”ලාංකේය සමාජයේ අක්මුල් සිඳලන පවිටු ප්‍රවණතා පැරදවිය හැක්කේ බුදුදහමින් පණ පෙවුණු අපගේ සභ්‍යත්ව උරුමය සොයා යෑමෙනි…”

ලංකේය සමාජයේ අක්මුල් සිඳුලන පවිටු ප්‍රවණතා පැරදවිය හැක්කේ බුදුදහමින් පණ පෙවුණු අපගේ සභ්‍යත්ව උරුමය සොයා යාමෙන් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ වෙසක් පණිවුඩය පහතින් දැක්වේ.

උපුටා ගැනීම,

“බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පොහෝ දිනයක් අදට(05) යෙදී තිබේ. ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව දාන, සීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදු කිරීම, මල් පහන් පූජා වැනි ආමිස පූජාවන්හි යෙදෙමින් උත්සවශ්‍රීයෙන් සැමරූ වෙසක් දිනය, කොරෝනා වසංගතය හේතුවෙන් ගෙවී ගිය වසර කිහිපයේ නිවෙස්වලට සීමා වී සැමරීමට සිදුව තිබිණි.

එවැනි අත්දැකීමකට මුහුණ දුන් ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමතුනට ගියවර වෙසක් උත්සවය සැමරීමට සිදූව තිබුණේ ද සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටියදී ය; රට අස්ථාවරත්වයකට, අරාජිකත්වයකට ගමන් කරමින් සිටින මොහොතක ය. අප තවමත් ඒ බලවත් දුෂ්කරතාවෙන් මිදී නොමැත. එබැවින් මේ දුෂ්කර මොහොතේ බුදුදහමේ ඉගැන්වීම් අන් කවරදාටත් වඩා අප ජීවිතවලට සමීප කරගනිමින් මතුව ඇති අර්බුදයට සාර්ථකව මුහුණ දිය හැකි සමත්කම් සහිත ඇත්තන් වීමට පළමුකොටම මෙරට බෞද්ධ ජනතාව බලවත්ව අදිටන් කරගත යුතුව තිබේ.

මේ අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන සමාජ අසහනය දඩමීමා කරගෙන අද මේ රටේ පිළිගත් ආයතන, පිළිගත් මත, පිළිගත් සංස්කෘතීන් ආදී සියල්ලටම සැලසුම් සහගතව පහරදෙන ප්‍රවණතාවක් ද දැකගත හැකිව තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම් අප කාටත් සහෝදරත්වයෙන් බැඳී ජීවත් වීමට හැකි වූයේ බුදුදහම නැමැති සහනශීලී ධර්මය නිසා ය. එසේම ඒ තුළින් අන්‍ය ආගම් බැහැර නොකරන, අන්‍ය විශ්වාසයන්ට පහර නොදෙන, ඒවා ඉවසන මානව ගුණාංගවලින් සමන්විත දියුණු මහා සංස්කෘතියක් අපට දායාද කර දෙන ලද නිසා ය. මෙරට බෞද්ධ ජනයාට ඉහත පවිටු ප්‍රවණතා පැරදවිය හැක්කේ බුදුදහම මත පදනම් වූ අපගේ ශිෂ්ටාචාරගත උරුමය සොයා යෑමෙනි; ඒ හා තදින් බැඳීමෙනි. එබැවින් බුදුවදන් නුවණින් විමසා බලා බුදුදහමින් පණ පෙවුණු අපගේ ඒ සභ්‍යත්ව උරුමය සොයා යාමට අදිටන් කර ගත යුතුව තිබේ.”

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *