙලා. නමුත් ආබාධිත දරුවන් සිටින අන්ත දිළිඳු පවුල්වලට ‘අස්වැසුම’ නැහැ. මම පසුගියදා ජනාධිපති ලේකම්වරයාගෙන් මේ ගැන විමසුවා. ඔහු පැවසුවේ ‘අපටත් මේ අඩුපාඩු ආරංචි වෙලා තිබෙනවා. අපි දැන් ලෝක බැංකුවට කියන්න යන්නේ තිබුණු සමෘද්ධිලාභීන්ගේ ලේඛනයටම අස්වැසුම ලබාදෙන්න අනුමැතිය දෙන්න’ කියලයි. අඩුම තරමින් මේ ජනාධිපතිවරයාට ලෝක බැංකුවෙන් ලබා දෙන සහනාධාරයවත් හරි ආකාරයට බෙදාගන්න බැහැ.

‘බස් එක’ හැප්පුවේ රනිල්

ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව අසීමාන්තිකව ණය ගැනීම නම් එය වඩාත් උග්‍ර කළේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ යහපාලන ආණ්ඩුවේ අවුරුදු හතරහමාර තුළයි. නිදහසින් පසුව ශ්‍රී ලංකාව 2015 දක්වා ලබාගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14යි. 2015 සිට 2019 අගෝස්තු දක්වා අවුරුදු හතරහමාර තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් සහන කාල නැති, අධික පොලිය සහිත ඩොලර් බිලියන 12ක ණය තොගයක් රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව විසින් ගත්තා. අපේ ණය බර ඒ අවුරුදු හතරහමාර තුළ දෙගුණයකින් ඉහළ ගියා. ඊට පසුව ඩොලර් බිලියන දෙකකට තිබුණු වාර්ෂික විදේශ ණය වාරිකය ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගියා. මේ විදිහට අවිචාරවත් ලෙස ගත්තු ණය තොගය තමයි අපේ ‘ආර්ථිකය’ නමැති ‘බස් එක’ හැප්පෙන්න හේතුව.

ලෝකයටම කියපු ‘බංකොලොත් කතාව’

මේ විදිහට ණය අරගෙන ‘ආර්ථීකය’ නැමැති ‘බස් එක’ හප්පපු රනිල් වික්‍රමසිංහ මහත්තයා, ආයෙත් කරන්න හදන්නේ ණය ගන්න එක තමයි. දැන් එයා ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගන්න බලනවා වගේම, ඉන්දියාව, චීනය වැනි රටවලට අතපෑමත් කරනවා. අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනගෙන හිටියේ නැහැ, මේ විදයට අපේ ණය වාරිකය ඩොලර් බිලියන දෙකේ සිට හය දක්වා ඉහළ ගිය බව. ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ යහපාලනයෙන් පසුව බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ පාලනය වාර්ෂිකව ණය පොලී වාරිකය ලෙස ඩොලර් බිලියන හයක් ගෙවිය යුතුයි. ජල විදුලි බලාගාර හිඳිලා නම් ඩීසල්, ගල් අඟුරු, විදුලි බලාගාරවලින් විදුලිය ලබා දෙන්න ඕනේ. ඒ අස්සේ කොරෝනා ආවා. ආදායම් පහළ ගියා. ඒ කාලයේ ජවිපෙ සුනිල් හඳුනෙත්තිලා කිව්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට, ‘නුඹලා ඩොලර් එවන්න එපා! මුං ඒවා හොරා කනවා’ කියලා. ඊට පස්සේ බොහෝ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් එව්වෙ උන්ඩියල්, හවාලා වැනි නීති විරෝධී ක්‍රමවලටයි. ඒ වගේම දැන් ඉන්න මහ බැංකු අධිපතිවරයා ඇවිත් දවස් දෙකතුනෙන් ලෝකයටම කීවා, ‘අපට ණය ගෙවාගත නොහැකියි, අපි බංකොලොත් රටක්’ කියා.
පාකිස්ථානය නොකළ ‘බූරු වැඩේ’
දැන් බලන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට කියනවා, ‘දැන් නුඹලාත් ශ්‍රී ලංකාව ආදර්ශයට අරගෙන, අපි ණය ගෙවාගත නොහැකි රටක්, කියා කියාපල්ලා’ යනුවෙන්. නමුත් පාකිස්ථානය කියනවා, ‘පිස්සු ද? එහෙම කළොත් අපි මීටත් වඩා අමාරුවේ වැටෙනවා’ කියා. පාකිස්ථානයේ මහ බැංකු අධිපතිවරයා, එරට අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට නොකියා ‘අපට ණය ගෙවන්න බැහැ’ කීවේ නැහැ. ඔවුන් ඒ බූරු වැඩේ කළේ නැහැ. එහෙම කිව්වොත් විනාශයි, අපි ඉන්නේ ඒ විනාශය තුළයි. අපි දැන් ණය ගෙවන්නේ නැහැ. ණය නොගෙවන බංකොලොත් රටකට කිසිදු රටක් ණය දෙන්නේ නැහැ. ජපානය දැනටමත් ඒ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා. රටක් ‘ණය ගෙවීමට බැහැ’ කීම ‘බෙල්ලේ වැල ලා ගැනීමක්’ ලෙසයි සැලකිය හැක්කේ.

‘ගෝඨා කාපු බැසිල්ගේ ලණුව’

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා දැනසිටියේ නැහැ, ‘ආර්ථික අර්බුදය’ නැමැති ‘දරුවා’ තමන්ගේ කුස තුළ පිළිසිඳගෙන කියලා. අපි ඒ බව එදා පෙන්වා දුන්නාම එයා කිව්වේ ‘මට ප්‍රසව වේදනාව දැනෙන්නේ නැහැ’ කියලයි. එදා අපව ඇමතිකම්වලින් දොට්ට දැම්මේ ‘ඔයා බඩ වෙලා. මෙහෙම ගියොත් ළඟදීම බබා හම්බවෙනවා’ කියා පෙන්වා දුන් නිසයි. ‘ප්‍රසුතිය’ කොච්චර දරුණු වුණා ද කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ධුරය අත්හරින්නත් සිදු වුණානේ. ඒකයි එදා ඔහුගෙන් සිදු වූ වරද. එදා බැසිල් මල්ලි ‘ගෝඨා අයියේ ඔය වේදනාව ප්‍රසූත වේදනාව නොවෙයි, පොඩි බඩේ අමාරුවක වේදනාවක්. පොඩි ගුලියක් කාපුවාම ඕක හරි යයි’ කිව්වාම ගෝඨාභය අයියා ඒක විශ්වාස කළා.

‘අනුරගේ මරු දේශපාලනය’

අපි මේ සිදු වීමට නියමිත දෙය පෙන්වා දුන්නේ වසර ගණනාවක සිටයි. දැන් අනුර දිසානායකත් මේ මෑතකදී කියනවා දුටුවා ‘මේ අර්බුදයට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි, රනිල් වික්‍රමසිංහ. එයා තමයි ණය තොගයට තවත් ණය තොගයක් යහපාලන කාලයේ එකතු කළේ’ ආකාරයේ කතාවක්. එදා ගෝඨාභය බලයේ සිටින කාලයේ අනුර දිසානායක ඔහොම කතාවක් කීවා ද? නැහැනේ. ඒකත් මරු දේශපාලනය. දැන් මේ කතාව අනුර දිසානායක කියන්නේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් අයගේ හිත දිනාගන්නයි. දැන් එහෙම කිව්වාට වැඩක් නැහැනේ. එදා කිව්වේ ‘ගෝඨා ගෝ හෝම්’, ‘ඔයා යන්නම ඕනේ’ කියලයි. අපි එදා ආණ්ඩුවෙන් පිටත සිට කිව්වෙත් ‘ජනාධිපති යන්න ඕනෙ නැහැ, සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි එකඟයි. ආණ්ඩුව විසුරුවලා නව අගමැතිවරයෙකු යටතේ එහෙම කරමු’ කියලයි. ‘ජනාධිපති ගියාම කවුද එන්නෙ?’ කියා කිසිවෙකුට කියන්න බැහැනේ. බලන්න ජනාධිපති ගියාම දැන් ‘නියම බඩ්ඩක්’ ජනාධිපති වී තිබෙනවා.

‘ගහලා තියෙන්නේ මොන මැච් එකක් ද?’

දැන් ජවිපෙ බිමල් රත්නායක කියනවා, ‘මැච් එක අපි ගැහුවා. කප් එක වෙන එකෙක් ඉස්සුවා’ කියලා. කප් එක වෙන එකෙකුට ලැබෙනවා නම් ගහලා තිබෙන්නේ මොන මැච් එකක් ද? එදා 53 හර්තාලයට නායකත්වය දීපු වමේ පක්ෂ දින දෙකක් තුළ ජනතාවට ජයග්‍රහණ රැසක් ලබා දුන්නා. අන්න සටන්, ඒවා තමයි නියම මැච්. මෙයාලා මැච් ගැහුවේ ජාතික ලැයිස්තුවෙන්, අමාරුවෙන් පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ අතට කප් එක යන විදිහටයි.

‘කෝ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ගැන කතාවක්!’

මේ මැච් එක ගහපු එවුන් දැනගන්න ඕනනේ ‘ගෝඨා ගියාම දෙවන පුටුවේ ඉන්න රනිල් මුල් පුටුවට එනවා’ කියලා. මේක නොතේරෙන්න බැහැනේ. දැන් බලන්න, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ රටේ තියෙන තත්ත්වය, ජවිපෙ උද්ඝෝෂණ, පෙළපාලි වැඩිය තියෙනවා ද? නැහැනේ. ඒ වගේම මෑතකදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගත්තා. පොලීසියේදී ඔහුට ගැහුවා, කියලත් කියනවා. නමුත් දැන් ජුලී චන්ග් නෝනා ට්විටර් පණිවිඩයක්වත් දානවා ද? වෙනදා මාධ්‍යවේදියෙකු තියා පාරේ යන තරුණයෙකු අත්අඩංගුවට ගත්තත් ට්විටර් පණිවිඩ දාපු එයා අද නිහඬයි. ඒ වගේම අරගල කරපු ‘විහාරමහාදේවිලා, දුටුගැමුණුලා’ කවුරුත් දකින්නවත් නැහැනේ. ඇත්තටම මේ මොකද වුණේ? අපි තේරුම්ගත යුතුයි, ‘මේ ජුලී චන්ග්ලාගේ අරගලයේ තිබුණේ ගෝඨා ගෝ හෝම්, සටන් පාඨය පමණක් නොවෙයි, රනිල් ප්ලීස් කම්, සටන් පාඨයත් තිබුණා’ කියා.

දේශද්‍රෝහී වැඩ ටික අරඹලා

දැන් මේ ජුලී චන්ග් තානාපති නෝනා’ශාන්ත දාන්ත තීන්ත කූඩුව’ වගේ ඉන්නේ ඔවුන්ට අවශ්‍ය සියලු දේශද්‍රෝහී වැඩ ටික කරලා දෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ වී ඇති නිසයි. අන්තිමට වෙලා තියෙන්නෙ මිනිස්සු ඡන්දෙන් පරද්දපු මිනිහෙක් ජනාධිපති පුටුවේ වාඩි කරවීමයි. ඔහු එංගලන්තයට ගිහිල්ලා කිව්වේ ‘මම දැන් නිකං ඉන්නේ නැහැ. නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ සියල්ල ක්‍රියාත්මක කරනවා’ කියලයි ඒ කියන්නේ ‘රාජ්‍යය සියලු වෙළඳ කටයුතුවලින් ඉවත් වෙනවා’ කියලයි.

‘පාන්’ කියාගන්න බැරි වෙන තත්වයක්

දැන් බලන්න, මේ වන විට කළු මුහුද හරහා තිරිඟු පිටි ප්‍රවාහනය කරන යුක්රේන නැව්වලට පහර දෙන බව රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ඒ නිසා යුක්‍රේනයේ තිබෙන තිරිඟු පිටි එළියට එන්නේ නැහැ. ඒ වගේම රුසියාවේ තිරිඟු පිටි යුරෝපය මිලදී ගන්නේ නැහැ. දැන් තිරිඟු පිටි මිල ඉහළ යමින් තිබෙනවා. රුසියාව සහ යුක්රේනය තුළ තිබෙන තිරිඟු පිටි තොගය ලෝක වෙළඳපොළට එන්නෙ නැහැ, කියන්නේ බරපතළ තත්ත්වයක්. දැනටමත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා, ‘අප්‍රිකාවේ දිළිඳු රටවලට අප තිරිඟු පිටි නොමිලේ ලබා දෙනවා’ කියා. ඒ අනුව අප්‍රිකානු රටවල් පහළොවකට පමණ ඒ සහනය ලැබෙනවා. මේ තත්ත්වය හමුවේ තිරිඟු පිටි මිල දරාගන්න බැරි විදිහට ඉහළ යාවි. ‘පාන්’ කියාගන්න බැරි වුණාම බේකරි ටිකත් වැහිලා යාවි. අද ලෝකය ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක ඉන්න බව ඔබට පෙනෙනවා ඇති.

BRICS සමග ගමනක්!

අද බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව එකතු වී පිහිටුවාගන්නා ලද BRICS හවුල ශක්තිමත්ව නැගී සිටිනවා. ඔවුන් දැන් තම සාමාජික රටවල් සමඟ ගනුදෙනුවලදී වෙනම මුදල් ඒකකයකට යාමට සූදානමින් සිටිනවා අද ඇමරිකාවේ සුරතලකු ලෙස ප්‍රකට සෞදි අරාබිය පවා BRICS සමග එකතු වීමට සූදානමින් සිටිනවා. ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල් ද ඒ අතර වෙනවා. විශේෂ කරුණ තමයි යුරෝපය තුළ සිටින ප්‍රංශය BRICS සංවිධානය සමග එකතු වීමට තීරණය කර තිබීම. මම පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසුවා, ‘ප්‍රංශ ජනාධිපතිවරයා හමුවන අපේ ජනාධිපතිවරයාටත් BRICS සමග සිටගැනීමේ තීරණයක් ගැනීමට ධෛර්යය ලැබේවා!’ කියා. නමුත් එවැනි වෙනසක් වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. මේ රටට අවශ්‍ය ඇමරිකාවේ හෝ වෙනත් ලෝක බලවතෙකුගේ ලණු කමින් මේ රට තවත් අගාධයට ඇදවට්ටන පාලනතන්ත්‍රයක් නොවෙයි, ඉදිරියේදී නිර්මාණය වන බහුධ්‍රැවීය ලෝකය තුළ BRICS හවුල සමඟ කෙළින් සිටගත හැකි පාලනතන්ත්‍රයක්.

එකම වේදිකාව

අද සජබ හර්ෂ ද සිල්වා මහතා සහ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මහතා කියන්නේ ‘IMF යන්න ඕනේ’ කියලයි. අපි මේ කරන කතාව අද මේ රටේ කිසිදු දේශපාලන වේදිකාවක අහන්න ලැබෙනවා ද? ‘නව ලිබරල්වාදයෙන් එළියට එන්න ඕනේ, BRICS දෙස බලාගත් ගමනක් යන්න ඕනේ, ඩොලරයෙන් ගැලවෙන්න ඕනේ, අපේ පාරිභෝජන රටාව වෙනස් කර ගන්න ඕනේ, රාජ්‍ය සේවයේ තියෙන අවිචාරවත් බවින් මිදෙන්න ඕනේ, මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ,’ කියලා පවසන්නේ අපේ දේශපාලන වේදිකාවේ පමණයි.

මජර දේශපාලන සංස්කෘතියට තිත තබමු!

දැන් අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා ද? මම දැක්කා පත්තරේක තිබෙනවා, ‘පොහොට්ටුවේ ඇමැතිකම් බලාපොරොත්තු වන අයට ඇමතිකම වෙනුවට පවුලේ අයට දීමනාවක්, වාහනයක් හා ඉන්ධන දීමනාවක් සහිත තනතුරු දෙනවා’ කියා. බලන්න, රෝසි සේනානායක මහත්මියට නගරාධිපති ධුරය නැති වුණාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, එයාව ජනාධිපති උපදේශක තනතුරක පිහිටුවලා දීමනාවක් සහ නගරාධිපති ධුරයට හිමි වාහනය නැවත ලබා දී තිබෙනවා. මේ රටේ තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරන්නේ මේ මජර දේශපාලන සංස්කෘතිය නොවෙයි ද? ආදර්ශය පහළින් ඉල්ලන්න කලින්, ඉහළින් ආදර්ශය දෙන්න ඕනේ. වෘත්තීය සමිතියේ අඩුපාඩු හදන්න කලින්, දේශපාලනතන්ත්‍රය අඩුපාඩු හදාගත යුතුයි. එවිට තමයි පාලකයන්ට සදාචාරාත්මක අයිතිය එන්නේ වෘත්තීය සමිතියක හෝ වෙනත් අයගේ අඩුපාඩු ගැන පෙන්වා දීමට. මේ සියල්ල වෙනස් කර නොගතහොත් යන්න වෙන්නෙ මරු කටට. එවිට වැලලෙනවා හැර අන් ගමනක් යෑමට බැහැ. රනිල් වික්‍රමසිංහ අද රට රැගෙන යන්නේ වැලලෙන මාවතේ මිසක් ගොඩ යන මාවතේ නොවෙයි.

‘අපේ ගමන අපි යනවා’

ඒ නිසා අපි මේ දේශපාලන ව්‍යාපාරය බලවත් කළ යුතුයි. මේ මතය, නියෝජනය තිබෙන්නේ මේ වේදිකාවේ පමණයි. උත්තර ලංකා සභාගය කුඩා ජල පහරක්ව ගලා ගිය ද නුදුරු අනාගතයේම මෙය මහා ජල කඳක්ව, මහා ගංගාවක්ව ගලා යන එක කිසිවකුට වළක්වන්න බැහැ. ඒ නිසා ‘බොරු ප්‍රගතිශීලී දේශපාලන වළවල, සාම්ප්‍රදායික දේශපාලන වළවල නොවැටී, මේ දියුණු මඟ පෙන්වන වේදිකාවට නැඟගන්න’ කියා අපි ඔබට ඇරයුම් කරනවා.

රනිල් කියන්නේ ප්‍රශ්නය මිස උත්තරය නොවෙයි!

දැන් අපට පැහැදිලියි, ‘රනිල් කියන්නේ ප්‍රශ්නය මිස උත්තරය නොවෙයි’ කියා. ඔහු කරන්නේ ප්‍රශ්නය වවාගෙන කන එක. ජනපති රනිල් මේ ප්‍රශ්නය දෙස බලන්නේ ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ කියන ලයින් එකෙන්. එවැනි දෘෂ්ටිවාදයක් ඇති අයකුට මේ රට බලගන්වන්න බැහැ. මෙහෙම ගියොත් අපි ආර්ථිකමය වශයෙන් ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය වේවි. ඒ වගේම ශ්‍රී ලංකාව ඇමරිකාවේ මිලිටරි තිප්පොළක් බවට පත්වේවි. ලැබෙන පළමු අවස්ථාවේදීම එතැනට ඇදවැටීමට ඉඩ නොදී, නිසි මගට රට ගෙනයාමට අපි සූදානම්. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ ධෛර්ය, ශක්තිය අපි බලාපොරොත්තු වෙනවා”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-07-31

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *