මහ බැංකුව “රජයට – පාර්ලිමේන්තුවට” වග නොකියන ආයතනයක් බවට පත්කිරීම ඉතා බරපතළ අපරාධයක්! – ජානිපෙ නායක විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගය ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳ පූර්ණ වගකීම හිමි මහ බැංකුව, ඊනියා ස්වාධීනකරණයේ මුවාවෙන් රජයට සහ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කිරීම බරපතළ අපරාධයක් බැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එකී ස්වාධීනකරණයට අදාළ මහ බැංකු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ(14) අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී මාධ්‍යවේදී මහතකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා මෙසේද කීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයක් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳව පූර්ණ වගකීම තිබෙන මහ බැංකුව ස්වාධීනකරණයට ලක් කරනවා යැයි කියන්නේ ඡන්දයෙන් පත් වන කවර පාලනතන්ත්‍රයට හෝ නතු නොවී ඒ අයට වුවමනා ආකාරයට මහ බැංකුව පාලනය කිරීම. ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. ඊයේ(13) ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පිළිබඳව අපේ පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා. එම පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය ගිලිහෙනවා. මහ බැංකුව වෙනම ආණ්ඩුවක් බවට පත්වෙනවා. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බලගතු මූල්‍ය ආයතනවලට ඕනෑ විදියට නැටවෙන දූෂිත ආයතනයක් බවට මහ බංකුව පත් කෙරෙනවා. අපි ඒකට බරපතළ ලෙස විරුද්ධයි.

මේ රටේ මිනිස්සු අනාගතයේදී කවර පාලනයක් නිර්මාණය කළත් ඒ මිනිස්සුන්ට වගකියන පාලකයන්ට, ඔවුන්ගේ ප්‍රතිපත්තියට අනුව මහ බැංකුව මෙහෙයවන්න වෙන්නේ නැහැ. ඒක බරපතළ කාරණයක්. මේ විදිහට ලෝකයේ ඊනියා ස්වාධීනකරණයට ලක් කරපු මහ බැංකු තිබෙන රටවල, ඒ මහ බැංකු අධිපතිවරු අන්ත දූෂිත ආකාරයට කටයුතු කළ බව ඔප්පු වෙලා තිබෙනවා. අන්ත දූෂිත ක්‍රියාවල යෙදුණත් ඒ මහ බැංකු අධිපතිවරු ඉවත් කරන්න බැරිවෙලා තිබෙනවා.. ඒක තවත් බරපතළ කාරණයක්. පළාත් පාලන ඡන්දය කල් දැමීම වගේම මේ මහ බැංකුවට කරන්න යන අපරාධයත් ඉතා භයානකයි.

මේ රට අද බරපතළ විදේශ විනිමය අර්බුදයක ගිලී තිබුණත් ඊට පිළියම් ලෙස විදේශ විනිමය පනත සංශෝධනය කරන්නේ නැහැ. අපේ රටේ අපනයනකරුවෝ උපයන ඩොලර් ප්‍රමාණය නියමිත කාලයකදී රට තුළට ගෙන ඒම අනිවාර්ය කරලා, ඒ ආකාරයට නොගෙන ආවොත් දෙන දඬුවම් සඳහන් කරලා විදේශ විනිමය පනත සංශෝධනය කරන්නේ නැහැ. ඒවාට වුවමනාවක් නැහැ. ඒ වෙනුවට කරමින් ඉන්නේ ඊනියා ස්වාධීනකරණය මුවාවෙන් මහ බැංකුව කියන මහජනයාගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනය රජයට, පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කිරීම.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ තවත් ප්‍රශ්න කිහිපයකට ද වීරවංශ මහතා පහත පරිදි පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය:- මහ බැංකුව මංකොල්ලකෑම එයින් නතර වෙයිද?

පිළිතුර:- දේශපාලනඥනයෝ කවුරුන් හෝ මහ බැංකුව කොල්ලකෑවා නම් ඒවා නතර වෙයි. නමුත් මහ බැංකු ප්‍රධානීන්ට මහ බැංකුව විතරක් නොවෙයි ඕනෑම මංකොල්ලයක් කරන්න ඉඩකඩ ලැබෙනවා.

ප්‍රශ්නය:- විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවීම ගැන මොකද කියන්නේ?

පිළිතුර:- තවම කැඳවලා නැහැ. නමුත් ‘කැඳවිය යුතුයි’ වැනි අදහස් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පළ කරලා තිබෙනවා. මම හිතන්නේ, පාර්ලිමේන්තුව, අධිකරණය හා විධායකය කියන මේ පද්ධති 3 එකිනෙකාට ගරු කරමින්, එකිනෙකාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින්, එකිනෙකාගේ පැවැත්මට අකුල් හෙළන්නේ නැතිව කටයුතු කළොත් පමණයි ඒ පද්ධති තුනේම නිරෝගී පැවැත්ම රැකෙන්නේ. අධිකරණය, පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුව, අධිකරණයටත් අනිසි බලපෑම් කරන්න ගියොත් ඒක එම පද්ධති දෙකටම අහිතකරයි.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-03-15

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *