ආගමික මූලධර්මවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම සහ ඉදිරි ක්‍රියාමාර්ග

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ආගමික මූලධර්මවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම සහ ඉදිරි ක්‍රියාමාර්ග

ඉස්ලාමීය මූලධර්මවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා ඔබතුමා විසින් පසුගිය දින කිහිපය තුළ ගනු ලැබූ යම් ක්‍රියාමාර්ග සමාජයේ ඇගයීමට ලක්වීඇත. එහෙත් ඒ තුළින් ආණ්ඩුවේ දුර්වලතාවන් පිළිබඳව පවතින මහජන විරෝධය සමනය නොවන බව ඔබතුමා පිළිගන්නවා ඇත. අගමැතිතුමා විසින් ප්‍රකාශ කරනු ලබන මතවාද සහ ක්‍රියාමාර්ග මගින් ඊට ප්‍රතිවිරුද්ධ දේ සිදුවන බව ද ඔබතුමාට රහසක් නොවනු ඇත. එවැනි තත්වයක් තුළ ඔබතුමා විසින් කැඳවූ සර්වපාක්ෂික සමුළුවට අප පක්ෂය කොන්දේසි ඉදිරිපත් නොකර සහභාගී වන්නේ විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රශ්නය තවදුරටත් අවුල් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඔබතුමා මැදිහත්වනු ඇතැයි යන විශ්වාසයෙනි.

පළමුවෙන්ම උද්ගත වී ඇති තත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට හැකියාව ඇති බව ඔවුන් විසින් මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් ඇත. එවැනි තත්ත්වයක් තුළ විදේශීය ඔත්තු සේවාවලට රට තුළට පැමිණ ප්‍රශ්නය තවදුරටත් අවුල් කිරීමට ඉඩ දීම බලවත් දේශපාලන වරදකි. අයි.එස්. ත්‍රස්තවාදීන් ගෝලීය මට්ටමින් පෝෂණයකොට තම රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපාංගයක් ලෙස යොදා ගන්නා ඔත්තු සේවාවලට ප්‍රශ්නය විසඳීමට බාර දීම යනු ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීම’ වැනි ක්‍රියාවකි. එම නිසා එම විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

දෙවනුව, ඔත්තුසේවා නිලධාරීන් ප්‍රමුඛ ආරක්ෂක හමුදාවලට ස්වාධීනව තම රාජකාරි කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම සේනාධිනායකයා ලෙස ඔබතුමාගේ පරම වගකීමකි. මේ වනවිට දේශපාලන බලපෑම් නිසා විමර්ශන කටයුතුවලට බාධා එල්ල වීම පිළිබඳව රට තුළ ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැඟී ඇත. ඊට අමතරව යුද හමුදාවට විමර්ශන කටයුතු සිදු කිරීමට බලය ලබා දී ඇතත් අත්අඩංගුවට ගැනීමට බලය ලබා නොදීම නිසා විමර්ශන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවට බාධාවක් එල්ල වී ඇති බව ආරක්ෂක හමුදාවලින් වාර්තා වේ. එම නිසා එම අඩුපාඩුව ද නිවැරදි කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

තුන්වනුව, මෙම ත්‍රස්ත ක්‍රියාවලට සෘජුව සහ වක්‍රව උදව්කොට ඇති බවට චෝදනා එල්ල වන පිරිස් ඔවුන් රජයේ ඇමැතිවරුන් ද ආණ්ඩුකාරවරුන් ද එසේ නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද යන කරුණ සැලකිල්ලට නොගෙන වහා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව මහජනයාගේ පිළිගැනීම වී ඇත. ඔබතුමා විසින් එම මූලික අවශ්‍යතාව ඉටු නොකර සෙසු කොන්දේසි අහඹු ලෙස ඉටු කිරීමෙන් පමණක් මහජන විශ්වාසය නැවත දිනාගත නොහැක. මහජනයා විසින් නීතිය අතට ගැනීම වැළැක්විය හැක්කේ විමර්ශන කටයුතු අපක්ෂපාතීව සිදුවන බව මහජනයාට පෙනෙන්නට තිබේ නම් පමණි.

හතරවනුව, අත්අඩංගුවට ගනු ලබන පිරිස් පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කිරීම වැදගත් වේ. අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් දේශපාලන බලපෑම් මත නිදහස් කරනු ඇති බවට මහජනයා පූර්ව නිගමනයකින් යුක්තව කටයුතු කිරීම හානිදායක වේ. එම නිසා එම තොරතුරු මහජනයාට හෙළිදරව් කිරීම වැදගත් වන අතර වැරදිකරුවන් සියලුදෙනාට තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක වන බව මහජනයාට විශ්වාසනීය ලෙස ඒත්තු ගැන්වීම ඔබතුමාගේ වගේකීමක් බව ඉතා කරුණාවෙන් මතක් කරමු. ඉහත සඳහන් කළ ආකාරයට විශේෂයෙන්ම එම තත්වය පවත්වා ගැනීම වැදගත් වන්නේ මහජනයා විසින් නීතිය අතට ගැනීම වැළැක්වීම සඳහා ය.

පස්වනුව, මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහි කරන ‘පැක්ටේරිය’ අකර්මණ්‍ය කිරීම සඳහා සාධනීය දීර්ඝකාලීන පියවර ගත් යුතු බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. විශේෂයෙන්ම පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් තෝරාගත් ජනකොටසකට හෝ ආගමකට අයත් පුරවැසියන්ට විශේෂිතව සැලකීම වරදක් බව ඔබතුමා පිළිගන්නවා ඇත. එම නිසා එක් ජනකොටසකට හෝ ආගමකට විශේෂිත පාසල් හෝ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට ඉඩ දීම බලවත් වරදකි. රටේ පවතින එවැනි පාසල් රජයට පවරා ගෙන විධිමත් අධීක්ෂණයකට යටත් කිරීම සඳහා අවශ්‍ය පියවර වහා ගත යුතු බවට යෝජනා කරමු.

හයවනුව, දීර්ඝකාලීනව ජන කොටස් අතර ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා සැකය, බිය, අවිශ්වාසය තුරන් කිරීමට සාධනීය පියවර ගත යුතු බව අපි විශ්වාස කරමු. එම නිසා එක් පැත්තකින් අනාරක්ෂිත මනසින් බියට පත් වී සිටින මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සහතික කරන බව ඔවුන්ට ප්‍රායෝගිකව ඒත්තු ගන්වන අතර අනෙක් පැත්තෙන් ඔවුන් ගොදුරු වී ඇති අන්තවාදී විෂම චක්‍රයෙන් ගලවා ගැනීම සඳහා ගත යුතු පියවර ඔවුන්ගේ සහයෝගය සහිතව ක්‍රියාත්මක කළ යුතුය. එහි පළමු පියවර ලෙස මුස්ලිම් කාන්තාවන් විශේෂිත පිරිසක් ලෙස හුවා දැක්වෙන බුර්කාව හෝ එවැනි වෙනත් ඇඳුම් ඇඳීම ස්වේච්ඡාවෙන් නැවැත්වීම සඳහා එම ජනතාව පෙළඹවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. එහිදී මෑතකාලීනව එවැනි ඇඳුම් ප්‍රචලිත කිරීම ආගමික මූලධර්මවාදීන්ගේ සූක්‍ෂ්ම ක්‍රියාවක් බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීම ද වැදගත් වේ. වෙනස් බව අතිශයෝක්තියෙන් පෙන්වීම තුළ සැකය, බිය සහ විරෝධාකල්ප ගොඩනැගෙන බව එම අන්තවාදීන්ගේ ගුරුවරුන් ලෝකය පුරා ප්‍රත්‍යක්ෂ කොට ඇති බව අප සමාජයට ද ඉගැන්විය යුතු යැයි අපි විශ්වාස කරමු.

කෙසේ වෙතත් දැන් සිදුවන ආකාරයට හමුදා ඔත්තු සේවා දුර්වල කිරීමට මුල් වූ පොලිස් ඔත්තු සේවා ආයතන මුල් කොට ගෙන ක්‍රියාත්මක වන ඔත්තු සේවා යාන්ත්‍රණය වෙනුවට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි සටන පැවති කාලයේදී ක්‍රියාත්මක වූ ආකාරයට ප්‍රතිඵලදායක සහ කාර්යක්ෂම නව ඔත්තු සේවා යාන්ත්‍රයක් පිහිටුවිය යුතු බව අපගේ පිළිගැනීම ය. ඒ පිළිබඳව ද ඔබතුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

අවසන් වශයෙන් අයි.එස්. වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක මැදිහත්වීම සහිතව ශ්‍රී ලංකාව තුළ දියත්වන ත්‍රස්තවාදී ක්‍රියාවලිය මගින් අවසානයේදී සිරියාවේ දී සිදු වූ ආකාරයට බාහිර මැදිහත්වීමකට පාර කැපෙන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ හැක. දැනට ගරු අගමැතිතුමාගේ ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග අනුව පැහැදිලි වන්නේ එතුමා එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමකට පාවාඩ එළන බවය. එම අදූරදර්ශී මාරාන්තික උපායමාර්ගික දේශපාලන වරද සිදු නොවන ලෙස වගබලාගැනීම මේ මොහොතේ ඉතිහාසය විසින් ඔබතුමාගේ උර මත පටවා ඇති වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ද අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2019.04.28

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *