රටහයිටියක් කරන්න බලා සිටින පිරිසට වුවමනා ‘රාජ්‍ය ඇමති දොළපිදේනි දීම’ වැනි ආණ්ඩුවේ වැරදි භාවිතාවන්ම තමයි. ඔවුන්ට අවශ්‍ය මතය හැදීමට ජනපති රනිල් අද වාතාවරණය සකසා දෙමින් සිටිනවා

“රටහයිටියක් කරන්න බලා සිටින පිරිසට වුවමනා ‘රාජ්‍ය ඇමති දොළපිදේනි දීම’ වැනි ආණ්ඩුවේ වැරදි භාවිතාවන්ම තමයි. ඔවුන්ට අවශ්‍ය මතය හැදීමට ජනපති රනිල් අද වාතාවරණය සකසා දෙමින් සිටිනවා”
-උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ

රට හයිටියක් බවට පත් කිරීමට බලා සිටින පිරිසට වුවමනා වී ඇත්තේ “රාජ්‍ය ඇමති දොළපිදේනි දීම” වැනි ආණ්ඩුවේ වැරදි භාවිතාවන්ම බවත් ඔවුන්ට අවශ්‍ය මතය හැදීමට අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වාතාවරණය සකසා දෙමින් සිටින බවත් පීඩාවට පත්ව ඇති ජනතාව ඉන් මුදවා සඳහා මෙම පිළිකුල් සහගත දේශපාලන ක්‍රියාදාමය අවසන් කිරීමට ලැබෙන පළමු අවස්ථාවේදීම උත්තර ලංකා සභාගය සූදානම් බවත් එහි සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙසේ අවධාරණය කළේ අද(09) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අද අපේ සමාජය ඇත්තේ අර්බුදකාරී තත්වයකයි. උද්ධමනය 100%ට ආසන්නව වැඩිවෙමින් තිබෙනවා. බදු බර දවසින් දවස වැඩි වෙනවා. විදුලි බිල, ජල බිල, දුරකථන බිල ආදී සියල්ල වැඩි වෙනවා. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ සේවකයන් තමන් ලබන ආදායමෙන් ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ විශාල ගැටලුවකට මැදිව තිබෙනවා. අපි අප්‍රේල් 8 වැනිදා සිට පෙන්වා දුන්නා, මෙවැනි ආර්ථික ආපදාවකට මුහුණ දී සිටින රටක දේශපාලඥනයන් විදිහට පෘථුල ආදර්ශයක් ලබා දිය යුතු බව. එහිදී අපි අවධාරණය කළේ මෙම අර්බුදයෙන් මුළුමහත් සමාජය මුදවා ගැනීම සඳහා කට්ටිවාදීව, කල්ලිවාදීව කටයුතු නොකර සියලු දේශපාලන පක්ෂ සර්වපාක්ෂික එකඟතාවකට යා යුතු බවයි. නමුත් අවාසනාවකට මෙතෙක් එවැනි සර්වපාක්ෂික එකඟතාවක් හෝ සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීමට නොහැකි වී තිබෙනවා.

‘හොඳට නටන වතුර එකක්’

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් තිස්හත් දෙනාගේ කණ්ඩායම ලෙස බලපුවාම ඊයේ(08) ඔප්පු වුණා, සර්වපාක්ෂික එකඟතාවක් හෝ සර්වපාක්ෂික පාලනයක් පිළිබඳ අදහස තවදුරටත් වලංගු නොවන බව. ඉදිරියටත් තිබෙන්නේ මෙතෙක් පැවැති පටු පාලනයම තමයි. මට මෙතැනදී ‘සමාජය’ උපමා කරන්න පුළුවන්, ‘කේතලේ තිබෙන වතුර ටිකක්’ වගේ. ‘ආර්ථිකය’ ලිපට උපමා කරමු. මේ ලිපේ සාමාන්‍ය ගින්දරක් තිබුණොත් වතුර ටික රත් වෙන්නෙත් ටිකයි. එවිට වතුර තිබෙන්නේ භාවිතයට ගත හැකි රස්නෙකයි. නමුත් මේ ‘ආර්ථිකය’ කියන ලිපට දාන ‘දර’ වැඩි වෙනකොට, එනම් බදු වැඩි වෙනකොට උද්ධමනය වැඩි වෙනකොට, මුදලේ අගය අඩු වෙනකොට, ගින්නේ සැර වැඩි වෙනවා. එවිට මේ කේතලේ තිබෙන වතුර ටික නටන්න පටන් ගන්නවා. මේ නටන වතුර එක ඇඟට වැටුණොත් තමයි කෙනෙකුට හානියක් වෙන්නේ. සමහරු බලන් ඉන්නවා, මේ වතුර එක හොඳට නටන තුරු. එහෙම බලන් ඉන්නේ වතුර එක නටන එකේ ප්‍රශ්නයකට වඩා ඒ නටන වතුර එක ඇඟට හලලා මේ රාජ්‍යය අඩපණ කරන්න, බෙලහීන කරන්න, එහෙම නැත්නම් රාජ්‍යයක් අහිමි වන තත්ත්වයකට මේ රට ඇදගෙන යන්න, මේ රට තවත් හයිටියක් බවට පත් කරන්න.

අපේ වගකීම

මෙතැනදී පාලිතයන්, පාලකයන් අපි හැමෝටම වගකීමක් තිබෙනවා, ලිපේ රස්නය වැඩි නොකර ඉන්න. .ඒ වගේම වතුර නටලා උතුරන මට්ටමකට මේක ඇදවැටීමෙන් ආරක්ෂා කරගන්න. නමුත් මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඒ පිළිබඳව කිසිඳු හැඟීමකින් නොවෙයි. ඒක හොඳටම පෙනෙනවා ඊයේ පත් කළ රාජ්‍ය ඇමති කට්ටලය දෙස බැලීමෙන්. අපේ රටේ තිබෙන්නේ රාජ්‍ය ඇමැතිවරු පත් කරලා, ඔවුන්ට වරප්‍රසාද දීලා ඔවුන් සනසාලීමේ ප්‍රශ්නයක්ද? ගාලුමුවදොර පිටියට මෝඩයො වගේ ගිහිල්ලා, පහරදීමට අනුබල දුන් තක්කඩි රැලකට රාජ්‍ය ඇමති ධුර ලබා දීලා ඔවුන්ගේ මනදොල පිනවීමේ ප්‍රශ්නයක්ද මේ රටට තිබෙන්නේ?

‘ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ පවුලේ දේශපාලනය’

මේ උද්ගතව ඇති පීඩාකාරී තත්ත්වයත් සමග ජනතාව ඉතාම දරුණු ලෙස රාජපක්ෂ පවුලේ දේශපාලනය ප්‍රතික්ෂේප කළා. එම පවුල් දේශපාලනය ඉතාමත් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළා. ඒත් දැන් බලන්න ඊයේ පත් කළ රාජ්‍ය ඇමතිවරු 37 අතරට ශෂීන්ද්‍ර රාජපක්ෂව දාලා තිබෙනවා. ඒක ‘මුට්ටිය දමා බැලීමක්’. සාමාන්‍යයෙන් මම දන්න රාජපක්ෂ පවුලේ බල දේශපාලනයට අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් දෙනවානම් අනිවාර්යෙන්ම නාමල් රාජපක්ෂට කැබිනට් ඇමතිකමක් දෙනවා. ඒක තමයි ඒ පවුලේ බල දේශපාලනයේ සූත්‍රය. දැන් ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් ලබා දීලා මුට්ටිය දාලා බලන්නේ ඉදිරියේදී නාමල් රාජපක්ෂට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමටයි. ආපහු ඇමතිකම් ටික බෙදාගෙන, මේ අය අර පරණ සෙල්ලම කරන්නයි හදන්නේ.

‘ඇමති කට්ටක් නැතුව හුස්ම ගන්න බැරි අය’

ජනතාවගේ පීඩනය, අපහසුතා පිළිබඳව මේ අය අබමල් රොනකවත් සැලකිල්ලක් දක්වා තිබෙනවා ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති, ජනාධිපති වෙන්න කලින් නම් කිව්වේ, ‘මේ තිබෙන්නේ අලුත් තත්ත්වයක්. ඒකට පරණ දේශපාලනය හරි යන්නේ නැහැ’ කියලයි. එතකොට මේ දැන් තියෙන්නේ අලුත් දේශපාලනයක් ද? මේ සමහරුන්ට ඇමති කට්ටක් නැතිව හුස්ම ගන්න බැහැ. වාහන, තෙල් ටික අරන් සැපට ඉන්න එයාලට රාජ්‍ය හෝ කවර හෝ ඇමතිකමක් උවමනායි.

‘රාජ්‍යය බිඳවට්ටන්න කල්ලියක්!’

මේ රටේ ආර්ථික ගින්න දවසින් දවස බුරබුරා ඇවිලෙනවා. කේතලය ඇතුළේ තිබෙන සමාජය නැමැති වතුර ටික උතුරනවා. ඒ උතුරන වතුර ටික අරගෙන දමලා ගහලා මේ රාජ්‍යය බිඳවට්ටන්න තව කල්ලියක් බලන් ඉන්නවා. මේ ආණ්ඩුව ඉටු කරන්නේ ඒ කල්ලියෙ උවමනාව ද? මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඉතාමත් වගකීම් විරහිත ආකාරයකට බව පැහැදිලියි. ‘ආර්ථිකය’ නැමැති ‘මව’ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන විට මේ ‘පාලකයෝ: නැමැති “දරුවො ටික’ කරන්නේ, අම්මට බම්බු ගහගන්න කියලා ඕමි ගහන එකයි. එහෙම ආදර්ශයක් ද අද මේ රටේ ඉල්ලන්නේ? මහජන මතය ගැන කිසිදු තැකීමක් නොකරයි මේ රාජ්‍ය අමාත්‍යවරු පත් කර ඇත්තේ. මේ පාලකයන් හිතනවා නම්, රට යම්තාක් දුරකට සන්සුන් වීමෙන් කියන්නේ මහජනයා මේ සියල්ල ඉවසා වදාරාගෙන ඉන්නවා කියන එක කියලා, නැහැ, ඒක නෙවෙයි ඇත්ත.

‘රතු කට්ට’ පැනපු එක මතක තියාගන්න

එක වෙලාවක මහජනයාගේ ‘රතු කට්ට’ පැන්නා. රතු කට්ට පැනපු වෙලාවේ මහජනයා කියූ පණිවිඩය දැන්වත් තේරුම් ගන්න. ඒක තේරුම් නොගෙන මේ විදිහට ඉදිරියට යනවා නම් අපට කියන්න තියෙන්නේ ‘දෙයියන්ගේ පිහිටයි’ කියලා තමයි. මේ රට හයිටියක් බවට පත් කිරීමට බලා සිටින පිරිසට උවමනා වී ඇත්තේත් ආණ්ඩුවේ ඒ වැරදි භාවිතාවම තමයි. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන්නේ රට හයිටියක් බවට පත්කිරීමට බලන් ඉන්න පිරිසට වුවමනා මතය හැදීමට අවශ්‍ය කරන වාතාවරණය සකසා දීමයි. මේ දේශපාලන ක්‍රියාදාමය අපි ඉතා පිළිකුලෙන් හෙළා දකිනවා.

‘බදු පිට බදු’

දැන් බලන්න, ජනතාව මත බදු පිට බදු පටවනවා. අලුතෙන් පනවපු සමාජ ආරක්ෂණ බද්ද, වැට් බද්දෙන් පසුව එකතු වන බද්දක්. ඒක හරියට, ගොනා දෙතුන් වතාවක් හම ගහනවා, වගේ වැඩක්. ඒ අනුව භාණ්ඩයක් නිෂ්පාදනය කරන විටත් බෙදාහරින විටත් විකුණන විටත් බද්ද වදිනවා. මේ විදිහට සාමාන්‍ය ජනතාව තුළ පීඩනය ඇති කරන ගමන් ‘පොහොට්ටුවේ පිරිස’ සනසවන්න රාජ්‍ය ඇමැතිකම් පිරිනමනවා. අපට ආරංචියි, ජනාධිපතිවරයා ජපානයට ගොස් පැමිණි පසුව තව කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක් ද පිරිනැමීමට නියමිතයි, කියලා. රට හතරගාතෙන් වැටී තිබෙන අවස්ථාවක ජනතාව ඉල්ලන්නේ ඔහොම ආදර්ශයක්ද ? ඒක තේරුම් ගැනීමට බැරි ඇයි ? එහෙම තේරුම් ගන්න බැරි අයට මෙවැනි තත්ත්වයක් කළමනාකරණය කළ හැකි ද ? ජනතාව ඉදිරියේ ඇති ප්‍රශ්නය එයයි.

උත්තර ලංකා සභාගය ලෙස අපි විශ්වාස කරනවා, මේ විදිහේ ගමනක් නොවෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ, කියලා. ඔවුන් දේශපාලඥයන්ගෙන් වෙනදාට වඩා ආදර්ශයක්, විනයක්, සදාචාරාත්මක ගුණයක් ඉල්ලනවා. ඒක නොවෙයි මේ ලැබෙන්නේ. දේශපාලන මල පෙරේතයන්ට දොළපිදේනි දීමේ පැරණි දේශපාලන නාඩගමම තමයි තවදුරටත් රඟ දැක්වෙමින් තිබෙන්නේ. ඒක අවසන් කළ යුතුයි. ඒ සඳහා ලැබෙන පළමු අවස්ථාවේදීම අපි ඒ දේ කරන්න සූදානම්. ඒ සඳහා තමයි උත්තර ලංකා සභාගය පිහිටුවනු ලැබුවේ.”

මෙම මාධ්‍ය හමුවේදී උත්තර ලංකා සභාගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය සභාපති මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022-09-09

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *