අර්බුදය නිසි ලෙස වටහා ගනිමු! එය ජයගැනීමේ අදිටන ඇතිකර ගනිමු!

 

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් 2023 නව වසරට සුබ පතමින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ.

2023 වසර වෙත අප පිය නඟන්නේ ඉතිහාසය තුළ රට බරපතළම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මොහොතකය. දැනටමත් එහි බරපතළ ප්‍රතිවිපාක අපට බලපෑම් කරන අතර 2023 වසර තුළ ඒවා තවදුරටත් තීව්‍ර වන ආකාරය දැකගත හැකිය. ඊට ප්‍රධාන හේතු දෙකකි. පළමුවැන්න ලෝක පරිමාණ ආහාර සහ ඉන්ධන අර්බුදයක් උද්ගතව තිබීමය. දෙවැන්න මෙම ආර්ථික ආපදාවට වත්මන් පාලකයන් නිසි ලෙස මුහුණ නොදීම ය. ‘අර්බුදය කුමක්ද?’ යන්නත් ‘ඊට තම විසඳුම කුමක්ද?’ යන්නත් ඔවුන් පවසන්නේ නැත. ඔවුනට ඇති ඇති එකම විසඳුම ලෙස පෙනෙන්නේ ඩොලර් බිලියන 50ක පමණ ණය කන්දක් පාමුල සිටින රටට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.9ක ණයක් ලබා ගැනීමය. ඊට අමතරව වත්මන් ජනාධිපතිවරයා සූදානම් වන්නේ ශ්‍රී ලංකාව සතු ආර්ථික මර්මස්ථාන ද විකුණා දමා, ඉන් ලැබෙන මුදලින් විදේශ විනිමය සංචිතය ඉහළ දමා ගෙන, සුපුරුදු ‘ණයට අරන් සැපට කෑමේ’ ගමන තවදුරටත් යාමටය.

ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් වන, විදේශ විනිමය පනත සංශෝධනය කරමින් පෙර පැවති ආකාරයට රටට හිමි අපනයන ආදායම රට තුළට ගෙන්වා ගැනීමට මේ පාලකයන්ට අවශ්‍ය නැත; විදේශයන්හි සේවයේ නියුක්ත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගෙන්වා ගැනීමට ඔවුන් තුළ විශ්වාසය ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් සකසන්නේ ද නැත. දේශීය නිෂ්පාදකයාට, කර්මාන්තකරුවාට සහන සැලසීම කෙසේවෙතත් බදු බරින් ඔවුන් හාන්සි කරවීමට වත්මන් පාලකයෝ කටයුතු කරති. රට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ඔවුන්ට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය මේ අර්බුදය දඩමීමා කරගත් බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට අවශ්‍ය සර්වපාක්ෂික වැඩපිළිවෙළකි. අප වත්මන් පාලකයන්ට ‘කරව්! නැතිනම් පලයව්!’ කියා අවධාරණය කරන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් මෙහිදී අපට තනි පුද්ගල වගකීමක් ද තිබේ. එනම් පාන් පිටි, කිරි පිටි වැනි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ පරිභෝජනය වැඩිවීමට පාරිභෝගික සැම ද වගකිව යුතුය. වහාම දේශීය නිෂ්පාදන අගයන, පරිභෝජන රටාවකට එළඹෙන ලෙස 2023 වසර අපට බල කරයි.

එසේම 2023 වසර යනු මැතිවරණ සඳහා ද ඉඩකඩ නිර්මාණය වී ඇති වසරකි. එහිදී මේ අසමත් පාලකයන් දුරින් දුරු කරනවා සේම, හුදු සටන් පාඨ තොරොම්බල් කරන පිරිස් ද බැහැර කරමින්, ජනතා ප්‍රශ්නවලට උත්තර සෙවිය හැකි පාලනයකට ඉඩකඩ විවර කර ගැනීමේ වගකීම ද ජනතාව සතුව පවතී.

තවද වත්මන් පාලකයන් ගොඩනැඟෙමින් තිබෙන ආසියානු බලය කෙරෙහි විශ්වාසය තබන්නේ නම් රුසියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹී ඉන්ධන, ගෑස් හා පොහොර සහන මිලට ගෙන්වාගැනීමට ද චීනය සමග මිත්‍රශීලීව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ට එළඹීම ද අපහසු නැත. නමුත් මෙම පාලකයන් තම බටහිර හාම්පුතුන්ගේ ආපදා අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට ඉඩ සැලසීම වෙනුවෙන් සිදු නොකරන්නේ ද එයමය. අද ‘ක්වැඩ්’ නමින් හඳුන්වන ඉන්දියාව, ඇමරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල් එක්ව දියත් කරනු ලබන ඉන්දු -පැසිෆික් න්‍යාය පත්‍රය අනුව ඉන්දු ඇමරිකානු පොදු උවමනාව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමය.

මේ සියල්ල ඉතාමත් ගැඹුරින් වටහා ගැනීමටත් දේශීය නිෂ්පාදන අගයන පාරිභෝජන රටාවකට එළඹීමටත් ලක්මවගේ දූදරුවන් මේ නව වසරේ අදිටන් කරගතහොත් එය රටක් ලෙස ගුණාත්මක පරිවර්තනයකට අප රැගෙන යනු නොඅනුමානය. ඒ වෙනුවෙන් පෙළගැසෙමු! ඔබ සැමට සුබ නව වසරක් වේවා!

විමල් වීරවංශ(පා. ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
2023-01-01

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *