ජානිපෙ ඉවත් වෙයි! ඒකාබද්ධයේ ගැටුමක්…?

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම පසුගිය 18 වැනිදා සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබිණි. ඊට ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ගියේ වැදගත් දේශපාලන තීන්දුවක් ද රැගෙනය.
“ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ සිදු වන රටට අහිතකර ක්‍රියාදාමය විනිවිද දැකලා නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධන එපා කියන කොට එවැනි ව්‍යවස්ථාවක් හදන ක්‍රියාදාමයේ කිසිම තැනක නියෝජිතයෙක් වෙලා ඉන්න අපට බැහැ. එවැනි ව්‍යවස්ථාවක් පිළියෙල කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් හැටියට අපට ඉන්න බැහැ. ඒ නිසා තමයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගැඹුරින් සාකච්ඡා කරලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 05 දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි’ කියලා තීරණය කළේ. ඒ අනුව අපි ඒ බව හෙට(19) උදේ ලිඛිතව කථානායකතුමන්ට දැනුම් දෙනවා” එහිදී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී දිගින් දිගටම පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ මෙතෙක් කලක් රැඳී සිටියදී ලැබුණු ප්‍රයෝජන පිළිබඳවය.
“මෙතෙක් කලක් රැඳී සිටීම, පිළිබඳව විවාදයක් නැහැනේ. මහනාහිමිවරුන් නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැති බව ආණ්ඩුවට සංඝ විධානයක් මගින් දැනුම් දී තිබියදී අපත් එම සංඝ විධානය පිළිනොගෙන මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක කටයුත්තට සම්බන්ධ වී සිටීම නුසුදුසු බවයි මා කියන්නේ” එහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා නඩු කටයුත්තක් හේතුවෙන් එම විශේෂ පක්‍ෂ නායක රැස්වීමට සහභාගී වී සිටියේ නැත.
“අපේ නම් මතය මේ ව්‍යවස්ථා සම්පාදක කටයුතුවලින් ඉවත්වීම නුසුදුසු බවයි” ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.
“අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස මේ පිළිවඳව තවදුරටත් සාකච්ඡා කරමු. නමුත් ජානිපෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීමට ඉඩ දෙමුෟ”මේ වාද විවාද අවසන් කරමින් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.
ඒ අදහසට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සියලු දෙනාගේ එකඟතාව පළ විය.
“ඒක හොඳයි. අපි හෙට කථානායකතුමාට ලිපියක් භාර දී අපේ තීරණය ක්‍රියාත්මක කරනවා. ඔබතුමන්ලාත් ඉදිරියේදී එම තීරණයට පැමිණේවි කියා හිතනවා” විමල් වීරවංශ මහතා එහිදී පවසා සිටියේය.
ඒ අනුව පසු දින (19) ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුත් කරුණු 10කින් සමන්විත ලිපියක් පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයේදී කථානායක කරූ ජයසූරිය මහතාට භාර දීමට ඔවුහු කටයුතු කළහ.
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම’ යන ශීර්ෂය යටතේ ලියා තිබූ එම ලිපියෙන් අවධාරණය කොට තිබුණේ, “පාර්ලිමේන්තුවේදී සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සමස්ත මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත විය යුතු බැවින් අපගේ ඉවත්වීම මගින් එම කොන්දේසිය බිඳ වැටේ. එම නිසා එම හේතුව සහ අප විසින් ඉහත දක්වන්නට යෙදුනු සෙසු කරුණු 10 මුල් කර ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වලංගුභාවය අභියෝගයට ලක් වී ඇති බව උත්තරීතර පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු” කියාය.
මෙම ලිපිය භාර දීමෙන් අනතුරුව ලිපියෙහි සඳහන් බොහෝ කරුණු විමල් වීරවංශ මහතා විසින් කථානායකවරයා වෙත වාචිකව ඉදිරිපත් කළේය.
කෙසේ වුවත් කථානායකවරයා පවසා සිටියේ ‘ඔබතුමන්ලා ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියෙන් ඉවත් නොවනවා නම් සුදුසුයි’ කියාය. එසේම මේ පිළිබඳ තමන්ගේ තීරණය ඉදිරියේදී දැනුම් දෙන බව ද කථානායකවරයා ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවසා තිබිණි.
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *