“අර්බුදය ජය ගත හැකි නව මාවතකට පිවිසීමට අදිටන් කරගනිමු!” – ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ

අද (14) දින උදාවන ජාතික අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ.

සිංහල – බෞද්ධ සහ දෙමළ – හින්දු ජන කොටස් පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කෙරෙන තවත් ජාතික අලුත් අවුරුද්දක් අදට(14) යෙදී තිබේ. ගෙවී ගිය වසරේදී ආර්ථික අර්බුදය හේතුවෙන් ද 2021, 2020 දෙවසරේදී ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයේ හේතුවෙන් ද අපට අපගේ ශිෂ්ටාචාරගත උරුමයන් සිහිපත් කර දෙන, ඒ මහා සංස්කෘතික උළෙලේ අසිරිය නියමාකාරයෙන් විඳ ගත නොහැකි විය. 2019 වසරේ ද ලැබුවා වූ ජාතික අලුත් අවුරුද්ද ගෙන ආ ප්‍රබෝධය උදුරා ගනු ලැබුවේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙනි.

මෙවර ජාතික අලුත් අවුරුද්ද උදා වන්නේ වත්මන් පාලකයන්, අප මුහුණ පා ඇති බරපතළ ආර්ථික අර්බුදයට පාර කැපූ 1977 විවෘත ආර්ථික මොඩලය තවදුරටත් කර තබා ගෙන යෑමට සැරසෙන මොහොතක ය; යළිත් අනාගත පරපුර ඇපයට තබා “ණයට අරන්, සැපට කාලා, ජොලියේ ඉන්න” සූදානම් වන මොහොතක ය. ඒ අනුව යමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වාරික 8කට ලැබෙන සොච්චම් ණය මුදල පෙන්වා ජනතාව “යාචක මනසක” සිරගත කරවන මොහොතක ය; එකී අරමුදලේ දැඩි කොන්දේසි හමුවේ මෙරට ආර්ථික මර්මස්ථාන සියල්ල විකුණා දැමීම අරඹා ඇති මොහොතක ය.

මේ නව වසරේ මෙරට ජනතාව පළමුව ඉහත කී යාචක මනසින් මිදීමට අදිටන් කර ගත යුතුව ඇත. එසේම අර්බුදයේ නිර්මාතෘවරුන් විසින් අලවන “පැලැස්තරවලට” නොරැවටී, මෙම අභාග්‍යසම්පන්න ඉරණමින් මිදීමෙන් තොරව මේ රටට ඉදිරි ගමනක් නොමැති බව ගැඹුරින් වටහා ගත යුතුව තිබේ.

දේශීය නිෂ්පාදනය බලගන්වන, මෙරට ජනතාව බලවත් දේශීය නිෂ්පාදන සංස්කෘතියක උරුමකරුවන් කරවන නව ආර්ථික මොඩලයක විළිරුදාවෙන් ලක් මාතාව පෙළෙන මොහොතක, ඊට අනුකාරකව, “නවීකරණය කරා යන මාවතකට අත්වැල් බැඳ ගැනීමට” අප වැනි රටවලට ඇරයුම් කෙරෙන ලෝක ප්‍රවණතාවක් ද නිර්මාණය වී තිබේ. එනම් අප වැනි රටවලට, සැබෑ ආරක්ෂාව, සැබෑ සංවර්ධනය උරුමකර දෙන, මිනිසුන් අතර සභ්‍යත්ව බැඳියාව ඔප්නංවන ඉහත කී ලෝක ප්‍රවණතාවෙහි සාඩම්බර කොටස්කරුවෙකු වීමට අවස්ථාව උදාවී තිබේ.

නමුත් තවදුරටත් බටහිර බලවතුන්ගේ යකඩ සපත්තුවට පෑගෙමින්, නූතන යටත්විජිතවාදයේ “විනාශකාරී මෙවලමක්” වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “දඬුඅඩුව” තුළ සිරවීමෙන්, අපට ඉහත කී “බලාපොරොත්තුවේ මාවත” ද අහිමි වීමට උවමනාවටත් වඩා ඉඩකඩ තිබේ. එහෙයින් අප රට මුහුණ පා ඇති අර්බුදය ජය ගැනීමට සමත් ඒ නව මාවතට පිවිසීමේ ඉඩකඩ නිර්මාණය කර ගැනීමේ “මග මානවක පරපුරේ කොටස්කරුවෙකු” වීමට අදිටන් කර ගන්නා ලෙස ද මේ සුබ මොහොතේ ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ(පා. ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2023-04-14

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *