අක්කර ලක්‍ෂ 12ක් ස්වදේශිකයාගෙන් උදුරා ගැනෙන, විදුලි කේබලයකින් රට දෙකට බෙදන, ස්වදේශික ජනතාව ඇමෙරිකාවේ අන්තේවාසිකයන් බවට පත් කරන ගිවිසුමක් අත්සන් කරන්න රනිල්ට ඉඩ දෙනවාද?

අක්කර ලක්‍ෂ 12ක් ස්වදේශිකයාගෙන් උදුරා ගැනෙන, විදුලි කේබලයකින් රට දෙකට බෙදන, ස්වදේශික ජනතාව ඇමෙරිකාවේ අන්තේවාසිකයන් බවට පත් කරන ගිවිසුමක් අත්සන් කරන්න රනිල්ට ඉඩ දෙනවාද?

– ජානිපෙ නායක විමල් වීරවංශ

අක්කර ලක්‍ෂ 12ක් ස්වදේශිකයාගෙන් උදුරා ගැනෙන, විදුලි කේබලයකින් රට දෙකට බෙදෙන, ස්වදේශික ජනතාව ඇමරිකාවේ අන්තේවාසිකයන් බවට පත් කරන, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අස්සන් කිරීමට ඉඩ දී නිහඬ විය හැක්කේ කාටදැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, රටට ආදරය කරන සියලු ජනතාව ඊට එරෙහිව සමගි සම්පන්නව පෙළ ගැසිය යුතු බව අවධාරණය කරයි.

අද(20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් වුයේ ඔහු විසින් කැබිනට් මණ්ඩලයට ගෙනා ස්වදේශිකයාගේ ඉඩම් අයිතිය අහිමි කරන ‘ඉඩම් පනත් කෙටුම්පත් දෙක’ කියා. ඒ පනත් කෙටුම්පත් දෙක මා අතේ තිබෙනවා. එකක් රජයේ ඉඩම් බැංකු පනත (State Land Bank Act) අනෙක ඉඩම් (විශේෂ විධිවිධාන) පනත. මේ පනත් දෙක මේ රටේ අනාගතය කෙරෙහි ඉතාමත් තීරණාත්මකව බලපාන පනත් දෙකක්. ඉඩම් (විශේෂ විධිවිධාන) පනතින් කරන්නේ එක පුද්ගලයකුට ඉඩම් අක්කර 50කට වඩා සන්තකයේ තබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීම. රාජ්‍ය ඉඩම් බැංකු පනතින් කරන්නේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන සඳහා තිබෙන ඉඩම් සියල්ල මේ රාජ්‍ය ඉඩම් බැංකුව යටතට පවරා ගැනීම.

‘විශේලේෂණ වාර්තාව හදපු අය’

ඉහත පනත් දෙකම එන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නැමති ආයතනයේ කොළඹ කාර්යාලය සැකසූ මේ විශ්ලේෂණ වාර්තාව අනුවයි. (විශ්ලේෂණ වාර්තාව මාධ්‍යයට පෙන්වයි). මේ වාර්තාවෙන් කියනවා, ‘ලංකාවේ ඉඩම් වෙළඳපොළ සක්‍රිය කළ යුතුයි. ලංකාවේ ඉඩම් අපහසුවකින් තොරව විදේශිකයකුට මිලදී ගැනීමට ඉඩ දිය යුතුයි’ කියා. ඊට අදාළ සියලු ක්‍රියාමාර්ග මේ වාර්තාවේ තිබෙනවා. එදා මෙහෙම ආපු පනත් දෙකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විරුද්ධත්වය නිසා කැබිනට් අනුමැතිය ලැබුණේ නැහැ. නමුත් අද කැබිනට් අනුමැතිය අරගෙන මේ පනත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා.

‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ යනු කුමක්ද?

ඇමරිකා එක්සත් ජනපදය මුල්වී පිහිටුවාගෙන තිබෙන නේටෝ (NATO) නම් වූ මිලිටරි ව්‍යුහය ගැන අපි දන්නවා. එය රටවලට ආක්‍රමණකාරී ලෙස මැදිහත් වීමට සකසා ගත් උපාංගයක්. ඒ ආකාරයටම ආර්ථික ස්වරූපයෙන් සකසාගත් උපාංගයක් තමයි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනය. වර්තමානයේ දී ඇමරිකා එක්සත් ජනපදය යම් රටක් තම ග්‍රහණයට ගැනීම සඳහා කරන්නේ මේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනය එම රට තුළට රිංගවීම. රට රටවල දුප්පත්කම පිටුදැකීම යන සංකල්පය යටතේ රිංගන මේ ආයතනයේ පාලක මණ්ඩලයේ ප්‍රධානියා වෙන කිසිවකුත් නොවෙයි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයායි. 2016 දී තමයි මේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රී ලංකාවට රිංගලා තම වැඩසටහන ආරම්භ කළේ. ඔවුන් ශ්‍රී ලංකාව තුළ තම කාර්යාලය ලෙස පාවිච්චි කරන්නේ අරලියගහ මන්දිරයයි.

‘සම්පූර්ණ චිත්‍රය තේරුම් ගනිමු’

2015 දී බලයට ආපු මේ පරගැති ආණ්ඩුව මුලින්ම කළේ කුමක්ද? විදේශිකයකුට මේ රටේ ඉඩම්, දේපළ මිලදී ගැනීමට තිබූ බාධාව ඉවත් කිරීම. පසුගිය ආණ්ඩුව විදේශිකයකු තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීමේදී පනවා තිබූ 100%ක බද්ද මේ ආණ්ඩුව මුලින්ම ඉවත් කළා. ඊට පසුව විදේශ විනිමය පනත සංශෝධනය කළා. එමගින් මහ බැංකුවට නොදන්වා රට තුළට විදේශ විනිමය රැගෙන ඒමටත් ආපසු රැගෙන යාමටත් හැකියාව ලැබුණා. ඒ විදියට කළු සල්ලි රට තුළට ගෙන ඒමට ඉඩ හැදුවා. අද ශ්‍රී ලංකාව ලෝකයේ කළු සල්ලි සුදු කරන ප්‍රධානතම රටවල් 12න් එකක්. එසේ ‘බ්ලැක් ලිස්ට්’ කළ ලෝකයේ රටවල් 12 අතර ශ්‍රී ලංකාවත් ඉන්නවා. පළමුව එවැනි තත්ත්වයක් හදලා තමයි, දෙවනුව මේ නව ඉඩම් පනත් දෙක ගෙන එන්නේ. මේ සියල්ලම එකම මෙහෙයුමකට අයත් පියවර බව අප වටහාගත යුතුයි. එවිටයි සම්පූර්ණ චිත්‍රය වටහා ගත හැක්කේ.

‘අක්කර දහස් ගණනින් විදේශිකයන්ට’

ඉඩම් (විශේෂ විධිවිධාන) පනතින් සිදු සිදුකරන්නේ අක්කර 50ක තනි පුද්ගල ඉඩම් අයිතිය පිළිබඳ සීමාව ඉවත් කිරීම. එවිට ඉහත කී ආකාරයට සින්නක්කරව ඉඩම් මිලදී ගතහැකි විදේශිකයකුට අක්කර පනහ ඉක්මවා අක්කර දහස් ගණනින් පවා මෙරට ඉඩම් මිලදී ගැනීමට හැකි වෙනවා. ඒ වගේම රාජ්‍ය ඉඩම් බැංකු පනතින් ඒකරාශී කළ රාජ්‍ය ඉඩම් අදාළ රාජ්‍ය ආයතනයෙන් කෙලින්ම මිලදීගත හැකියි. උදාහරණයක් ලෙස ඉදිරියේදී රාජ්‍ය ඉඩම් බැංකුව යටතේ තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ඉඩමක් අධ්‍යාපන අමාත්‍යවරයා හරහා විදේශ සමාගමකට ලබා ගන්න පුළුවන්. රාජ්‍ය ආයතනවල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් කවර නීති තිබුණත් මේ රාජ්‍ය ඉඩම් බැංකු පනතින් ලැබෙන බලයට ඒවා යටයි. ඉදිරියේදී මේ නීති දෙක මගින් රාජ්‍ය ඉඩම් අක්කර දහස් ගණනින් විදේශීය සමාගම් ලබා ගනීවි.

‘ගොවියා ගම අතහැර නගරයට’

ඒ විතරක් ද? මේ සියලු සියුම් ක්‍රියාමාර්ග සමග ජෛව විද්‍යාත්මක අවියක් ලෙස ‘සේනා දළඹුවා’ එවනවා. දැන් දළඹුවා, සමනළයා වෙලා උවදුර ඉවරයි වගේ පෙනෙනවා. නමුත් දෙවන වටයේ දී දළඹුවො එන්නේ දෙගුණ තෙගුණ වෙලා. මේවාට මේ ආණ්ඩුව විසඳුම් දෙන්නේ නැහැ. වීවලට සහතික මිලක් නැහැ. මේ කරන්නේ කෘෂි කර්මාන්තයේ නියැලී සිටින ගොවි ජනතාව ඉන් ඉවත් කරවීම. මේ අතරතුර තමයි ගොවියාගේ බලපත්‍ර ඉඩමට සින්නක්කර ඔප්පුව ලැබෙන්නේ. ඉහත කී ආකාරයට අධෛර්යවත් වූ ගොවි ජනතාව ගොවිතැන එපා වී නගරයට සංක්‍රමණය වීම සිදු වෙනවා. තවමත් අපේ රටේ ජනතාවගෙන් 70%ක් ගමේ ජීවත් වන්නේ කෘෂි නිෂ්පාදනයේ පදනම රැකී තිබෙන නිසයි. මේ පදනමට ගහපු ගමන් ගොවියා තම ඉඩම විකුණා නගරයට පැමිණ නාගරික කම්කරුවකු බවට පත් වේවි. මේ සමග අධිනාගරික ඝනත්වයක් ඇති වෙනවා, ශ්‍රමයේ මිල පහළ යනවා. ඇමෙරිකන් ආර්ථික කොරිඩෝවේ අඩු වැටුපට වැඩ කරන්න ශ්‍රමිකයන් පිරිසක් ලැබෙනවා. ඒ සමඟ විදේශීය සමාගම් ග්‍රාමීය ඉඩම් අක්කර දහස් ගණනින් මිල දී ගන්නවා.

මැනුම් කටයුතු කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ට්‍රයිම්බල් සමාගමට

ඒ සමගම ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන සඳහා අවශ්‍ය ඉඩම් ටික පහසුවෙන් වෙන්කර ගැනීම සඳහා තවත් ක්‍රියාමාර්ගයක් හොර රහසේම සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් මැන, සිතියම්ගත කිරීම දැන් සිදු වෙනවා. ඒ මැනුම් කටයුතු හා සිතියම්ගත කිරීමේ කටයුතු සඳහා සුදුසුම ආයතනයක් තෝරා ගැනීම සඳහා අනු කමිටුවක් පත්කර තිබෙනවා. එහි ජනාධිපති ලේකම්වරයා, ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලාංකිකයන් 4දෙනකු හා ඇමරිකන් ජාතිකයන් 4දෙනකු සිටිනවා. මෙහෙම විය හැකි ද? ශ්‍රී ලංකාවේ ඉඩම් මැනුම් කටයුතු හා සිතියම්ගත කිරීම ලබා දිය යුත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ද, වෙනත් ආයතනයකට ද කියා තීරණය කිරීමට පත්කළ අනුකමිටුවේ ඇමෙරිකන්කාරයෝ 4ක්. අවසානයේ දී ඇමෙරිකානු ට්‍රයිම්බල් සමාගමට මැනුම් කටයුතු කොන්ත්‍රාත්තුව ලැබෙනවා, ඇමරිකානු ඩොලර් මිලියන 150කට. මේ බලන්න ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මෙරට ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දෙවැනියා මෙම කොන්ත්‍රාත්තුව ට්‍රයිම්බල් සමාගමට දෙන ලෙස ඉල්ලූ ලිපිය (ලිපිය මාධ්‍යයට පෙන්වයි). මේ තමයි ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙරට සිය තානාපතිවරයාට ට්‍රයිම්බල් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දුන් ලිපිය (තවත් ලිපියක් පෙන්වයි). ඒ වගේම මේ තමයි පසුගිය සැප්තැම්බරයේදී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ශ්‍රී ලංකාවට පැමිණ අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී ගත් ඡායාරූපය (ඡායාරූපයක් සහිත ලියැවිල්ලක් මාධ්‍යයට පෙන්වයි),

‘2050 දී ශ්‍රී ලංකාව’

අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක මෙම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතන කාර්යාලයේ අමෙරිකානු ජාතිකයන් කිහිපදෙනාට අමතරව මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් දෙදෙනකු ද සිටිනවා. එක් අයෙක් රංගජීව රත්නායක. අනෙකා සුරේෂ් ෂානක. ශ්‍රී ලංකාවේ ස්වදේශිකයාගේ ඉඩම් ටික කොල්ල කන මේ දෙවන මුඩුබිම් පනත ගෙන ඒමේ අපරාධකාරී මෙහෙයුමට මේ දෙදෙනාත් හවුල් වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයකු නොවුණත් නීලන් ප්‍රනාන්දු නම් ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත පුද්ගලයා ද ඇමරිකානුවන්ට අමතරව කාර්යාලය තුළ කටයුතු කරනවා.

‘ඉඩම් අක්කර ලක්‍ෂ 12ක්’

මේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ලංකාව පිළිබඳ සකසන ලද වාර්තාවේ 2050 දී ශ්‍රී ලංකාව සිතියම්ගත කර තිබෙනවා (සිතියම සහිත ලේඛනය පෙන්වයි). මෙහි සලකුණු කර තිබෙනවා කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන විශේෂ ආර්ථික කොරිඩෝවක්. මෙය දිස්ත්‍රික්ක 07ක් හරහි දිවෙනවා. පටන් ගන්නේ කොළඹ වරායෙන්. කොළඹ හරහා ගම්පහට, ගම්පහ හරහා කෑගල්ලට, කෑගල්ල හරහා කුරුණෑගලට, කුරුණෑගල හරහා මාතලේට, මාතලේ හරහා පොළොන්නරුවට, පොළොන්නරුව හරහා ත්‍රිකුණාමලය වරාය ලෙස එම ආර්ථික කොරිඩෝව සලකුණු කර තිබෙනවා. කිලෝමීටර 200ක් දිග මේ ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඇතුළත් කර තිබෙනවා. භයානකම දේ තමයි මේ විශේෂ ආර්ථික කොරිඩෝව තුළ ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු නීතිය වීම. ඒ වගේම මේ විශේෂ ආර්ථික කොරිඩෝවට සමාන්තරව දිවෙන විදුලි දුම්රිය මාර්ගයක් ඔවුන් යෝජනා කර තිබෙනවා. ඔබ දන්නවා, මේ විදුලි දුම්රිය මාර්ගය සමග විදුලි කේබලයක් ද දිවෙන බව. ඒ අනුව මේ කොරිඩෝවෙන් ශ්‍රී ලංකාව භෞතිකව දෙකට බෙදෙනවා. මෙවැනි විදුලි කේබලයක් නිසා එහා මෙහා යා නොහැකි දේශසීමාවක් ද නිර්මාණය වෙනවා. මෙම විශේෂ ආර්ථික කොරිඩෝව තුළ ආයෝජනය කිරීමට හැක්කේ ඇමරිකාව කැමති ආයෝජකයන්ට පමණයි. ඔවුන් අකමැති කිසිවකුට ඊට ඇතුළුවීමට පවා නොහැකියි.

2012 සිට ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ ගන්නේ ඉන්දියානු සාගර කලාපයේ තම බලය තහවුරු කර ගන්නයි. ඔවුන් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අද වන විට චීනය ඉන්දියානු සාගර කලාපය තුළ ස්ථාන 17ක ස්ථානගත වී අවසන්. ලෝක බලවතුන් අතර සිදුවන ගැටුමකදී ජය ගැනීමට නම් ‘ඉන්දියානු සාගර කලාපය තුළ බලය හිමිව ඇත්තේ කාට ද?’ කියන එක ඉතා වැදගත්. දැන් චීනයට තිබෙන තැන ඇමරිකාව සියුම් ලෙස අත්පත් කර ගැනීමට සැරසෙනවා. ඒ සඳහා උපාය මාර්ගිකව ඉතාමත් වැදගත් ස්ථානය ශ්‍රී ලංකාවයි. දෙමළ ඊළම හදන්න කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්නේ මේ ඉඩකඩ හදාගන්නයි. නමුත් එය අසාර්ථක වූවා. ඒ නිසා ඇමරිකාව උත්සාහ කරනවා මෙලෙස මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හරහා ශ්‍රී ලංකාවට රිංගීමට.

‘අක්කරයට ශත 25යි’

රනිල් වික්‍රමසිංහ නැමැති තමන්ට කීකරු පරගැති නායකයා හරහා තමයි මේ වැඬේ කරගන්න හදන්නේ. මේ විශේෂ ආර්ථික කොරිඩෝව වෙනුවෙන් ඇමෙරිකාව ආයෝජනය කරන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් පමණයි. වසර දෙසීයකට ඉඩම් අක්කර ලක්ෂ 12ක් බදු දුන්නාම එක අක්කරයක් සඳහා ඔවුන් වසරකට ගෙවන්නේ ශත 25ක් පමණයි.

‘සදාකාලික පාවාදීමක්’

අපේ පුරාවිද්‍යා බිම් මතින් දිවෙන මේ ආර්ථික කොරිඩෝව සඳහා දෙන්නේ රජයේ වුවත්, පෞද්ගලික වුවත් මෙරට ස්වදේශිකයාට අයත් ඉඩම්. කොළඹ, ගම්පහ, කෑගල්ල, කුරුණෑගල, දඹුල්ල, කන්තලේ තිබෙන මේ රටේ ස්වදේශිකයාට අයත් ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඩොලර් මිලියන 480කට, වසර 200ක කාලයකට ලබාදෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අතර ගිවිසුම, අස්සන් කිරීමට තිබුණේ 2018 ඔක්තෝබර් 26ට පසුයි. නමුත් ඒ සිදු වූ තාවකාලික බල පෙරළිය නිසා එය කල් ගියා. දැන් නැවතත් කෙසේ හෝ මේ ගිවිසුම අත්සන් තැබීමට රනිල් වික්‍රමසිංහ පාලනය උත්සාහ ගනිමින් සිටිනවා. ආපසු අත්සන් කළොත් ආපසු හැරවීමට බැහැ. ඊළඟ මැතිවරණයෙන් අපි ජය ලබා ගත්තත් වැඩක් නැහැ. මේ පාවාදීම සිදු කරන්නේ ඒ වරද නැවත නිවැරදි කර ගැනීමට ඉඩ තබා නොවෙයි. මේ රනිල් වික්‍රමසිංහ කරන්නෙ කිසිදා ආපසු හැරවිය නොහැකි පාවාදීමක්.

‘දෙවැනි මුඩුබිම් පනත’

එදා 1815න් පසු සුද්දා විසින් අණපතන් ගෙනවිත් මේ රටේ ස්වදේශිකයාගේ ඉඩම් කොල්ලකන්න පටන් ගත්තා. අද මේ ඇමරිකාවෙන් එන්නේ එහි දෙවැනි ප්‍රහාරයයි. එදා සුද්දා ගෙන ආවේ මුඩුබිම් පනත ඇතුළු නීතියි. මේක ‘දෙවැනි මුඩුබිම් පනත’ ලෙස සැලකිය හැකියි. මේ ආකාරයට මේ රට ඇමරිකාවට ගිල ගැනීමට ඉඩ දුන්නාම ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාවට කුමක්ද වෙන්නේ ? ලෝක බලවතුන්ගේ ගැටුමකදී අපේ රට එහි ගොදුරක් වෙනවා නේද ? නමුත් මේ පරගැති, නිවට රනිල් වික්‍රමසිංහ නැමති පාලකයා අනාගත පරපුරක් ගැන කිසිදු හැඟීමකින් තොරව ‘දෙවන මුඩුබිම් පනතක්’ ගෙන ඒමට ඇමෙරිකාවට ඉඩකඩ සලසා දෙනවා. මේ නිර්දය පාලකයා හදන්නේ යළි කිසිදා ආපසු හැරවිය නොහැකි ලෙස අපේ මාතෘභූමිය ඇමෙරිකාවට බිලි දීමටයි.

‘රටට ආදරය කරන මාධ්‍යවේදීන්ට…’

රන්ජන් රාමනායකලා වැනි ජෝකර්ලාගේ ‘චූන් පාන්වලට’ ඔබගේ වටිනා ගුවන් කාලය, පුවත්පතේ ඉඩකඩ වෙන් නොකර මේ අපේ රට හමුවේ වන මහා අනතුර ගැන ජාතිය අවදි කරන්න කියා මාධ්‍යවේදී සහෘදයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ සමස්ත සැලැසුම ඔබ හොඳින් වටහා ගන්න. ඒ පිළිබඳව ජනතාව නිරතුරුව දැනුම්වත් කරන්න.

‘ප්‍රතිත්‍රස්ත පනත’

ඒ වගේම මේ කරුණත් අපි රටට ආදරය කරන මිනිස්සු විදියට තරයේ මතක තබා ගත යුතුයි. මේ මෙහෙයුමටම අදාළව තමයි ‘ප්‍රතිත්‍රස්ත පනත’නමින් පනතක් ගෙන එන්න රනිල් වික්‍රමසිංහ පාලනය කටයුතු කරන්නේ. ඔබ සිතනවා ද, තමන්ගේ ඉඩම් අක්කර ලක්‍ෂ 12ක් අහිමි වනකොට මේ ජනතාව නිහඬව ඉදියි, කියා. නැහැ. ඔවුන් තමන්ගේ සුජාත අයිතිය වෙනුවෙන් පාරට බහිනවා. බලන්න, සුද්දා යටත්කර ගෙන වසර 200ක් යන තෙක් ඉන්දියාවේ, එක තුවක්කුවක් පත්තු වුණේ නැහැ. නමුත් අපේ රට සුද්දා යටත් කරගෙන වසර 02-03 යන විට ඌව – වෙල්ලස්සේ තුවක්කු පත්තු වුණා. අපි එහෙම රණකාමී ජාතියක්. නිවට රනිල් වික්‍රමසිංහ වගේම ඇමෙරිකන්කාරයෝත් ඒ බව දන්නවා. ඒකයි මේ ජනතා නැගිටීම් මර්දනය කිරීමට මේ සැලසුමේම කොටසක් ලෙස ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන්නේ. එකෙන් ත්‍රස්තවාදීන්ට නම් මරු සැලකිලි. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තාම ඥාතින්ට සහ මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතුයි. හැබැයි විරෝධතා, පෙළපාලි, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග යන සියල්ල ත්‍රස්ත ක්‍රියා ලෙසයි ප්‍රතිත්‍රස්ත පනතේ තියෙන්නේ. අවසානයේදී තමන්ගේ ඉඩම් අහිමි වෙනවාට විරුද්ධව පාරට එන මිනිස්සු අල්ලලා හිරේ දමන්න මේ පරගැති ආණ්ඩුව මේ ප්‍රතිත්‍රස්ත පනත යොදා ගන්නයි සූදානම් වෙන්නේ.

‘පාදඩ මෙහෙයුමට එරෙහිව සමගි සම්පන්න වෙමු’

ශ්‍රී ලංකා රාජ්‍යය ගොදුරුකර ගැනීමේ මේ ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් මෙහෙයුමට එරෙහිව කළ හැකි සියල්ල අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස කරනවා. පත්‍රිකා බෙදීම, ඉඩම් අහිමි වන ප්‍රදේශවල ගෞරවනීය භික්ෂූන්වහන්සේලා ඇතුළු ජනතාව දැනුම්වත් කිරීම ඒ යටතේ සිදු කරනවා. ඒ වගේම ‘ස්වදේශික ජනතාව තමන් උපන් රටේ අසරණයකු බවට පෙරළන මේ පාදඩ මෙහෙයුමට එරෙහිව සමගි සම්පන්නව ක්‍රියාත්මක වෙමු’ කියා අපි මේ රටට ආදරය කරන සියලු ජන කොටස් වෙතින් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට කොළඹ මහ නගර සභා මන්ත්‍රී සමන්ත නෙළුම්දෙණිය, මුල්ලේරියාව කොටිකාවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/03/20

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *