රාජ්‍ය ව්‍යවසායන් ගොඩගන්න විදිහ විමල් නිදසුන් සමඟින් පෙන්වයි…

විෂය භාර අමාත්‍යවරයා, තමන්ට මාසිකව ලක්ෂ පහක මුදලක් ලබා දීමේ කොන්දේසිය පිට ඔහු යටතේ ඇති රාජ්‍ය ව්‍යවසායන්වලට සභාපතිවරුන් පත්කිරීමේ ක්‍රමවේදයකින් රාජ්‍ය ව්‍යවසායන් ගොඩගත නොහැකි බවත් එහෙත් රාජ්‍ය ව්‍යවසායන් විකුණ නොදමා ඒවා ගොඩනගන ක්‍රමවේද රැසක් ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(18) රාත්‍රී ටීවී දෙරණ නාලිකාවේ 360° සජීවී දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

ජාතික කඩදාසි සමාගම ගොඩගත් හැටි!

නිදසුනක් ලෙස තමන් කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස පත්වන විට කැබිනට් පත්‍රිකාවක් මගින් අබලි යකඩවලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල අයත් ජාතික කඩදාසි සමාගමට අදාළව තමන් අනුගමනය කළ ක්‍රමවේදය වූයේ දේශපාලන හිතවතෙකු වෙනුවට, කඩදාසි කර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුමක් තිබූ කීර්තිමත් ව්‍යවසායකයකු සභාපතිවරයා ලෙස පත් කිරීම බවත් ඒ ක්‍රමවේදය අනුව පණගැන්වුණු වාලච්චේන කඩදාසි කම්හල අද ලොතරැයි මුද්‍රණයට මෙන්ම, රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ අවශ්‍යතා සඳහා අවශ්‍ය කඩදාසි සපයමින් මෙරට කඩදාසි අවශ්‍යතාවයෙන් යම් කොටසක් සපුරා දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම එම ජාතික කඩදාසි සමාගමට අයත් ඇඹිලිපිටිය කඩදාසි කම්හල ද රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකිවූ බව ද ඒ මහතා එහිදී පැවසීය.

SLITA ඉහළටම

එසේම තවත් නිදසුනක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ(SLITA) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද දේශපාලන හිතවත්කම්වලින් තොරව, සුදුසුකම් සැපිරූ වෘත්තීයවේදියකූ පත් කළ බවත් එම ආයතනය ද තමන් අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ මෝස්තර නිර්මාණය ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත් උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කිරීමට ඉහත කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එහි සේවක පිරිස වෙහෙස වී කටයුතු කළ බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

අඩපණ කළ කන්කසන්තුරේ සැලසුම

එසේම තමන් කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන විට, තම විෂය පථය යටතේ තිබූ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත්, යුදමය තත්වය හේතුවෙන් හානියට පත්ව තිබූ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි, එම සිමෙන්ති කම්හල් පරිශ්‍රය තුළ තිබූ රුපියල් බිලියන ගණනක් වටිනා අබලි යකඩ විකුණා දමා, එම මුදලින් යළි විවෘත කිරීමට සියලු පියවර ගෙන තිබුණු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී ද දේශපාලන හිතවත්කම්වලින් තොරව, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට තමන් පත් කළ සභාපතිවරයා තමා සමඟ එක්ව අනගි මෙහෙවරක් ඉටු කළ බව වීරවංශ මහතා කීය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-09-19

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *