ආණ්ඩුව ගත්තු “තෙල් මිල වැඩි කිරීමේ තීරණයෙන්” ජනතාව “කබලෙන් ලිපට” වැටුණා – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ

රටේ ආර්ථිකය විශාල වශයෙන් හැකිළී ඇති බව පෙන්නුම් කරමින් සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ඍණ අගයක් ගැනීමට නියමිතව තිබූ බවත් එය වසන් කිරීමේ උපක්‍රමික තීරණයක් ලෙස ආණ්ඩුව “තෙල් මිල වැඩි කිරීමෙන්” ජනතාව “කබලෙන් ලිපට” ඇද දමා ඇති බවත් නමුත් එම තීරණයෙන් ඉන්ධන තොග ගොඩගසාගෙන සිටි Sinopec හා IOC සමාගම්වල ලාභය ඩොලර් මිලියන ගණනින් වැඩි කර දී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දෙයි.

අද(05) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වලේබොඩ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

‘ජනාධිපති අපේක්ෂකයන් දුසිමක්?’

“වර්තමාන ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයන් දුසිමකගේ පමණ තරගයක් බවට පත් කිරීමේ උත්සාහයක නියැලී සිටින බවයි පෙනෙන්නෙ. එමගින් ඔහු බලාපොරොත්තු වන්නේ ජාතික බලවේග, ජාතික ආර්ථිකයක් පිළිබඳ හිතන කණ්ඩායම් කෑලි-කෑලිවලට කඩලා තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගන්නයි. ජනතාව මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගත යුතුයි. කනගාටුවට කරුණ, මේ රටේ විපක්ෂ කණ්ඩායම් මේ තත්ත්වය තේරුම් නොගෙන කටයුතු කිරීමයි.
මේ අවස්ථාව සියලු ජාතික බලවේග, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන් එකතු වීමේ අවස්ථාවක් මිස ඉහත කී ‘ජනාධිපතිවරයාගේ සිතැඟි’ ඉටු වන පරිද්දෙන් බෙදී වෙන් වන අවස්ථාවක් නොවෙයි.

තෙල් මිල වැඩි කළේ ඇයි?

මහ බැංකුව පවසනවා, ‘උද්ධමනය පහළ යමින් තිබෙනවා’ කියා. පසුගිය මාසය වන විට උද්ධමනය 4% දක්වා අඩු වුණා. තෙල් මිල වැඩි නොකළා නම් මේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය ඍණ අගයක් ගන්නවා. ඒ කියන්නේ ආර්ථිකය හැකිළීම, කඩාවැටීම, රටේ ජනතාවට ආදායම් මාර්ග අහිමි වීම සිදු වන බවයි. රටේ ජනතාවට තමන්ගේ පාරිභෝගික අවශ්‍යතා මිලදී ගැනීමට මුදල් අතේ නැති වන තත්ත්වයක් තමයි එමගින් නිරූපණය කරන්නේ. ඒ නිසා උද්ධමනය ඝෘණ අගයක් ලෙස නිරූපණය වීම වැළැක්වීම සඳහා මේ ‘වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව’ අනුගමනය කරපු ක්‍රමවේදය තමයි, උද්ධමනය වැඩි කිරීමට තෙල් මිල වැඩි කිරීම. තවදුරටත් පැහැදිලි කළොත් සාර්ව ආර්ථිකයේ නිර්ණායකයක් විදිහට උද්ධමනය ඍණ අගයක් ගන්නවා කියන්නේ, ආර්ථිකය විශාල වශයෙන් හැකිළී තිබෙනවා කියන එකයි. ඒ ආර්ථිකයේ විශාල හැකිළීම පෙනෙන එක වැළැක්වීමට ගත් උපක්‍රමික තීරණයක් තමයි මේ තෙල් මිල වැඩි කිරීම. එම තීරණයෙන් ජනතාව ‘කබලෙන් ලිපට’ වැටුණා.

ඩොලර් මිලියන ගණනක ලාභය කාටද?

අපි දන්නවා IOC සමාගම ඩොලර් මිලියන ගණනක තෙල් ගෙනැවිත් ගබඩා කරලා තිබුණා. ඒ වගේම මේ වන විට ලංකාවේ ව්‍යාපාර කටයුතු අරඹා ඇති Sinopec සමාගම ද ඩොලර් මිලියන ගණනක තෙල් ගෙනැවිත් ගබඩා කර තිබුණා. මේ එක රැයින් ගත්තු තීරණයෙන් IOC සහ Sinopec යන සමාගම්වලට ඩොලර් මිලියන ගණනක, එනම් රුපියල් බිලියන ගණනක ලාභයක් ලැබී තිබෙනවා. මේ සමාගම් අද රුපියල්වලින් ලබන ලාභය හෙට දිනයේ තම මව් රටවලට ගෙන යන්නේ ඩොලර් බවට පත් කරලයි. ඒක මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය තවත් උග්‍ර කරන්නෙ නැද්ද? මේ ආණ්ඩුවේ සිටින බන්දුල ගුණවර්ධනලා වැනි ‘උසස් පෙළ ආර්ථික විශේෂඥයන්’ එකතු වෙලා අරන් තිබෙන්නේ රටට ඩොලර් මිලියන ගණනක් අහිමි කරන තීරණයක්.

රට හැර යන්නේ ඇයි?

අපට ලැබී ඇති සංඛ්‍යාලේඛන අනුව මේ වර්ෂයේ ඉදිරි මාස තුන තුළ වෛද්‍යවරුන් 5000කට ආසන්න ප්‍රමාණයක්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 500කට ආසන්න ප්‍රමාණයක්, පරිගණක ඉංජිනේරුවන් 1000කට ආසන්න ප්‍රමාණයක් ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් රට යෑම සඳහා නිවාඩු අයදුම් කර තිබෙනවා. රට ගොඩනැගෙනවා නම්, ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් මේ විදියට කිසිවකුත් රට හැර යන්නේ නැහැ. ‘වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව’ අද ‘ඇස්බැන්දුම් රට ගොඩනැගීමකයි’ නිරතව සිටින්නේ. මේ ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ, රට යළි ගොඩගැනීමට බැරි ව්‍යසනයකට ඇද දමන ආර්ථික ප්‍රතිපත්තීනුයි.

කෙහෙලිය රකින වෑයමක්!

ඖෂධ මාෆියාව පිළිබඳ බරපතළ සංවාදයක් මතු වුණාම එහි අවසන් ප්‍රතිඵලය වූයේ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන ඒමයි. එම විශ්වාසභංගය හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. නමුත් මේ ඖෂධ මාෆියාව පිළිබඳව කතා කරපු පාර්ලිමේන්තුවේ ඇතැමුන් අද වන විට සෞඛ්‍ය ඇමැතිවරයා බේරා ගැනීමට කටයුතු කරන බව පෙනෙනවා. අපි ජනතාවට කියනවා, ‘මේවාට රැවටෙන්න එපා! ඖෂධ මාෆියාව පැරදවීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙරට එන්න!’ කියලා.

‘අපායේ ඉන්ටවල් එක’

අපිට මේ ලැබී තිබෙන්නේ ‘අපායේ ඉන්ටවල් එකක්’. රටේ තිබෙන්නේ, ‘අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වහන ජාතියේ තීන්දු’ ගන්නා මහ බැංකුවක්. කිසිම සැලැස්මක් නැති මුදල් අමාත්‍යාංශයක් සහ කැබිනට් මණ්ඩලයක්. මේ සියලුදෙනා තමන්ගේ අසමත්කම අද වන විට ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා ජාතික නිදහස් පෙරමුණ, ජාතික බලවේග සමග පුළුල් සන්ධානයක් ලෙස මේ ආර්ථික ව්‍යසනයෙන් රට ගොඩගැනීමේ පුළුල් මෙහෙයුම් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටිනවා. ඒ සමග පෙළගැසෙන ලෙස අපි සබුද්ධික ජන කොටස්වලට ඇරයුම් කරනවා.”
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ, ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව තගර සභාවේ හිටපු මන්ත්‍රී රන්ජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-09-05

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *