“කරව්! නැත්නම් පලයව්!!” ; රටම බලමුළු ගැන්වූ දැවැන්ත මහජන සමුළුව….

උත්තර ලංකා සභාගය, ආණ්ඩුවට එරෙහිව “කරව්! නැත්නම් පලයව්!!” යන සටන් පාඨය යටතේ රටම බලමුළු ගන්වමින් සංවිධානය කළ දැවැන්ත මහජන සමුළුව අද(19) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම දැවැන්ත මහජන සමුළුවේ අරමුණු පැහැදිලි කිරීම උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ මහතා විසින් සිදු කරන ලද අතර දමිල බසින් සමුළුව ඇමතීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වෘත්තීය සමිති නායක අම්මාන් නල්ලුසාමි මහතා සිදු කළේය.

මේ මොහොතේ ආණ්ඩුව විසින් ඉටු කළ යුතු මූලික වගකීම් ලෙස උත්තර ලංකා සභාගය විසින් හඳුනාගත් “විදේශ විනිමය කළු වෙළඳපළ පාලනය කිරීම සහ රුපියල ශක්තිමත් කිරීම; අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම; අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ජාලය පවත්වාගෙන යාම සහ මිල ස්ථායිතාව සහතික කිරීම;
දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම සහ ආරක්ෂා කිරීම;
අත්‍යවශ්‍ය ආනයන වියදම් සඳහා විදේශ විනිමය ලැබීම් සහතික කිරීම;
කුඩා නිෂ්පාදකයා සහ රැකියා වියුක්ත සහ අර්ධ රැකියා නියුක්ත තරුණ පරපුර ඇතුළු බහුතර ජනතාවට ආර්ථික ඉඩප්‍රස්ථා නිර්මාණය කිරීම මගින් ආර්ථික වර්ධනය අත්පත්කර ගැනීම සඳහා ආර්ථික මොඩලය තුළ පරිවර්තනයක් සිදුකිරීම; රටේ සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම; රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම; බදු බර අසාධාරණ ලෙස සහ අවිචාරවත් ලෙස ජනතාව මත පැටවීම වෙනුවට බදු අයකිරීමේ යාන්ත්‍රණවල ප්‍රතිඵලදායකත්වය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම; රාජ්‍ය පාලනයට අදාළව මහජන විශ්වාසය තහවුරු කිරීම මගින් අර්බුදයෙන් ගොඩඒම සඳහා මහජන සහාය ලබා ගැනීම සහ රාජ්‍යයේ ස්වෛරීත්වයට එරෙහිව දියත් වන බාහිර කුමන්ත්‍රණ පරාජය කිරීම; ඓMF වන්දනාව වෙනුවට වාණිජ ණය තොගය විකිණීම සඳහා මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීම; අර්බුදය මුවාවෙන් ජාතික සම්පත් කොල්ලයකට ඉඩ ලබා නොදීම;” යන කරුණු මුල් කොට ගත් දොළොස් වැදෑරුම් යෝජනාවලිය ජනගත කිරීම එම සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සිදු කළේය.

එසේම පුළුල් ජාතික පෙරමුණකට ඇරයුම් කෙරෙන යෝජනාවක් මෙම මහජන සමුළුවේදී ජනගත කෙරුණු අතර එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ උත්තර ලංකා සභාගයේ ජාතික විධායක කමිටු සාමාජික ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසිනි.

මෙම මහජන සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වූහ.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය,
2022-11-19

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *