“ඔක්තෝබර් 26 ගත්තු එඩිතර තීන්දුව නිසා අද මහින්ද විපක්‍ෂ නායක ධුරයේ සිටිනවා. රනිල්ට 2/3 නොවෙයි 113ත් නැහැ”

“ඔක්තෝබර් 26 ගත්තු එඩිතර තීන්දුව නිසා අද මහින්ද විපක්‍ෂ නායක ධුරයේ සිටිනවා. රනිල්ට 2/3 නොවෙයි 113ත් නැහැ”

– ජානිපෙ නායක විමල් වීරවංශ

2018 ඔක්තෝබර් 26 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කොට මහින්ද රාජපක්‍ෂයන් අගමැති කරවීමට ගත් එඩිතර තීන්දුව නිසා, 2015 අගෝස්තු 17 දා සිටම ඔහුට ලැබිය යුතුව තිබූ විපක්‍ෂ නායක ධුරය අද ලැබී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ 2/3ක බලය පමණක් නොව 113ක සරල බහුතරය ද නැතිව ගොස් ඇති බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එපමණක් නොව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට මේ වන විට තමන් ඉදිරිපත් කළ අය – වැය 113ක සරල බහුතරයෙන් සම්මත කර ගැනීමට නොහැකිව සිටින බව ද ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (08) මහනුවර දී පැවැති ‘ඉවසුවා ඇති: මහනුවර ජාතික රැලිය’ අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“කැප්පෙටිපොළ මොනරවිල විරුවාණන්ගේ හිස දරා ගෙන සිටින, දළදා හාමුදුරුවන්ව චිරාත් කාලයක් රැකබලා ගත්තු ඒ වගේම බලවත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යුද්ධ කර යටත්කර ගැනීමට බැරි වුණු මේ අභිමානවත් කන්ද උඩරට රාජ්‍යයේ ජීවත් වන දසදහස් ගණන් විරෝදාර ජනතාව අද මෙැතනට රොඳ බැද තිබෙනවා. ඔවුන් තැපෑලෙන් දෙන පණිවුඩය වෙන කිසිවක් නොවෙයි ‘රනිල් වික්‍රමසිංහ මහත්තයෝ බැහැලා යන්න ලෑස්ති වෙන්න’ කියලයි.

ජාතික වීරයකුගේ ඉරණම

ගෙවී ගිය වසර 04 තුළ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය ලක් මාතාව දූෂණයට ලක් කළා. ඔවුන් එක් පැත්තකින් මේ රට ජාත්‍යන්තර බලවතුන්ට පාවාලා දෙනවා. ඒ අනුව තමයි රණවිරුවන් හිරේ දමන්නේ. අද වන විට කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී නාවික හමුදාවට නායකත්වය දුන්, කොටියාගේ අවි ආයුධ නැව් විනාශ කරපු, කොටි නායකයන්ට මුහුදෙන් ඉන්දියාවට පැන යාමට තිබූ ඉඩකඩ අහුරපු විශිෂ්ට ගනයේ රණවිරුවකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩට සිදුව ඇත්තේ කුමක්ද? ‘මාව බොරු සාක්ෂි මත අත්අඩංගුවට ගැනීමට යනවා. එය වළක්වන්න’ කියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්න. වෙන රටක නම් ජීවිත කාලය පුරාම ජාතික වීරයකු ලෙස රැක බලා ගන්න අයකුට නේද මෙසේ කරන්නේ ? කෙළෙහිගුණ දන්නා ජාතියක් ලෙස අපි මේ පිළිබඳව ලැජ්ජා විය යුතුයි. මෙමගින් අනාගත පරපුරට යන පණිවිඩය කුමක්ද? ‘නුඹලා රට ජාතිය රැක ගැනීමට යුද වදින්න එපා. එහෙම කරලා නුඹ ජාතික වීරයකු වුවත් රනිල් වැනි පාලකයකු බලයට ආවොත් නවතින්න වෙන්නේ හිරේ’ කියලයි. මේ සියල්ල සිදු කරන්නේ ජාතික ආරක්ෂාව බිල්ලට දීලයි.

‘අගමැති රනිල් තැබිය යුතු තැන’

රනිල් වික්‍රමසිංහ හරි ළමයෙක්නේ. එයා දැන් කියනවා ‘මම මේ රට සහලින් ස්වයංපෝෂණය කළා’ කියලා. අපි කවුරුත් දන්නේ නැතුව එයා ‘7 වැනි පරාක්‍රමබාහු’ වෙලානේ (ජනතා සිනා). ඒ විතරක් නොවෙයි එයා පසුගිය දිනක කීවා, ‘අපි වික්ටෝරියා’ස් සීක්‍රට් එකෙනුත් කප් එක ගැහුවා’ කියලා. එයා පාවිච්චි කරපු වචනය මම මෙතැන කියන්නේ නැහැ. (ජනතාවගේ හූ හඬ) මේ විදියට වචන පාවිච්චි කරන අගමැති කෙනෙක් තියන්න ඕනෙ අරලියගහ මන්දිරයේ නොවෙයි මුල්ලේරියාව රෝහලේ. මෙහෙම අගමැති කෙනෙක් ඉන්නකොට රටකට වගතුවක් තියේවි ද?

‘ඛේමාගේ කොලුවා සහ හේමාගේ කොලුවා’

සමනල අය – වැයෙන් සහන හම්බ වුණා ද? කියන්න පුළුවන් පච බේගල් සේරම ටික ඒකේ තියෙනවා. දැන් බලන්න සංගණන වාර්තා අනුව මේ රටේ වැසිකිලියක් නැති නිවාස ගණන 2%ටත් අඩුයි. එහෙම තියෙද්දී මේ අය, මේ අයවැයෙන් කියනවා, ‘වැසිකිළියක් හදාගන්න රුපියල් 40000ක් දෙනවා’ කියලා. මේ අය – වැයෙන් ඛේමාගේ කොලුවා වැසිකිළියක් දෙනකොට, හේමාගේ කොලුවා වැසිකිළි නැති ගෙවල් හදනවා. මෙහෙම විකාර ආණ්ඩුවක් ලංකා ඉතිහාසය තුළ දැකගත හැකි වන්නේ නැහැ. රංජන් රාමනායක ගොයියා කියනවා, ‘ආණ්ඩුවේ ඈයෝ කොකේන් ගහනවා’ කියා. පාර්ලිමේන්තුවේ පසුගිය වසර 4 තුළ අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු විදිහට අපටත් හිතුණු වාර ගණන අනන්තයි ‘අද මෙයා ඇවිත් තියෙන්නෙ කොකේන් ගහලා ද මන්දා?’ කියා. සාක්කු දෙකේ අත් දෙක දමා ගෙන බඩගෙඩිය අංශක එකසියහැට ගණනකට හරවමින් දෙන ජොලිය දැක්කම අපට නම් හිතුනේ ‘මෙයා කොකේන් ගහලාම තමා’ කියලා.

‘ආණ්ඩුව කොරහත් බිඳගෙන යන්න හදනවා’

මේ ආණ්ඩුව දන්නවා තමන්ට ළඟදීම ගෙදර යන්න වෙන බව. ඒ නිසා රටට කරන්න පුළුවන් උපරිම හානිය කරලයි මේ අය යන්න හදන්නේ. යන ආණ්ඩුව ‘කොරහත් බිඳගෙන’ යන්න හදන්නේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ආයතනය රටටම හොරෙන් අරලියගහ මන්දිරයේ කාර්යාලයකුත් ඇරලා. දැන් වාර්තාවකුත් හදලා අගමැති රනිල් වික්‍රමසිංහට දීලත් ඉවරයි. ඒ වාර්තාවට අනුව රජයේ සියලුම ඉඩම්, ඉඩම් බැංකුවකට පවරා ගන්නවා. ඉන්පසු විදේශික ආයෝජකයො ඉල්ලා සිටින විට ඒවා එයාලට දීලා දමනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරායේ සිට කොළඹ වරාය දක්වා ‘විශේෂ ආර්ථික පටියක්’ හදන්නත් එම වාර්තාවේ යෝජනා කර තිබෙනවා. දිස්ත්‍රික්ක 07ක් හරහා යන ‘ආර්ථික පටිය’ නිසා වෙනම දේශසීමාවක් ලකුණු වෙනවා. මේ ආර්ථික පටිය තුළ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු නීතියයි. මේ ආර්ථික පටියේ ආයෝජනය කරන්නේ කුමන රටවල් ද කියා තීරණය කරන්නේ ඇමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මිස ශ්‍රී ලංකාවේ රජය නොවෙයි.

අද වන විට මේ රට ලෝක බලවතුන්ගේ කෙළිමඩලක් බවට පත්වී අවසන්. ජනතා විමුක්ති පෙරමුණේ ‘යටත්විජිත හේරත්ලාටත්’ වඩා කැක්කුමකින් එදා බටහිර රටවල තානාපතිවරු රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම නැති වුණු වෙලේ දැඟලුවේ ඒකයි. එයාලා කිව්වේ, රනිල් වික්‍රමසිංහට අගමැතිකම නැති වුණොත් ප්‍රජාතන්ත්‍රවාදය නැමති බබා ගබ්සා වෙනවා’ කියලයි. ‘මේ අය පුදුම විදියේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විලිරුදාවකින් දැඟලුවේ ඇයි ?’ කියා දැන් ඔබට වැටහෙනවා ඇති. මේ අය කියනවා ‘රනිල් අගමැති පුටුවේ හිටියොත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා’ කියා.

‘වශී බෝලය ගිල්වලා ද?’

‘යටත්විජිත හේරත්ලාගේ’ ඒ වැඬේ ගැන කියනකොට මට මතක් වුණා, ජවිපෙ නායකයන් අපේ හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාව හමුවීම. ඒ හමුවීමෙන් පස්සේ නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර මහත්තයා කියලා තිබුණා, ‘මේ විමල්, ගම්මන්පිල, මහින්දානන්ද ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිරූපය වනසනවා’ කියලා. අනුර දිසානායක මහත්තයා ඉස්සර කීවේ ‘මහින්ද රාජපක්ෂ අතේ වශී බෝලයක් තියෙනවා’ කියලයි. මට නම් පෙනෙන්නේ ‘මහින්ද රාජපක්ෂ මැතිතුමා ජවිපෙ නායකයන්ට මේ වශී බෝලය පෙන්වලා නොවෙයි ගිල්වලා’ කියලයි. පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට බොරු අවලාද ගහමින් එතුමාගේ ප්‍රතිරූපය වැනසීමට කටයුතු කරපු ජවිපෙ නායකයන්ගේ කටින්ම දැන් එතුමාගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම ගැන කතා කරවා ගැනීමට හැකි වීම කොතරම් හොඳ වැඩක් ද? දැන් ඔවුන්ව බලෙන් දිට්ඨධම්මවේදනීය කර්මයට ඇතුළත් කරගෙන තිබෙනවා. දැන් ජවිපෙ වද වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිරූපය ගැන.

‘අප ඉදිරියේ ඇත්තේ ජාතික සටනක්’

එක්සත් ජාතික පක්ෂය ඇතුළු මේ ආණ්ඩුව තුළ ඉන්න දේශපාලන කල්ලි මේ රට නැවත ගොඩනැගීමට බැරි වළකට ඇද දමලා ඉවරයි. කළු සල්ලි රටට ගෙන ඒමට අණපනත් හදලා ඉවරයි. ස්වදේශිකයාගේ ඉඩම් ටික විදේශ ආයෝජකයන්ට කොල්ලකෑමට හැකි පරිදි ඉඩම් නීති හදලා ඉවරයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරපු යෝජනාවලිය අනුව රණවිරුවන් දංගෙඩියට යවන නීති හදලා ඉවරයි. මේ රටේ ජාතික ආරක්ෂාව බිඳවට්ටලා ඉවරයි. ඒ නිසා අප ඉදිරිපිට ඇත්තේ නිකම්ම නිකම් සටනක් නොවෙයි, මේ සියල්ල නතර කිරීම සඳහා වූ ජාතික සටනක්.

‘නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා’

වනාතවිල්ලුවෙන් භයානක අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය හමු වෙනවා. උතුරේ කල්ලි කණ්ඩායම් කපා කොටා මිනි මරනවා. ඛණිජ සම්පත් ආරක්‍ෂා කරන්න ගිය රජයේ නිලධාරීන්ට පහර දෙනවා. මේ සියල්ලටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. දැන් මේ උතුරු – නැ`ගෙනහිර අන්තවාදී කල්ලිවලට හිතෙන හිතෙන විදියට කටයුතු කිරීමට ඉඩ දී තිබෙනවා. ඒ නිසා මේ රටට යළි සුරක්ෂිතභාවය, විනය වේගවත් ආර්ථික සමෘද්ධිමත්භාවය අවශ්‍යයි.

‘කරපු කෙංගෙඩියක් නැහැ’

මහින්ද රාජපක්‍ෂ මැතිතුමා යුද්ධය කරන ගමන් ආර්ථික යුද්ධයකුත් කළා. එදා ලෝක වෙළඳ පොලේ තෙල් මිල රොකට්ටුවක වේගයෙන් ඉහළ යන විට එතුමා ඒ බර ජනතාව මත පැටවූයේ නැහැ. එතුමන් 2005-2015 දස වසර තුළ ‘අතමිට හිඟ නැති – ආර්ථිකමය වශයෙන් සුරක්‍ෂිත – රැකියා අවස්ථාවන් බහුල සමාජයක්’ ගොඩනැගීමට සමත් වුණා. ඒ දස වසර තුළ මහින්ද රාජපක්ෂ පාලනය සංවර්ධන කටයුතු සඳහා ගත්තු ණය මුදලට වැඩි ණය මුදලක් ගෙවී ගිය අවුරුදු 04 තුළ රනිල් වික්‍රමසිංහ පාලනය අරන් තිබෙනවා. නමුත් ස්වදේශික ජනතාවගේ ආර්ථික අභිවෘද්ධිය සඳහා එමගින් කළ ‘කෙංගෙඩියක්’ නැහැ.

‘ජාතික මැතිවරණ’

ජනතාවගේ ජීවිතවල අවුරුදු 04ක් මේ ආණ්ඩුව නාස්ති කළා. ඒ අවුරුදු 4 තුළ මේ රට ජාත්‍යන්තර උගුල්වල හිර කළා. ඉදිරි ජනාධිපතිවරණයේ දී හෝ ඊට කලින් මහ මැතිවරණයක් ආවොත් එමගින් හෝ ලැබෙන පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. පළාත් සභා ඡන්දය නම් මේ ඉහත කී මැතිවරණ දෙකෙන්ම පසුව ලැබෙන බවයි පෙනෙන්නේ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු මේ මහා ජාතික බලවේගය ලෙස ඒ ලැබෙන කවර හෝ ජාතික මැතිවරණය, අපි විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරවන බවට මේ කන්ද උඩරට රාජධානියේ සිට සපථ කරමු.

‘ඔක්. 26 ගත්තු එඩිතර තීන්දුව’

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අගමැති පුටුවේ වාඩි වුණා. නමුත් ඒ ආණ්ඩුව දින 52කින් අවසන් වූවා. සමහරු කියනවා ‘ඒ සිදු වුණු වැඬේ අවුල්’ කියලා. නමුත් දින 52න් අගමැතිකම එතුමාට නැති වුණාට විපක්ෂ නායකකම ලැබුණා. ඒ වැඩෙත් සමඟ ජාතික ආණ්ඩුව නැති වුණා. රනිල් වික්‍රමසිංහට එතෙක් තිබූ 2/3ක බලය පමණක් නොවෙයි දැන් 113ත් නැහැ. 2/3 සහ 113 නැති කරපු නිසා තමයි මේ ආණ්ඩුව ගෙන ඒමට තිබූ රටට හතුරු අණපනත් ගණනාවක් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ සම්මතකර ගන්න බැරි වුණේ. දැන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිහින් ආණ්ඩුවේ නියෝජිතයා කියනවාලු ‘මහින්ද රාජපක්‍ෂ සිදු කරපු ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා අපි ඇමෙරිකානු යෝජනාවලිය අනුව සම්මත කිරීමට සිටි බොහෝ අණපනත් සම්මතර කර ගැනීමට බැරි වුණා’ කියලා. එහෙම කියන්න වීමට සැලැස්වීමත් මේ රටේ රණවිරුවන් හා රටට ආදරය කරන ජනතාව ලැබූ ජයග්‍රහණයක්. ඒ විතරක් නොවෙයි, අද අය – වැය සම්මතර කර ගන්න බැරිව රනිල් වික්‍රමසිංහට ඔළුව කහමින් ඉන්න වෙලා තිබෙන්නෙත් එදා ඔක්තෝබර් 26 ගත්තු ඒ එඩිතර තීන්දුව නිසයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/03/09

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *