ගොවියාට ජලය නොදුන්නොත් රටම බඩගින්නෙ! දැන්වත් “ඇමති කඹ ඇදිල්ල” නතර විය යුතුයි! -ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්

ලෝක පරිමාණ ආහාර අර්බුදයක් පෙනි පෙනී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා ජලය ලබානොදී ආණ්ඩුව සූදානම් වන්නේ රටම බඩගින්නේ තැබීමට බවට චෝදනා කරන ජාතික ගොවි ව්‍යාපාරය, දැන්වත් කෘෂිකර්ම හා විදුලිබල ඇමතිවරුන්ගේ කඹ ඇදිල්ල නවතා ගොවි ජනතාවට ජලය ලබා දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව අවධාරණය කරයි.

අද(06) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක දී එම පක්ෂයට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා මෙසේද සඳහන් කළේය.

“උඩවලව ජලාශය හිඳී යාමෙන් තම වගාවන්ට අවශ්‍ය ජලය නොලැබිම නිසා මොනරාගල, රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික් තුනටම අයත් ගොවි පවුල් 45000ක් පමණ දැඩි දුෂ්කරතාවකට ඇද වැටී තිබෙනවා. තවදුරටත් පැහැදිලි කළොත් ‘උඩවලව ජලාශයේ වම් හා දකුණු ඇල වශයෙන් ගොවි කලාප 07ක, ගොඩ සහ මඩ වශයෙන් දිස්ත්‍රික් 03නේම වගා කටයුතු කළ ගොවි පවුල් 45000ක් පමණ’ මෙයින් දැඩි අසීරුතාවට ලක් වෙලා ඉන්නේ.

“නිදිමත කෘෂි ඇමති”

මේ සම්බන්ධව ගොවියන් භාරව ඉන්න ඇමතිවරයාගෙන් අහපුවාම දෙන උත්තර මොනවාද? ගොවියන් වැඩියෙන් වී වගා කරලාලු. ‘ලෝක පරිමාණ ආහාර අර්බුදයක් එනවා’ කියලා ඇමති දන්නේ නැද්ද? ‘ආණ්ඩුව බඩ පුරවනකම් බලා ඉඳලා බැහැ. වගා කරලා අර්බුදයට මුහුණ දෙන්න ඕනෑ’ කියලා අපේ රටේ ගොවිජනයා දන්නවා. ඇමති ඒකවත් දන්නේ නැද්ද? මොකටද ඔය පුටුවේ ඉඳගත්තේ? උඩවලව ජලාශය 1.8%කට හිඳිලා. සමනලවැව ජලාශයේ 17%ක් ජලය තියෙනවා. වී වගාවට තව වතුර මුර 03යි ඕනෑ. එයට අක්කර ඝන අඩි 25000ක් පමණ වැයවෙන බව කියනවා. ‘මේ වෙලාවේ ප්‍රමුඛ අවශ්‍යතාව මොකක්ද?’ කියලා කතා කරලා තීරණයක් ගන්න බැරිද?

“විදුලි ඇමති” කඹේ අනික් පැත්තට අදිනවා

විදුලිබල ඇමති කියනවා, ‘සමනල වැවේ ජලය දුන්නොත් විදුලිය කපන්න වෙනවා’ කියලා. ඒ වුණාට ආණ්ඩුව කයිවාරු ගහන්නේ කොහොමද? ‘කළමනාකරණ පයිතගරස්ලා’ විදිහට. ඒත් ප්‍රශ්නයක් ආපුවාම පෙනෙනවා කඹ අදින විදිහ. දැන් ආණ්ඩුව තීරණයක් ගන්න ඕනෑ, ‘මිනිස්සුන්ට බඩගින්නෙ මැරෙන්න සලස්සනවාද? එහෙම නැත්තම් වගාවට වතුර දෙනවාද?’ කියලා.

‘දේශගුණ විපර්යාස හානි’ අවම කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ
වැදගත්ම කාරණය තමයි ලෝකයේ වසර 30කට වඩා වැඩි කාලයක් තුළ සිදුවන දේශගුණ වෙනස්විම්, විපර්යාසයන් වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවටත් ඉන් ප්‍රබල බලපෑම් ඇති වෙලා තියෙනවා. දවස් කිහිපයක් වහිනකොට ගංවතුර ඇති වෙනවා. සති දෙකතුන පායනකොට නියඟය එනවා; වගාවන් විනාශ වෙනවා. වැස්ස එන වාර ගණන අඩු වෙලා, වැස්සේ ප්‍රමාණය වැඩිවෙලා. සෘතු වෙනස්කම් සිද්ධ වෙන්න පටන් අරන්. මේ සියල්ලට බලපාන අභ්‍යන්තර හා බාහිර හේතු තිබෙනවා. මිනිස් ක්‍රියාකාරකම්, භූමි පරිභෝජන රටාව, වායුගෝලීය සංයුතියේ සිදු වන වෙනස්කම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් කැලෑ ගිනි තිබීම ආදී සියල්ල ඊට බලපානවා.

මේ ප්‍රශ්නයේ අපිට කෙටිකාලීනව පාලනය කරන්න බැරි කොටසක් තිබෙනවා නමුත් කළ නොහැකි දේ නොවෙයි, කළ හැකි දේ නොකිරීම නිසයි අර්බුදයේ තීව්‍ර වෙලා තියෙන්නේ. කළමනාකරණය කළ හැකි කොටසට මැදිහත් නොවීම පිළිබඳව ආණ්ඩුව සහ ඇමතිවරුන් දෙදෙනාට අපේ දැඩි විරෝධය පළ කරනවා. අපි ආණ්ඩුවට බල කරනවා, ‘මේ ගොවියා අසරණ කරන කඹ ඇදිල්ල නවත්තලා ඔහුට තම වගාවන් සඳහා ලබා ජලය ලබා දෙන්න’ කියලා.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-08-06

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *