උදා වී ඇත්තේ “වැඩ කරන ජනතා අයිතිවාසිකම්” දෙස “නව මානයකින් බලා” ඒවා රැක ගැනීමට පෙරට ආ යුතුම මොහොතක්!

අද (01) දිනට යෙදෙන 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ.

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 137 වැන්න යෙදී ඇත්තේ අදට ය. මේ මොහොතේ එක්පසෙකින් ලොව පුරා වැඩ කරන ජනතාවට අවබෝධ කර දී ඇති යථාර්ථය වන්නේ නව ලිබරල්වාදී පැලැස්තර තම රටවල් මුහුණ දී ඇති ගැටලු, අර්බුද සඳහා විසඳුමක් නොවන බව ය. අනෙක්පසෙන් “නවීකරණය කරා යන මාවතකට අත්වැල් බැඳ ගැනීමට අප වැනි රටවල්වලට ඇරයුම් කරන ලෝක ප්‍රවණතාවක්” ද නිර්මාණය වී ඇති බව වැඩ කරන ජනතාවට අවබෝධ කර දී තිබේ.

කෙසේ වෙතත් මෙවර ජාත්‍යන්තර කම්කරු දින සැමරුම එළඹෙන්නේ අප ජන සමාජය තම මෑත ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින මොහොතක ය; රට විකුණන පරගැති පාලනයක් බිහිව ඇති මොහොතක ය. මෙම තත්ත්වය තුළ වැඩ කරන ජනතාව හමුවේ වන අභියෝගය කුමක්දැයි විමසා බැලිය යුතුව තිබේ. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, කර්මාන්ත පද්ධතිය රැක ගැනීම හා බහුජාතික සමාගම්වලට විකුණා දැමීමට සැරසෙන මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය රැක ගැනීම එම අභියෝගය ය. මෙකී අභියෝගයට නිසි පරිදි මුහුණ නොදුනහොත්, එනම් ජාතික ආර්ථිකය, කර්මාන්ත පද්ධතිය තවදුරටත් බිඳ වැටුණහොත් රාජ්‍ය ආයතන පද්ධතිය විකුණා දැමීම ශීඝ්‍රයෙන් සිදු වුවහොත් එහි අනිසි ප්‍රතිඵලවලට වැඩ කරන ජනතාවට ඍජුව මුහුණ දීමට සිදු වන අතර ඉතා විශාල පිරිසකට රැකියා අහිමි වීම එහි ප්‍රමුඛතම ප්‍රතිඵලය වන්නේ ය.

එහෙයින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව නව මානයකින් බැලීමට මෙරට ජන වැඩකරන ජනතාවට බල කෙරී තිබේ. ඒ අනුව මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, කර්මාන්ත පද්ධතිය රැක ගැනීම හා රාජ්‍ය ආයතන පද්ධතිය රැක ගැනීම මෙරට වැඩ කරන ජනතාවගේ ප්‍රමුඛතම අයිතිවාසිකම් බවට පත්ව තිබේ. ප්‍රධාන ප්‍රඥප්ති 8 ඇතුළු ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්ති 41ට අදාළ අයිතිවාසිකම් මෙරට වැඩ කරන ජනතාව හිමිකර ගෙන ඇතත් ඉහත කී නව මානයට අනුව බලා ඉහත කී අයිතිවාසිකම් රැක ගැනීමට මෙරට වැඩ කරන ජනතාව සටනට අවතීර්ණ නොවුණහොත් අවසන් ප්‍රතිඵලය වන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වීම ය.

මෙම බරපතළ අවදානම වටහා ගෙන ඊට අනුරූප මහා සටනකට එළඹීමෙන් පමණක් ඉතිහාසය තුළ දිනාගත් අයිතිවාසිකම් ද තම රැකියාවන් ද රැක ගැනීමට මෙරට වැඩකරන ජනතාවට හැකි වනු ඇත. ඒ මහා සටන ජය ගැනීම සඳහා මෙරට වැඩ කරන ජනතාවට ධෛර්යය හා ශක්තිය පැතීමට ද මෙය අවස්ථාවක් කරගන්නෙමු.

විමල් වීරවංශ(පා. ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2023-05-01

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *