නිසි ක්‍රමවේදයක් පළමුව සකස් නොකර SVAT පහසුකම ඉවත් කළහොත් අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් කඩාවැටීම වැළැක්විය නොහැකියි – අපනයන කර්මාන්තකරුවො එක් හඩින් ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දෙති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව රජය විසින් ක්‍රියාවට නැංවීමට නියමිත SVAT පහසුකම ඉවත් කිරීම සිදුකරන්නේ නම් ඊට පළමුව වැට් බදු ආපසු ගෙවීම සදහා කාර්‍යක්ෂම යාන්ත්‍රණයක් පළමුව හදුන්වා දිය යුතු බව අපනයන කර්මාන්තකරුවන්ගේ සංගම් සියල්ල ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.

එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රැස්වූ අතර මෙරට අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරමින් ඒකාබද්ධ ඇගලුම් නිෂ්පාදකයන්ගේ සංගමය, රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමය, තේ නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමය ඇතුළු සියලු ප්‍රධානපෙළේ අපනයනකරුවන්ගේ සංගම් සියල්යෙහිම නියෝජිතයන්ද මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන්ද සහභාගී වූ අතර SVAT පහසුකම ඉවත් කිරීමේ රජයේ තීරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙහිදී ලොව දියුණු රටවල ක්‍රියාත්මක බදුක්‍රමය මෙන් සාර්ථක බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සදහා මෙම තීරණය ගැනීමට රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ. එහෙත් අපනයනකරුවන්ගේ සංගම් පෙන්වා දුන්නේ SVAT පහසුකම ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතිවුවද ලොව දියුණු රටවල මෙන් මෙරට ද මේ සදහා නිසි යාන්ත්‍රණයක් පළමුව ස්ථාපිත විය යුතු බවයි. වැට් බදු ප්‍රතිපූර්ණය/ ආපසු ගෙවීම් සදහා විශාල කාලයක් ගතවීම නිසා එය අපනයනකරුවන්ගේ මුදල් ප්‍රවාහයට (cash flow) ඍජුවම හානිදායක ලෙස බලපාන බවත් 2016 වසරේ RAMIS පද්ධතිය ස්ථාපිත කොට බිලියන ගනනක් වැය කර වසර 7ක් ගතවුවද බදු එකතු කිරීම හා ආපසු ගෙවීම් සදහා කාර්යක්ෂම ක්‍රමවේදයක් තවමත් ස්ථාපති නොවීම ගැටලුවක් බවත් සාකච්ඡා විය. පනතට අනුව දින 45ක් තුළ බදු ප්‍රතිපූර්ණය/ආපසුගෙවීම සිදුවිය යුතු වුවද එසේ නොවන බව මෙහිදී පෙන්වා දුන්හ. මේ අනුව ඉක්මනින් බදුමුදල් ප්‍රතිපූර්ණය සදහා නිලධාරීන් ද ඇතුලත් ඇතැම් තෙවන පාර්ශවයේ කණ්ඩායම් මැදිහත්ව තැරැව්කරුවන් ලෙස ක්‍රියාකරන මට්ටමට දූෂිත තත්ත්වයන්ද ඇති වී ඇති බව මෙම සංගම් නියෝජිතයෝ පෙන්වා දුන්හ.

SVAT පහසුකම ඉවත් කිරීමට අදාළ කැබිනට් තීරණයට අනුව මෙම පහසුකම ඉවත් කරන්නේ නම් ඊට පළමුව නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කළයුතු බව දැනුම් දී ඇති බවත් මෙහිදී අනාවරණය විය
SVAT ක්‍රමය හරහා රජයට ආදායම් අහිමිවීමක් සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියද එය නිවැරදිව තහවුරු කිරීමට ප්‍රමාණවත් සංඛ්‍යා දත්ත ඉදිරිපත් නොකිරීම ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය. එබැවින් මේ සම්බන්ධ වාර්තාවක් සතියක් තුළ කමිටුවට ලැබීමට සලස්වන ලෙස කමිටු සභාපති වලේබොඩ මහතා දැනුම් දුන්නේය. එසේම මෙම SVAT පහසුකම ඉවත්කරන්නේ නම් වැට් බදු ප්‍රතිපූර්ණය සදහා විකල්ප වැඩපිළිවෙල කුමක්ද යන්නත් පැහැදිළිව ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන්නේය.

තවද මේ හරහා අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයට සිදුකරන බලපෑම සියලු ප්‍රමාණාත්මක දත්ත සහිතව සම්පූර්ණ වාර්තාවක් ලෙස සතියක් තුළ කමිටුවට ඉදිරිපත් කරන ලෙස අපනයන කර්මාන්තකරුවන්ට ද දැනුම් දුන්නේය. මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිසල් කාර්ය භාරයක් ඉටුකරන අපනයන කර්මාන්ත ආරක්ෂා කරගැනීම ජාතික වගකීමක් වන බැවින් මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ සදහා නිරතුරුව පෙනී සිටින බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. මෙම සියලු කරුණු කාරණා අනුව මේ පිළිබද නිර්දේශ පාර්ලිමේන්තුව හරහා රජයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පවසන ලදී.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *