“විධායකය එපා!” කියන එජාප – ජවිපෙ උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට අපි කිසිලෙසකින්වත් පසුබට වෙන්නේ නැහැ

“විධායකය එපා!” කියන එජාප – ජවිපෙ උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට අපි කිසිලෙසකින්වත් පසුබට වෙන්නේ නැහැ
– ජානිපෙ නායක විමල් වීරවංශ

මුළු රටටම ඉල්ලන ගෝඨාභය රාජපක්ෂයන් මහින්ද කඳවුරේ සිටියදී ‘විධායක ජනාධිපති ක්‍රමය එපා!’ කියන එජාප – ජවිපෙ උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ මොහොතක්වත් ප්‍රමාද නොවන බව එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

පසුගියදා මොරටුව නගරයේ පැවති ‘රටට මොකද වෙන්නේ ?’ යන තේමාව යටතේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘භූමිතෙල් ගෑවුණු ගැරඬියෝ’

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා එකඟව මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වූ ඔක්තෝබර් 26 වැනිදා සිට ටී.එන්.ඒ සහ ජවිපෙ උදවිය, ඊනියා සිවිල් සමාජය හෙවත් රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කාක්කන් ටික, ඒ රාජ්‍ය නොවන සංවිධානවලට සින්න වුණු ඊනියා විද්වතුන් ටික ‘ප්‍රජාතන්ත්‍රවාදය උදුරාගත්තෝ – ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න රනිල් ආපසු අගමැති කරපියෝ’ කියමින් ‘භූමිතෙල් ගෑවුණු ගැරඬියෝ’ ටිකක් වගේ දඟලපු හැටි අප කාටත් අමතක නැහැ. ඔවුන්ට අනුව සිදු වුණේ රනිල්ගේ අගමැති පට්ටමට තට්ටුවීම නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම. ඒ අනුව පට්ටම ආපහු රනිල්ට දුන්නොත් ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම කියලා පට්ටම ආපහු ගත්තානේ. දැන් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනවාද?

‘ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන හැටි’

ගාල්ලේ රත්ගම තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් මරා දමා මළසිරුරු පුළුස්සා දමා තිබෙනවා. මේකද රනිල්ට අගමැති පට්ටම ආපසු දීලා ලබාගත්තු ප්‍රජාතන්ත්‍රවාදය? හැමදාම මැතිවරණයක් ළං වෙලා ‘තාජුඩීන් මන්තරය’ ජප කරන ජවිපෙ හා එන්ජීඕ ඩොලර් කාක්කන් ටික මේ සිදුවීම ගැන මුනිවත රකිනවා. දැන් බස්නාහිර පළාත් සභාවේ නිල කාලයත් අවසන් වීමට ළඟයි. ඒත් පළාත් සභා ඡන්දය අනන්තයටම කල් දමමින් ඉන්නවා. ඒක ද යළි රනිල් අගමැති කර බලාපොරොත්තු වූ ප්‍රජාතන්ත්‍රවාදය ?

‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය කප්පාදු කිරීම’

ඒ විදිහට ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් තිබියදී දැන් ‘විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම’ පිළිබඳව මේ අය කතා කරමින් ඉන්නවා. ජනතාව ඉල්ලා සිටිනවා නම් පාර්ලිමේන්තුව, එය බලයට පත්වී වසරක කාලයක් ඉක්මවීමෙන් පසු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණා. එදා 2001 දෙසැම්බර් බලයට ආ රනිල්ගේ ආණ්ඩුව ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුම් ගහලා උතුර කොටියාට දෙන්න හදනකොට ඒ පාලනය අවසන් කරලා 2004 අප්‍රේල් මාසයේදී නව ආණ්ඩුවක් ගෙන ඒමට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කටයුතු කළේ එම බලය අනුවයි. කොටියාට උතුර දෙන්න හදන විටයි ජනතාව ‘රනිල්ගේ පාලනය එපා!’ කියලා මහ මැතිවරණයක් ඉල්ලා සිටියේ. ජනතාවගේ විලිරුදාව තේරුම් ගෙනයි එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. එහෙම නැතුව බලය තිබුණා කියා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටනම් ජනාධිපතිවරයාට මානසික ආබාධයක් ඇති විය යුතුයි. මේ මොහොතේ ජනතාව මහ මැතිවරණයක් ඉල්ලා සිටිනවා. ඒ විලිරුදාවෙන් රටම පෙළෙනවා. මේක, හංසයාට කතිරෙ ගහපු උදවිය පවා ඒ වැරැද්ද නිවැරදි කරගන්න මහ මැතිවරණයක් ඉල්ලා සිටින වෙලාවක්.

‘කාගෙද අතපය බැන්දේ ?’

නමුත් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව එය බලයට පත්වී වසර හතරහමාරක් යන තෙක් විසුරුවා හැරීමට බැහැ. මේ අතපය බැන්දේ ජනාධිපතිවරයාගේ ද? නැතිනම් මහමැතිවරණයක විලිරුදාවෙන් පෙළෙන මහජනතාවගේ ද? මදක් සිතා බලන්න. ජනතාව මහ මැතිවරණයක් ඉල්ලුවා. ජනාධිපතිවරයා එය දෙන්න හැදුවා. උසාවිය කීවා ‘අවුරුදු හතරහමාරක් යන තෙක් එයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ’ කියා. මහජනතාව මහමැතිවරණයක විලිරුදාවෙන් පෙළෙන විට එය ලබා දෙන එක ද ප්‍රජාතන්ත්‍රවාදය, නැතිනම් එම ඉල්ලීම යටපත් කරන එක ද ප්‍රජාතන්ත්‍රවාදය ? දැන් මේ අය ‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ’ කියලා කරලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වළ කැපීම නේද?

‘ඒකාබද්ධ විපක්ෂය 20 පිළිගන්නේ නැහැ’

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ මහජනයාට ලැබිය යුතුව තිබූ ප්‍රජාතන්ත්‍රවාදයට තට්ටු කරපු එක. දැන් ආයෙත් ජනතා විමුක්ති පෙරමුණ එනවා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔසවාගෙන. ‘20’ ඔසවාගෙන ආවාට වැඩක් නැහැ, ඒකාබද්ධ විපක්ෂය තීරණය කරලා ඉවරයි ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ඔය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අපි පිළිගන්නේ නැහැ’ කියා. ඒ නිසා අද ඔය ප්‍රජාතන්ත්‍රවාදී ‘සීනි තවරපු’ මේ රාජ්‍යය දුර්වල කරන, අස්ථාවර කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් කවුරුන් හෝ අපේ කඳවුර බිලීබාගෙන 20 සම්මත කර ගැනීමට හදනවා නම් එදාට තමයි අපට මේ දේශපාලන කඳවුරට ආයුබෝවන් කීමට සිදුවන්නේ. ඒකට අපි මොහොතක්වත් පසුබට වෙන්නේ නැහැ.

‘ඇයි මේ උගුල අටවන්නේ ?’

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උගුල මේ අය දැන් කඩිමුඩියේ අටවන්න හදන්නේ ඇයි ? රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තියා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉල්ලන්න ලැබෙයි ද කියන එකත් ‘ෂුවර්’ නැහැ. ඒ නිසා තමයි රනිල් ‘විධායක ජනාධිපති ක්‍රමය එපා!’ කියන්නේ. ‘විධායක ජනාධිපති ක්‍රමය එපා!’ කියන ජවිපෙ තත්වය බලන්න. 2010 දී සහ 2015 දී වගේ මෙවර ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකුට කඬේ යාමට ජවිපෙට බැහැ. එහෙම කඬේ ගිහින් දැන් එයාලා හොඳට නාගෙන තියෙන්නේ. ඒ නිසා තනියම ඉල්ලන්න වෙනවා. එතකොට ලැබෙන්නේ ඡන්ද ලක්ෂ දෙක තුනක් පමණයි. එතකොට ‘සයිස් එක’ පෙනෙනවා. ඒ නිසා ජවිපෙට අද විධායක ජනාධිපති ක්‍රමය ඇනයක්. දැන් රනිල් එක්ක එකතු වෙලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දඟලනවා.

‘මුළු රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ’

නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ දේශපාලන කඳවුරට එහෙම අහේනියක් නැහැ. අපේ කඳවුර ජනාධිපතිවරණවලට බිය විය යුතු කඳවුරක් නොවෙයි. වෙනදා ජනාධිපතිවරණවලට පක්ෂවලින් අපේක්ෂකයන් තෝරන තෙක් ජනතාව බලා සිටියා. නමුත් අද පක්ෂ භේදවලින් තොරව මේ රටේ ජනතාව තම අපේක්ෂකයා තෝරා ගෙන ඉවරයි. අද මුළු රටටම ඉල්ලන්නේ ‘ගෝඨාභය රාජපක්ෂ’. අද මුළු රටම ඉල්ලන්නේ හැදියාවක් සහිත පාලනයක්, වංචාවෙන් දූෂණයෙන් තොරව මේ රට පාලනය කිරීමේ මාවතක්. පුල්මුඬේ ඛනිජවැලි නිධිය ආරක්ෂා කර ගන්න ගිය රජයේ නිලධාරීන්ට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හයිය ගත්තු පිරිසක් පහර දෙන ආකාරය අපි දුටුවා. උතුරේ පමණක් නොවෙයි මුළුමහත් රට තුළම කිසිවකුටත් නීතිය අතට ගැනීමට ඉඩ දිය යුතු නැහැ. එවැනි පාලනයක් මුළු රටම අද ඉල්ලා සිටිනවා.

‘පිරිසිදු පාලකයෙක් රටම ඉල්ලනවා’

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා පිරිසිදු පාලකයකු ලෙස තමන්ගේ රාජකාරිය ඉටු කරපු බව මුළු රටම දන්නවා. යුද්ධ කරද්දී හොරා කෑවේ නැහැ. හොරා කන කිසිවෙක් යුද්ධයක් ඉවර කරන්නේ නැහැ. අවුරුදු 30ක් තිස්සේ යුද්ධය ඇදෙමින් ආවේ ඒකයි. යුද්ධ කරද්දී හොරා කනවා නම් හොරා කකා යුද්ධ කරගෙන යාමටයි හිතෙන්නේ. රස වැටුණාම ඒක තමන්ගෙ ඉල්ලමක් බවට පත්කර ගන්නවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුද්ධය පටන් අරන් එය අවුරුදු 04කින් අවසන් කළා. යුද්ධය තමන් හම්බකරන් කන තිප්පොළක් බවට පත්කර ගත්තේ නැහැ. එහෙම නායකයෙක් අද මුළු රටම ඉල්ලනවා.

‘කරන්නාගොඩට එරෙහි බොරු සාක්ෂි’

වෙනසක් කිරීමට ගොස් අවිනිශ්චිත ඉරණමක් ළඟා කරගත්තු රටක් බවට මේ රට අද පත් වී තිබෙනවා. මේ ආණ්ඩුව රටට විජයග්‍රහණය ලබා දුන් රණවිරුවන් ‘සුද්දන්’ සතුටු කිරීම පිණිස හිරේ දමමින් සිටිනවා. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර අත්අඩංගුවට ගෙන ‘ඔන්න අපි වැඬේ හරියට කරනවා’ කියන්න දැන් වැඬේ හදලා ඉවරයි. කරන්නාගොඩ මහත්තයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බොරු සාක්ෂි දුන් නාවික හමුදා නිලධාරියා තමයි පසුගියදා ඊට තෑග්ගක් ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස මුදල් ඇමති මංගල සමරවීර විසින් පත් කිරීමට සූදානම් වුණේ. අර අපේ රණවිරුවන්ට අපහාස කළ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ඔය කියන නාවික හමුදා නිලධාරියා එක්ව නාවික හමුදාවට ආයුධ මිලදී ගැනීම් වලදී දූෂිත ලෙස කටයුතු කළ බවට චෝදනා තිබුණාා. ඒවා දැන සිටි කරන්නාගොඩ මහතාගෙන් පලිගැනීමට අද මංගල සමරවීර, හේමසිරි ප්‍රනාන්දු සාකච්ඡා කර ඉහත නිලධාරියා යොදාගෙන බොරු සාක්ෂි හැදුවා. එවැනි අහස පොළොව නුහුලන අපරාධ ‘2015 ජනවාරි 8 වැනිදා වෙනස’ නිසා අද මේ රටේ සිදු වෙනවා.

‘ජනතා විශ්වාසයට පිටින් ගියොත්…’

අද දේශීය ව්‍යාපාර කඩා වැටෙද්දී ආර්ථිකයේ දොර ඇරෙන්නේ විදේශිකයාට. ඒ වගේම රට තුළට කළු සල්ලි ගලා එනවා. කොටි සල්ලිවලින් ව්‍යාපාර කරන කුප්‍රකට ‘ලයිකා මොබයිල්’ හිමිකරු සුභාෂ්කරන් අලිරාජාට මෙරට මාධ්‍ය ආයතනයක් ඇතුළු ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරය හිමිකර දුන් ආණ්ඩුවක් අද තිබෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෙ. දේශීයත්වයට මුල්තැන දෙන ආර්ථික ගමනක් මේ රටට අවශ්‍යයි. එය කළ හැකි පාලකයකු තමයි මුළු රටම ඉල්ලා සිටින්නේ. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව සමගියෙන් විසිය හැකි රටක් ජනතාව ඉල්ලා සිටිනවා. ‘එවැනි රටක් හදන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂට’ කියලා කවුරු විශ්වාස නොකළත් මේ රටේ ජනතාව විශ්වාස කරනවා. ඒ විශ්වාසයට පිටින් යන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි. ඒ විශ්වාසයට පිටින් යන්න කවුරුන් හෝ උත්සාහ ගන්නවා නම් ඔහු කරන්නේ මේ කඳවුර නැවත වතාවක් පරාජය කිරීමට අවශ්‍ය පාවා දීමක්. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සලකුණ සහිත මේ දේශපාලන කඳවුර අද මේ රටේ දැවැන්තම දේශපාලන කඳවුරයි. එය කඩාබිඳ දැමීමට සතුරන් උත්සාහ කරනවා. පිටතින් වගේම ඇතුළතින් ද කඳවුර දුර්වල කිරීමට කටයුතු කරනවා. අපට අද ‘තනියම ජන්දය ඉල්ලා පෙන්වන්න’ කියන අය කඳවුරේ ඇතුළේ සිටිනවා. අද තියෙන්නේ තනියම ඉල්ලා දිනන සටනක් නොවෙයි. රට යළි නිවැරදි මාවතට ගැනීමේ සටනක්. ඒ දැවැන්ත සටනින් පස්සේ අපි අපට අවශ්‍ය මොහොතේ ‘තනියම ඉල්ලා’ පෙන්නන්නම්.

‘මෙතෙක් නොකී කතා දෙකක්’

එහෙම කියන අයට මතක් කර දීමට අපට වෙනදා නොකී කාරණා දෙකක් තිබෙනවා. මේක පම්පෝරි ගැසීමක් නොවෙයි. මතක් කර දීමක් පමණයි. පළමු කරුණ ලෙස 2015 ජනවාරි 08 වැනිදා පරාජයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස 2015 ජනවාරි 10 වැනිදා පවත්වපු මාධ්‍ය සාකච්ඡාවට ඔවුන්ගේ අවධානය යොමු කරවනවා. එම මාධ්‍ය සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත්, අනුර පියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ නායකයන් සමඟ මමත් සහභාගි වුණා. එහිදී එක් අයකු කීවා ‘මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුණා නොවෙයි. මෙය තාවකාලික පසුබැසීමක් පමණයි. අපි ඔබේ නායකයා නැවත රැගෙන එනවා. බලාපොරොත්තු සහගතව ඉන්න’ කියා. එහෙම කියූ කෙනා මම.

ඒ වගේම 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ රැලිය සංවිධානය කරද්දී සිදු වූ සිදුවීම් ද සිහියට එනවා. දෙහිවල ධනසිරි නගරාධිපතිතුමා ජෙනරේටරයක් ඉල්ලුව ගමන් ලබා දුන්නා. රැස්වීම් භූමිය එවකට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපතිතුමා ලබා දුන්නා. බොහෝ අය උදව් කළා. හැබැයි රැලියේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සකස් කළ කතාව ඒ මහා ජන ගඟට ඉදිරිපත් කිරීමට කෙනෙක් හිටියේ නැහැ. මම, දිනේෂ්, වාසු, ගම්මන්පිල යන සියලුදෙනා වෙනත් පක්ෂවල අය හින්දා එය ඉදිරිපත් කිරීමට බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුත් ඉදිරිපත් වූයේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටියා දයාන් ජයතිලක මහත්තයාගෙන් එය ඉදිරිපත් කරන්න කියා. ඔහු කිව්වා ‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයටවත් ගිය කෙනෙක් නොවෙයි, මම කොහොමද මේක ඉදිරිපත් කරන්නේ ?’ කියා. නමුත් අවසානයේදී වෙනත් කිසිවකු නැති නිසා ඔහු එය උදව්වක් ලෙස සිදු කළා. අපි මේවා කියකියා යන්නේ නැහැ. නමුත් එදා ඉතිහාසයේ දුෂ්කර අවස්ථාවල ඇතැමුන් කර ඇරියේ එහෙමයි.

‘අපේ භූමිකාව අතහරින්නේ නැහැ’

නමුත් අපි හැමදාම රට වෙනුවෙන්, කිසිවක් අපේක්ෂා නොකර ඒ දුෂ්කර අවස්ථාවන්වලට කර ගැහුවා. පෞද්ගලිකව කිසිවක් නොලැබුණත් අපි කර ගහපු සටන අතරමග දාලා යන්නේ නැහැ. ඉතිහාසය පුරා දාලා ගිහිල්ලත් නැහැ. එළියෙන් ගැහුවත් – ඇතුළෙන් ගැහුවත් – මාධ්‍යයෙන් ගැහුවත් ඒ ගහන ඕන ගැහිල්ලකට මුහුණ දෙන්න බැරිනම් අපි මේ දේශපාලනය කරන්නේ නැහැ. මේ රට යළි හරි මගට ගන්න සටන, මේ පාලනය අවසන් කර ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරන සටන අපි කිසි ලෙසකින්වත් අතහරින්නෙ නැහැ. ඒ නිසා ‘සියලු බොරු වළවල් මගහරිමින් ජයග්‍රහණය තෙක් පෙරට යමු’ කියා, රටට ආදරය කරන සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019-03-03

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *