“අද ‘වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව’ ලාංකේය ජාතිය සතු, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් 74ක් සංහාරයට ඉඩ දී නිහඬව බලා සිටිනවා” – ජානිපෙ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීරගෙන් සුවිශේෂී අනාවරණයක්

අද වන විට ‘වික්‍රමසිංහ -රාජපක්ෂ ආණ්ඩුව’ ලාංකේය ජාතිය සතු උතුරු නැගෙනහිර දෙපළාතේ පිහිටි පුරාවිද්‍යා රක්ෂිත සහ පුරාවිද්‍යා ස්මාරක 74ක් සංහාරයට ඉඩ දී බලා සිටින බවත් එම පුරාවිද්‍යා උරුමයන් සංහාරය දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී පක්ෂවල අනුග්‍රහයෙන්, උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල දායකත්වය ඇතිව සිදු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනාවරණය කර සිටී.

එය බරපතළ ජාතිවාදී මරාගැනිල්ලකට පාර කැපීමක් බව ද ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා පෙන්වා දෙයි.

අද(04) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා ද එක්ව සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂවල අනුග්‍රහය
“කොළඹ සිදු වන සංසිද්ධීන් දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටින මේ මොහොතේ ලාංකේය ජාතියට අයත් උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා උරුමයන් බොහෝ වේගයෙන් සංහාරය වෙමින් තිබෙනවා. දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂවල අනුග්‍රහයෙන් සහ උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල දායකත්වයෙන් තමයි මෙම පුරාවිද්‍යා උරුමයන් සංහාරය බොහෝ වේගයෙන් සිදුවන්නේ. සාමාන්‍ය දෙමළ ජනතාව මීට තදබල ලෙස විරුද්ධයි. නමුත් ඔවුන්ගේ හඬ යටපත් කොට තිබෙනවා.

වෙල්ලන් සාමි සහ සචිත්තානන්දන්

පසුගිය දිනක දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂ නායකයන් දෙදෙනෙකු වන අර්ජුන් සම්පත් සහ අන්නමලේ යන අය උතුරු පළාතට පැමිණියා. ඔවුන් පැමිණිලා උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල නායකයන් වන සුමන්තිරන්ලා, ශාක්‍යයන්ලා හමු වෙනවා. ඉන් අනතුරුව තමයි ඔවුන් උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා උරුමයන් සංහාරයට අනුග්‍රහය හා මගපෙන්වීම සිදුකරන්නේ. මේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත්තේ වෙල්ලන් සාමි සහ සචිත්තානන්දන් යන හින්දු මූලධර්මවාදී නායකයන් දෙදෙනාටයි. ඔවුන් අතේ තිබෙනවා උතුරු නැගෙනහිර දෙපළාතේ පිහිටා ඇති අනුරාධපුර මුල් යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක 74ක ලැයිස්තුවක්. මේ පුරාවිද්‍යා ස්මාරක 74 වැනසීම මේ ව්‍යාපෘතිය යටතේ දැනටත් ඇරඹිලා තිබෙනවා.

වඩුන්නාගල පුරාවිද්‍යා ස්මාරකය

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නැදුන්කර්නි පොලිස් බල ප්‍රදේශයේ, නයිනමඩු රක්ෂිතයේ, 222 ඕළුමඩු ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙන වඩුන්නාගල හෙවත් වෙඩිකිනාරිමලේ පුරාවිද්‍යා ස්මාරකය පසුගියදා මේ අප පෙන්වා දීපු ආකාරයට සංහාරයට ලක් වුණා. මේක අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක්. මෙහි ලෙන් විහාර අටක් තිබෙනවා. මේ ලෙන් විහාර 8ට භික්ෂූන්වහන්සේ සඳහා පූජා කර තිබූ බවයි පුරාවිද්‍යා මූලාශ්‍රවලින් කියැවෙන්නේ. මෙවැනි පුරාවිද්‍යා ස්මාරක බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද සමයේදී පවා නිරුපද්‍රිතව තිබුණා. නමුත් පසුගිය දිනක වෙල්ලන් සාමිලා, සචිත්තානන්දන්ලා ඇවිල්ලා වඩුන්නාගල පුරාවිද්‍යා ස්මාරකයට අයත් චෛත්‍යය විනාශ කරලා, ශිව ලිංග සහ වෙනත් දේව ප්‍රතිමා තැන්පත් කොට තිබෙනවා. මේ අය පෙන්වන්නේ මේක සාමාන්‍ය දෙමළ ජනයා සිදු කළ බවයි. නමුත් සාමාන්‍ය දෙමළ ජනයා මේකට විරුද්ධයි. 2017දී විතර මෙතැන කුඩා ශිවලිංග තැන්පත් කර තිබුණා. ඒවා සිංහල ජනතාව විසින් විනාශ කළා, කියලා මේ පුරාවිද්‍යා සංහාරයට වගකිව යුතු පිරිස පොලිසියට බොරු පැමිණිල්ලක් සිදු කොට තිබෙනවා. ඒ පිට දමලා එම ස්ථානයේ විශාල විනාසයක් කරලා, දැන් විශාල ප්‍රමාණයේ ශිව ලිංග සහ දේව ප්‍රතිමා තැන්පත් කොට තිබෙනවා.

පුල්ලෙයාර් දෙවියන් ඇදහීම පවා තහනමට

මේ ඊනියා ව්‍යාපෘතිය දියත් කරන පිරිස සිංහල ජනතාවට විරුද්ධව පමණක් නොවෙයි, දෙමළ ජනතාවට විරුද්ධව ද මෙහිදී කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙනවා. දෙමළ හින්දු ජනයාගෙන් වැඩි පිරිසක් මූලිකව අදහනු ලබන්නේ පුල්ලෙයාර් දෙවියන්. නමුත් මේ ප්‍රදේශයේ පුල්ලෙයාර් දෙවියන් ඇදහීම පවා තහනමට ලක් වෙමින් තිබෙනවා. ඔවුන් පවසන්නේ මේ ‘ශිව භූමි’ කියලයි. මේ අන්තවාදී පිරිස පසුගිය දිනවල වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළා. එහි සටන් පාඨ පුවරුවල තිබූ අදහස වූයේ, ‘මෙය ශිව භූමියක්. අන්‍යාගමිකයන් ඊට ඇතුළුවීම තහනම්!’ කියලයි. ශිව දෙවියන් පමණක් ඇදහීමට පෙළඹවීමේ ව්‍යාපෘතියක් තමයි මේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්මාරක සංහාරයට ලක් කරමින් අද දවසේ සිදු වන්නේ.

සිංහල – දෙමළ ජාතිවාදී මරාගැනිල්ලකට පාර කැපීම

මේ දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂ සහ උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂ එක්ව ගෙන යන විනාශකාරී ව්‍යාපෘතියේ අවසන් අරමුණ සිංහල – දෙමළ ජාතිවාදී මරාගැනිල්ලකට පාර කැපීමයි. නමුත් මේ තත්ත්වය හමුවේ ‘වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව’ නිහඬව ඉඳිමින් මේ විනාශකාරීන්ට ධෛර්යය සපයනවා. 1898 අංක 24 දරන පුරාවිද්‍යා ආඥා පනත ඉතා බලවත් පනතක්. ඒ අනුව පුරාවිද්‍යා උරුමයක් විනාශ කිරීම ඇප ලබා දිය නොහැකි වරදක්. නමුත් අද මේ පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාවේ යෙදවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැහැ. මේ ආඥා පනත අනුව පුරාවිද්‍යා රක්ෂිතයක් ප්‍රකාශයට පත්කිරීමේ, ගැසට් කිරීමේ බලය ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි. ඒ වගේම පුරාවිද්‍යා ස්මාරක ප්‍රකාශයට පත් කිරීමේ බලය ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාටයි. නමුත් ‘වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය’ විසින් මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයාට හිමි ඉහත කී බලයන් අත්හිටුවා තිබෙනවා.

පුරාවිද්‍යා බලතල කැබිනට් මණ්ඩලයට පැවරීම

දැන් බලන්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ලිපියක් නිකුත් කරනවා. එම ලිපියෙන් සිදු කර ඇත්තේ පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී ඇති පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමේ බලයත් පුරාවිද්‍යා ස්මාරක ගැසට් කිරීමට විෂය භාර අමාත්‍යවරයාට ඇති බලයත් කැබිනට් මණ්ඩලයට පැවරීමයි. දැන් උපදෙස් අවශ්‍ය නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයාත් පුරාවිද්‍යා රක්ෂිත, පුරාවිද්‍යා ස්මාරක කිසිවක් ගැසට් නොකර ඔහේ බලාගෙන ඉන්නවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හැසිරෙන්නේ අපි ඉහත පෙන්වා දුන් දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂවල රූකඩයක් ලෙසයි. සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද එලෙස රූකඩයක් ලෙස හැසිරෙන්නේ.

සංස්කෘතික ඇමැති රූකඩයක් වෙලා

දැන් බලන්න, වව්නියාවේ සමනන්කුලම ප්‍රදේශය තිබෙන අනුරාධපුර මුල් යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක 2018දී පමණ කුඩා කෝවිලක් ඉදිකර තිබුණා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා තම බලතල ප්‍රකාරව එය නතර කර තිබුණා. මේ ළඟදී සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් එම කෝවිල ඉදිකිරිමට අවසර දෙනවා. කුරුන්දාවශෝක විහාරයත් අනුරාධපුර මුල් යුගයට අයත් පුරාවිද්‍යා උරුමයක්. එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර ගැනීමට ද මේ තත්ත්වය යටතේ නොහැකිව තිබෙනවා.

මේ මහා පුරාවිද්‍යා සංහාරය සිදු වෙද්දී පොලිසිය නිහඬයි; පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිහඬයි. ඒ අනුව ආණ්ඩුව කරන්නේ මේ පුරාවිද්‍යා සංහාරයට දිරි දෙමින් බලා සිටීමයි. අපි මේ රටේ ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා, ‘මේ පුරාවිද්‍යා උරුමයන් සංහාරය හෙළි කිරීමට පෙරමුණ ගන්න’ කියා. මේ පුරාවිද්‍යා උරුමයන් සිංහල බෞද්ධයන් පමණක් නොවෙයි මුළුමහත් ජාතියම සතුයි. මේවා තමයි අපට ප්‍රෞඪ ශිෂ්ටාචාරගත උරුමයක් තිබූ බවට ජීවමාන සාක්ෂි. මේවා සුරැකීම මුළුමහත් ජාතියේම වගකීමක්.

ආරක්ෂක අංශ යොදා හෝ මේ පුරාවිද්‍යා සංහාරය නතර කරනු!
අපි ජනාධිපතිවරයාට බල කර කියා සිටිනවා, ‘උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් ප්‍රකාශයට පත් කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තිබෙන බලයට අත තබන්න එපා!’ කියා. ඒ වගේම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, ‘ආරක්ෂක අංශ යොදා මේ පුරාවිද්‍යා සංහාරය නතර කිරීමට දැන්වත් මැදිහත් වෙන්න’ කියා. ඒ වගේම ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙතින්, හින්දු පූජක නායකත්වයෙන්, අන්‍යාගමික නායකයන්ගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, ‘අපේ ජාතිය සතු මේ මහා උරුමයන් සුරැකීමට මැදිහත් වෙන්න’ කියා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-05-04

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *