මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්!

‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා’ කියා ජවිපෙ අද පවසන බවත් එසේ අනුවණ ආකාරයට ‘මැච්’ ගසා ඵලක් නොමැති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, රටේ ජනතාව අතට ‘කප් එක’ ගෙනඒමට හැකි වන ආකාරයට ඒ ‘මැච් එක’ ගැසීමට එක් වන ලෙස ජනතාවට ඇරයුම් කරයි.

අද(27) හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘නුවරඑළිය සම්ප්‍රාප්තිය’ ජනතා සමුළුව අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“නිදහසෙන් පස්සේ මේ පොළොවට උරුම වූ දරුණුතම, පීඩාකාරීම ආර්ථික ව්‍යසනයට අද අපි රටක් විදියට ගොදුරු වෙලා ඉවරයි.
විවිධාකාර විපත්වලට, දුර්භික්ෂවලට, රාජ්‍යත්වය පිළිබඳ අර්බුදවලට පවා ගොදුරු වූ එමෙන්ම වැටුණු, නැවත නැගිටපු ඉතිහාස කතාවක් අපට තියෙනවා. ඒ ඉතිහාස කතාව තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මේ පොළොව නිදහස ලබාගත්තාට පස්සේ මේසා විපතකට, ආර්ථිකමය ව්‍යසනයකට අපේ රාජ්‍යය ගොදුරු වුණේ නැහැ. මොකක්ද මේ විපත
අපට උරුම වෙන්න හේතු වුණේ?

මේක 74 වසරක අසමත්කමේ ප්‍රතිඵලයක් ද?

සමහරු මේක 74 වසරක අසමත්කමේ ප්‍රතිඵලයක් හැටියට පෙන්නන්න හදනවා. අපි ඒ පටු විග්‍රහයට එකඟ අය නොවෙයි. 1977ට කලින් මේ රටේ තිබුණු සමගි පෙරමුණු ආණ්ඩුව වැනි පාලනතන්ත්‍රයන් ඉතාම ප්‍රගතිශීලී, නුවණක්කාර තීරණ මේ රට සම්බන්ධයෙන් අරගෙන තියෙනවා. බලශක්ති සුරක්ෂිතතාව ඇති කරන පියවර, රාජ්‍ය සේවාව පුළුල් කරන පියවර, දේශීය නිෂ්පාදන වඩවාලන පියවර ගත්තා. රාජ්‍ය කර්මාන්ත වගේම පෞද්ගලික අංශයේ කර්මාන්ත බලගන්වන ප්‍රතිපත්ති මේ රටට හඳුන්වලා දුන්නා. ඒ නිසා තමයි 1977ට කලින් ‘වෙළඳ පරතරය’ කියලා එකක් අපට තිබ්බේ නැත්තේ. වෙළඳ පරතරය කියන්නේ අපි අවුරුද්දකට පිටරටින් ගෙනල්ලා කන්න, බොන්න, පරිභෝජනයට වියදම් කරන මුදල සහ අපේ දේවල් නිපදවලා, වෙන රටවලට අලෙවි කරලා ලබාගන්නා ආදායම අතර තියෙන පරතරය. එහෙම පරතරයක් අපිට තිබුණේ නැහැ. ඩොලර් බිලියනයක අතිරික්තයක් අපේ අතේ තිබුණා. ධන අගයක් තිබ්බේ.

1977න් පස්සේ මොකද වුණේ?

ඒ යුගයේ අපේ පරිභෝජන රටාව, අපේ ජීවන රටාව මීට වඩා වෙනස්. අපේ සිතුම් පැතුම් මීට වඩා වෙනස්. ‘සිය රට දේ, සිරි සැප දේ’ කියලයි හිතුවේ. දේශීය නිෂ්පාදන සංස්කෘතිය වඩවාලන, මහජන සහභාගිත්වයක් තිබුණේ. නමුත් 1977න් පස්සේ මොකද වුණේ? වෙළඳ පරතරයක් නැතුව, අතිරේක ඩොලර් බිලියනයක් අතේ තියාගෙන ආපු රටට, 1977දී තෝරපු ‘ණයට අරන් සැපට කාලා ජීවත් වෙමු!’ කියන පාඨයට සරිලන ගමනෙන් අන්තිමට ඩොලර් බිලියනයකට වැඩි වෙළඳ පරතරයකට කරගහන්න සිද්ධ වුණා.(ඍණ ඩොලර් බිලියනයක්) අපිට ඩොලර් බිලියනයක් හිඟයි. හැබැයි පරිභෝජනය කරන්න කිරිපිටි, තෙල් ටික, ගෑස් ටික ගෙනල්ලා දෙන්න වෙනවා. ඒ පරිභෝජනයට ඕන කරන දේවල ආනයනික වියදම දරන්න වෙනවා. හැම අවුරුද්දක් පාසාම කළේ ඩොලර් බිලියනයක් අලුතෙන් ණය වෙමින් මෙන්න මේ වියදම් කරගෙන යෑම.

‘ණය වර්ග දෙක ගත්තු හැටි’

අපි දන්නවා, ණය වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එක ණය වර්ගයක් තමයි වෙනත් රටවල් සහ ජාත්‍යන්තර ආයතනත් එක්ක ගනුදෙනු කරලා ගත්තු ණය. ඒවා ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ගත්තු ණය වෙන්න පුළුවන්. ජපානෙන්, ඉන්දියාවෙන්, චීනෙන් ගත්තු ණය වෙන්න පුළුවන්. ඒවාට තියෙනවා සහන කාල. ගෙවන්න පටන් ගන්න ඕනේ අවුරුදු පහෙන්, දහයෙන්, පහළොවෙන්, විස්සෙන් පස්සේ. ඒවායේ පොලිය අඩුයි. උපරිමය 3%ට වඩා අඩුයි. අපි මැදි ආදායම් රටක් බවට හංවඩුව ගැහුවා 2007ට කලින්. ‘මැදි ආදායම් රටක්’ කියන හංවඩුව ගැහුවාම ඉහත ආයතනවලින් ණය ගැනීමේ හැකියාව දුර්වල වෙනවා. ඊට පස්සේ 2007දී පළමුවැනි වතාවට, දෙවන ණය වර්ගය වන ‘ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර(ඓSඹ්)’ කියන ණයවලට ගියා. 2007 ඉඳන් 2014 අග වෙනකන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඩොලර් බිලියන 3.5ක පමණ ණය ප්‍රමාණයක් ගත්තා.

2015දී රනිල් වික්‍රමසිංහ මහත්තයා හැදුවා යහපාලන ආණ්ඩුවක්. අවුරුදු හතරහමාරයි බලයේ හිටියේ. අපේ දැනට තියෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17ක්. ඒකෙන් ඩොලර් බිලියන 12කට වඩා ගත්තේ අර අවුරුදු හතරහමාර ඇතුළේ. ආර්ථික විද්‍යාව අංශුමාත්‍රයක් දන්නවා නම්, ඕනෑම කෙනෙකුට තේරෙනවා, ‘මේ ඩොලර් බිලියන දාහතේ පොලිය අධිකයි; සියයට 6ට උඩින්; පොලිය සියයට 9ටත් ණය අරන් තියෙනවා,’ කියා. ඔබ දන්නවා ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට මුදල් ආයෝජනය කරන්නේ ලෝකය පුරා ඉන්න ප්‍රධාන පෙලේ ධනපතීන්, ඒගොල්ලොන්ගේ අරමුදල්. අන්තිමට මොකද වුණේ? කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 17ක ණය තොගයක් රටේ ණය තොගයට එකතු වෙනවා. ගත් දිනයේ ඉඳන් ඒවායේ පොලිය, ණය වාරිකය ගෙවන්න වෙනවා. ඒ නිසා අපේ ණය පොලී වාරිකය ඩොලර් බිලියන ගණනින් වැඩි වෙනවා.

‘උගුරට හොරා බෙහෙත් කාපු කෙරුම්කාරයෝ’

අන්න ඒ අනතුර කල් තබා දැකිය යුතුව තිබුණා. ගෝඨාභය රාජපක්ෂ පාලනය ඇතුළේ අපට තිබුණු ගැටුම මෙන්න මේකයි. ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ අලුතෙන් ණය ගත්තේ නැහැ. ණය චක්‍රය, ණය රේඛාව පල්ලෙහාට වැටුණා. හැබැයි ණය නොගෙන සිටීමෙන් පමණක් මේ අර්බුදයට මුහුණ දෙන්න බැහැ. රටේ විදේශ විනිමය උත්පාදනය කරන ප්‍රමාණයට සරිලන ප්‍රමාණයකට, ණය වාරිකය ගෙවන්න නම් ඒකට කල්තියා මූණදෙන සැලැස්මකට යා යුතුව තිබුණා. කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය ඇවිල්ලා, සංචාරක ව්‍යාපාරය බිඳවැටිලා, විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩු වෙලා, විදේශ රටවල හිටපු සේවකයන්ගේ රස්සාත් නැතිවෙලා, වෙන්න තියෙන අකරතැබ්බ ඔක්කොම වෙනකොට, දැනගත යුතුව තිබුණා, ‘මේ සියල්ල විසින් මෙන්න මේ ණය වාරිකය ගෙවීමේ මහා අර්බුදයකට නුදුරු අනාගතයේදීම මේ රටේ ආර්ථිකය මුහුණ දෙනවා.’ කියා. ඒකට අපි උත්තර සෙවිය යුතුව තිබුණා. පූර්වගාමී පියවර ගත යුතුව තිබුණා. ජනතාවට ඇත්ත තත්වය ගැන දැනුම්වත් කරලා මහජන සහභාගිත්වය ඇති ක්‍රියාන්විතයකින් ඒ අභියෝගය ජය ගැනීමේ හැකියාව තිබුණා. නමුත්, ‘උගුරට හොරා බෙහෙත් කන්න’ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ හිටපු කෙරුම්කාරයෝ වැඩිදෙනෙකුට ඕනෙ වුණේ.

ඇමතිකම් ‘හැරෙන තැපෑලෙන්’ ඉවත් කිරීම

මේ නිර්දය බිහිසුණු අනතුර ගැන ප්‍රජාව දැනුම්වත් කරලා ඊට සරිලන පරිභෝජන රටාවකට හැඩගස්වලා, මුළුමහත් ජාතියම, සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකා වගේ එකමුතු කරලා, මේ එන ව්‍යසනයට මුහුණදීමේ පූර්වගාමී සැලැස්මක් ආවේ නැහැ. එහෙම කතිකාවක්වත් ආණ්ඩුව ඇතුළේ තිබුණේ නැහැ. ඒ නිසා තමයි ආණ්ඩුවේ ඇමතිකම් දරමින් සිටියදීම අපට සිද්ධ වුණේ, ‘මෙන්න මෙහෙම විපතක් එනවා. මේකට මුහුණ දෙන්න මෙන්න මෙහෙම සැලැස්මකට යන්න ඕනේ’ කියලා මේ වසරේ මාර්තු 02 වැනිදා ‘මුළු රටම හරි මඟට’ කෘතිය එළිදැක්වීමට. ඒකේ ප්‍රතිඵලය වුණේ උදය ගම්මන්පිල මැතිතුමාගෙයි, මගෙයි අමාත්‍ය තනතුරු ‘හැරෙන තැපෑලෙන්’ ඉවත් කිරීම. ඒකට ප්‍රශ්නයක් නැහැ. අපි අමාත්‍ය තනතුරුවලට ලොබ බැඳගත්තු දේශපාලනයක නිරත වෙන අය නොවෙයි. අපේ රටට වෙන විපත දැකලා ඒක වළක්වාගන්න ආණ්ඩුව ඇතුළේ උත්සාහ කරලා බැරි වුණාම ජනතාවට කතා කරලා කියනවා, ඒකට ප්‍රතිවිපාකේ මොක වුණත් මුහුණ දෙන්න බලාගෙන.
ඒ තමයි අපේ දේශපාලන උරුමය. ඒ තමයි අපේ දේශපාලන සම්ප්‍රදාය.

රනිල් ඔළුවට ඔටුන්න දාගත්තු හැටි

මේ බිහිසුණු ආර්ථික අර්බුදය තීව්‍ර වෙනකොට ඒක දඩමීමා කරගෙන බිහිසුණු දේශපාලන කල්ලි, කණ්ඩායම් මතුවෙන්න පටන් ගත්තා. බුද්ධ චීවරයට ගරහන්න පටන් ගත්තා. මේ රටේ පොදු ජනතාවගේ ප්‍රගතිශීලී තීන්දු, තීරණවලට ගරහන්න පටන් ගත්තා. මං අහගෙන පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් කියනවා,’අපි මැච් එක දින්නා.(ඒ කියන්නේ අරගලය දින්නා.) ඒ වුණාට කප් එක උස්සලා’ කියා. එක එකාට කප් එක උස්සන්න පුළුවන් වෙන ඒවා අරගලද? කප් එක රනිල් ගත්තා. මැච් එක ඒගොල්ලෝ ගැහුවා. ඒගොල්ලෝ ගහපු මැච් එකෙන් රනිල් ඔළුවට ඔටුන්න දාගත්තා. රනිල්ව රටේ ජනාධිපති පුටුව දක්වා ගෙනාවේ ඒ අරගලයෙන්. ඒගොල්ලෝ තමයි ගාලු මුවදොර කඳවුරු බැඳගත්තේ. අන්තරේ කට්ටිය තමයි නිදිමරාගෙන කට්ට කෑවේ. ඒ අතර හම්බවෙන ගතමනාවට අනුව තරු පහේ හෝටල්වල ඉඳලා සැපට කාපු යූ – ටියුබ්කාරයෝ ටිකකුත් එතැන හිටියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එලවා ගත්තා. ඔටුන්න වික්‍රමසිංහ මහත්තයාගේ ඔළුවට වැටුණා. වික්‍රමසිංහ මහත්තයත් ‘කොයි වෙලේ හරි මේක වැටෙයි’ කියලා හිතාගෙන ඔළුව අල්ලාගෙනම හිටියා.

ජනපතිගේ ‘තිත්ත කසාය’ බොමුද?

ඒ වික්‍රමසිංහ මහත්තයා දැන් මොකක්ද කරන්නේ? සාමාන්‍ය වාතාවරණය ඇතුළේ කරන්න බැරිවුණු රාජ්‍යය තව තවත් බිඳවට්ටන, අස්ථාවර කරන දීර්ඝකාලීන වශයෙන් බිහිසුණු, ඛේදජනක ඉරණමකට ඇදවට්ටන, සාමාන්‍ය තත්වයකදී මිනිස්සු පිළිනොගන්න ‘තිත්ත කසාය බෙහෙත් ටිකක්’ පොවන්න හදනවා මේකට බෙහෙතක් හැටියට. එතුමා කියනවා, ‘මට ඔය ගොඩනැඟිලි, ආයතන වැදගත් නැහැ. මං බලන්නේ කුස්සිය දිහා. කුස්සියේ ප්‍රශ්නය විසඳන්න නම් ඩොලර් බිලියන් තුනක් හතරක් මේවා විකුණලා ගේන්න ඕනේ. ගෙනල්ලා විදේශ වත්කම් සංචිතයට දාගන්න ඕනේ’ කියලා. එතැනින් නතර කරලා මොකක්ද නොකියපු ටික? ‘මට වැදගත් නැහැ ඔය රාජ්‍ය ආයතන. මට වැදගත් නැහැ ලාභ ලබනවාද, පාඩු ලබනවාද කියලා. මට ඕනේ ඔය තියෙන මොනවා හරි සබ්බසකල මනාව විකුණලා ඩොලර් බිලියන තුනක් හතරක් සංචිතයට දාගන්න. ඩොලර් බිලියන තුන,හතරක් සංචිතයට දාගත්තොත් ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාවේ ආර්ථිකය පොඩ්ඩක් හරි උඩට එනවා. උඩට ආවාම අන්න ණය ගන්න පුළුවන් රටක් බවට ආයෙත් පත්වෙනවා. පත්වුණාම මම ගිහිල්ලා, ඕනෙ පොලියකට අර ඩොලර් බිලියන 12.5ක් අවුරුදු හතරහමාරෙන් ගත්තා වගේ ඇති පදමට ණය ගන්නවා. ණයට අරන් සැපට කාලා, ආයෙත් කොයි වෙලේ හරි හොම්බ බිම ඇනෙනකන් ඔන්න ඔහේ යනවා.’

ජාතිය ඉල්ලන උත්තරය මේක ද?

මේ විදියේ අර්බුදකාරී වෙලාවක ජාතිය ඉල්ලන උත්තරය මේක ද? මෙහෙම තකතීරු, උත්තර කරගහගෙන ආපු ගමනේ ප්‍රතිඵලයක් තමයි මේ අද අපි භුක්ති විඳින්නේ. එදා අපට පුළුවන්කම තිබුණේ නැහැ 1977ට කලින් මේ රටේ පැවති දේශීය කර්මාන්ත සංස්කෘතිය බලගන්වගන්න. උපාලි විජේවර්ධනලා යුනික් රේඩියෝ එක, උපාලි ෆියට් කාර් එක හැදුවා. ලෝකේ ඕනෑම රටක් ආර්ථිකයේ විවෘතභාවයක් ඇති කළේ දේශීය නිෂ්පාදන පද්ධතිය සවිමත්, මුහුකුරා ගිය තත්වෙකට ගෙනල්ලා. අතුඉති, දළු දාමින්, වැඩුණු දේශීය නිෂ්පාදන සියල්ලම පාවලා දීලා තමයි අපේ රටේ ආර්ථිකය විවෘත කළේ.
ඒකෙ ප්‍රතිවිපාකවලට අනුව තමයි, ඩොලර් බිලියනයක වෙළඳ පරතරයක් ආවේ. ආයෙත් ඒ උපායමාර්ගයම ඇතුළේ මේ රට ඉදිරියට අරගෙන යන්න පුළුවන්ද? සමහරු කියන්නේ, ‘දරුවයි, කිලිටි වතුරයි ඔක්කොම විසි කරමු!’ කියලා. අපි කියන්නේ, ‘මේ දරුවා ආරක්ෂා කරගෙන කිලිටි වතුර ටික විසි කරන්න ඕනේ.’ කියලයි. දරුවා හෙවත් ශ්‍රී ලංකා රාජ්‍යය රැකගන්න ඕනේ.

‘බෙල්ලෙන් අල්ලාගන්න බලන බලවත්තු’

ආර්ථිකමය වශයෙන් මේ තියෙන දුර්වලකම හින්දා ලෝකේ හැම බලවතාම බලන්නේ මේ වෙලාවේ අපේ බෙල්ලෙන් අල්ලා ගන්න.
ඉන්දියාව බලනවා, ඉන්දියානු රුපියලෙනුත් ලංකාවේ පාරිභෝගිකයා ගනුදෙනු කරන තත්වය හදාගන්න. ඉන්දියානු රුපියල නේපාලයේ, භූතානයේ තියෙනවා. ලංකාවේ රුපියල බාල්දු වෙලා බොහොම වේගයෙන්. ආන්න බලනවා, මේ වෙලාවේ ඉන්දියානු රුපියලට ලංකාවේ ආර්ථිකය ගැටගහගන්න. එතකොට හරි. ඊට පස්සේ තියෙන්නේ එහේ රේගුව, මෙහේ රේගුව කරන එක විතරයි. එතකොට අපි කැමති වුණත් නැතත් මේක ඉන්දීය ප්‍රාන්තයක් බවට පත්වෙනවා.

බටහිර රටවල් බලන්නේ මේ වෙලාවේ මොකක් කරන්නද? අරගලය බලගන්වලා, පාලනයක් නැති රාජ්‍යයක්, හයිටිය වගේ පාලනයකින් තොර අසාර්ථක, අසමත් රාජ්‍යයක් බවට මේ ශ්‍රී ලංකා රාජ්‍යය පත් කරන්න. හයිටියේ දරුවන්ට ටැබ් දුන්නා. ‘ඉස්කෝලෙට එන්න යුනිෆෝම් එක ඇඳන් එන්න ඕන නැහැ. කැමති ඇඳුමකින් වරෙල්ලා’ කිව්වා. මේ අර ‘ස්ටාලින්කාරයා’ වගේ හම්පඩ, ණ්ඝ්O වෘත්තීය සමිතිකාරයෝ එහෙත් හිටියා. මෙහෙ දරුවන්ගේ ඇඳුමට අත තියන්න කලින් බලනවා, ගුරුවරුන්ගේ ඇඳුමට අත තියන්න. ථේරවාදී බුදුදහම නිසා තමයි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාටත් තම තමන්ගේ ආගමික අනන්‍යතාවයන් රැකගෙන, නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වුණේ. ඒ සාමකාමීත්වය, සියතින් දරාගත්තු දහම නිසා, ඒක ආක්‍රමණශීලී දහමක් නොවන නිසා, ඒක අන්‍යයන්ගේ, ආගමික අයිතියට ගරු කරන දහමක් නිසා, අන්‍යයන්ගේ මත ඉවසන දහමක් නිසා අපි කවුරුත් නිදහසේ ජීවත් වුණා. අද ඒ දහමටත් හතර වටින් වට කරලා, පහර පිට පහර දෙමින් ඉන්නේ, මේ රටේ මුදුන් මුලම ගලවලා මේක හයිටියක් කරන්න. ඒ නිසා බටහිරට ඕනේ ඒක. ලෝකයේ එක එක බලවතා බලනවා දැන් ඒගොල්ලොන්ගේ උපායමාර්ගික උවමනාවට අනුව අපිව දණ ගස්සගන්න.ඒ නිසා අපි ඉන්නේ ඉතාම තියුණු තීරණාත්මක අවස්ථාවක.

මැදපෙරදිගටත් එළවළු ටික හදලා දෙමුද?

මේ හඟුරන්කෙත ප්‍රදේශයේ ඔබ, එදා සතුරු ආක්‍රමණයක් ආවාම දළදා වහන්සේ රැක බලාගත්තා. කොත්මලේ ඔබ එදා ගැමුණු කුමාරයා රැක බලාගත්තා. ඒ වගේම ඔබ ජීවත් වන පොළොව, ලංකාවේ භූමියෙන් වැඩිම ප්‍රයෝජන ගන්න පොළොවක්. රටට අවශ්‍ය එළවළු ටික සම්පාදනය කරන ප්‍රදේශය මේක. මේ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ව හරියට බලගැන්වුවොත් රටට විතරක් නොවෙයි මැදපෙරදිගටත් එළවළු ටික හදලා දෙන්න පුළුවන් වටිනා සාරවත් පොළොවක් මෙතැන තියෙන්නේ. ඊට අදාළ මානව සම්පත ඉන්නේ මෙතැන. මෙතැන මොනවාද වගා කරන්න බැරි? අපිට ඒ වෙනුවෙන් පර්යේෂණ නැහැ, ක්‍රියාන්විතයක් නැහැ. කොහොමද ගොවියාව දිරිගන්වන්නේ, කියන එකට සැලැස්මක් නැහැ. ඔහේ ඔළුව කහමින් හිතෙන වෙලාවට, හිතෙන තීරණයක් ගන්නවා. අන්තිමට ඒ ඔක්කොටම බැට කන්න වෙන්නේ මහජනයාට.

‘සොබාදහම හා බැඳුණු විදේශ විනිමය උල්පත්’

මේ පොළොව තමයි ඩොලර්. මෙතැන තමයි විදේශ විනිමය උපදවන දේවල් පැලවෙන පොළොව.
මේ හිරු එළිය තමයි ඩොලර්. මේ හිරු එළිය තමයි අපිට සුනිත්‍ය විදුලි බලය උත්පාදනය කර දෙන්නේ. මෑතකදී චීනය හැදුවා, මහා යාත්‍රාවක්; සෝලා එනර්ජි යාත්‍රාවක්. ඒක පාවෙමින් තියෙන්නේ විදුලිය උත්පාදනය කරන්න. අද ලෝකයේ දියුණු වුණු හැම රටක්ම පාහේ සුනිත්‍ය බල ශක්තියට මාරු වුණා. අපි, තුන්සියහැටපස් දවසෙම ඉර පායන රටේ, සොබාදහම දීපු හිරු එළියෙන් නියම ප්‍රයෝජනය නොගන්නා රටක්; මේ සුළංවලින් නියම ප්‍රයෝජනය නොගන්නා රටක්. සොබාදහම දීලා තියෙන දේ හරියට කළමනාකරණය කළොත් ඒකම පමණක් ප්‍රමාණවත් රටට අවශ්‍ය විදේශ විනිමය නිපදවන්න.

මං අහගෙනයි පාර්ලිමේන්තුවේදී අපේ හිටපු කෘෂිකර්ම ඇමතිතුමා කියනවා, තායිලන්තයට යනවාලු, චීන ජාතිකයන් මාසෙකට ලක්ෂ දහයක්. ඕක දත්ත බලලා කියලා හරියන්නේ නැහැ. බලන්න ඕනේ කොහොමද ඒක වුණේ, කියලා. මුලින්ම තායිලන්තය චිත්‍රපටියක් හැදුවා, තායිලන්තය, චීනය එක්ක සම්බන්ධ වුණු කතාවක් පදනම් කරගෙන. චිත්‍රපටිය හදලා චීන භාෂාවෙන් ඒක චීනයේ පෙන්නුවා. අන්න ඒ චිත්‍රපටිය බලපු චීන ජාතිකයන් ඊට පස්සේ වැලනොකැඩී එනවා තායිලන්තේ බලන්න. නැතුව වෙන හේතුවක් නොවෙයි ඒකේ රහස. ඒ මහත්තයා හිතන් ඉන්නවා ඇති, තායිලන්තයේ තියෙන වෙන වෙන දේවල් ඒකට හේතු වුණා කියලා. ඒවා නොවෙයි හේතු වුණේ අර සිනමාපටයෙන් කරපු බලපෑම.

චීනය වෙනුවෙන් චිත්‍රපටයක් හදමුද?

චීනයේ සිට පාහියන් භික්ෂුව අතීතයේ මේ රටට වැඩම කළා.
අනුරාධපුරය තමයි ථේරවාදී බුදුදහමේ මධ්‍යස්ථානය. හරියට බැලුවොත් ථේරවාදී බුදුදහම පිළිගන්න අයගේ ‘වතිකානුව’ තමයි අනුරාධපුරය. පාහියන් භික්ෂුව ඒ අනුරාධපුරයටත් වැඩම කළා. උන්වහන්සේ සඳහන් කරනවා, ‘අනුරාධපුරයේ ආරාම තුනක දොළොස්දාහකට අධික භික්ෂූන්වහන්සේ වැඩසිටියා’ කියලා. මේ පාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා චාරිකාව පදනම් කොටගෙන චිත්‍රපටියක් හදන්න, සංචාරක මණ්ඩල අරමුදලේ තියෙන සල්ලි ටිකෙන්. ඔය චිත්‍රපටිය චීන භාෂාවෙන්, චීනයේ පෙන්නුවා නම් චීන ජාතිකයන් ගෙන්නන්න අමුතුවෙන් නටන්න ඕනේ නැහැ. චීන ජාතිකයන් දරාගන්න බැරි තරම් එන්න පටන් ගන්නවා. මේ වගේ උත්තර ඕනෑතරම් තියෙනවා. නිර්මාණශීලීව කල්පනා කරන්න ඕනේ. සංචාරක ඇමතියා සංචාරකයන්ට ‘වරෙන් වරෙන්’ කියලා රට රටවල රෝන්දේ ගැහුවාට ඔවුන් එන්නේ නැහැ. සංචාරක ඇමතිලා හිතනවා, ඒගොල්ලෝ සංචාරය කළාම සංචාරකයෝ ලංකාවට එනවා, කියලා. උපායශීලී විසඳුම් මේවාට තියෙනවා.එහෙම උත්තර නොවෙයි මේ රටට අද දෙන්නේ.

‘විදුලිබල මණ්ඩලය බම්බු ගහන්නද?’

මේ කරන්න හදන්නේ විනාශය කරා ගෙන යමින් තිබුණු ආර්ථිකය තවත් අඩියටම වට්ටලා රටේ තියෙන සියලුම ශක්තීන් වනසා දමන්න. නිදසුනක් ලෙස විදුලිබල මණ්ඩලය විකුණන්න හදන විදිය බලන්න.
‘නොරොච්චෝලේ’ එකෙකුට දෙනවා. ‘ලක්ෂපාන’ තව එකෙකුට දෙනවා. ජල විදුලි බලාගාර වෙන වෙනම කඩලා දෙනවා. අන්තිමට ‘මණ්ඩලය බම්බු ගහන්නද?’ කියලා හිතෙනවා. ඒ නිසා මෙතැන යන්නේ ‘අම්මගේ මිනිය මැද සාලේ තියාගෙන, එම්බාම් එක දවසින් දවස වැඩි කර ගනිමින් පුත්තු ටික බූරුවා ගහනවා’ වගේ වැඩක්. ඒ නිසා අපට තියෙනවා වගකීමක්. අර ‘කප් එක’ වෙන එකෙක් උස්සන් යන මැච්වලට යන්නේ නැතුව ගහන්න ඕනේ ‘මැච් එක’ රටේ ජනතාව අතට කප් එක ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්නයි තමුන්නාන්සේලා, අපි අද එකතු වෙන්නේ.

‘අපට මොකද බය?’

ඒ නිසා තමයි කට්ටිය මේ බය. මොකෙක්ද අම්බරුවෙක් ඇවිල්ලා ඊයේ මිනිහාගේ වසුරු මේකේ දාලා ගියා, කියලා කියනවා. ඒකට අපි බය වෙන්නේ නැහැ. උත්තර ලංකා සභාගය, තමා ඉදිරිපිට නිර්මාණය වෙන ඕනෑම අභියෝගයකට ධෛර්යසම්පන්නව මුහුණ දෙමින් රටේත් ජාතියේත් අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය දේශපාලන මගපෙන්වීම ලාංකීය සමාජයට නිවැරදිවම ලබලා දෙනවා. ඒක නතර කරන්න කාටවත් බැහැ. ඒ නිසා මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය. අපි හැමෝම සංවිධානගත වෙමු.

ඒ වගේම මේ රැස්වීම අභියෝග මැද්දේ සංවිධානය කරපු නිමල් පියතිස්ස මැතිතුමන්, සම්පත් දසනායක මැතිතුමන් ඇතුළු ඒ සියලුම සහෝදරවරුන්ට අපේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරමින්, ශ්‍රී ලංකා රාජ්‍යය බලගැන්වීම සඳහා, රට නැවත විජයග්‍රාහී යුගයකට රැගෙන යාම සඳහා අප සමඟ අත්වැල් බැඳගන්න ඔබ සැමට ශක්තිය ලැබේවා! ධෛර්යය ලැබේවා! යෝධ බල යෝධ වීර්යය ලැබේවා’යි පතනවා.”
උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” ජනතා සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද අදහස් දැක්වූහ.

එසේම ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, පිවිතුරු හෙළ උරුමයේ නීති ලේකම් නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරු ද මෙම ජනතා සමුළුව ඇමතූහ.
පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමු⁣ණේ හඟුරන්කෙත ආසනයේ සංවිධායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමිපත් දසනායක මහතා විසින් සිදු කරන ලදී.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් නුවරඑළිය දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *