තවත් සහරාන්ලා බිහිවීම වැළැක්වීමට වහාබ් අන්තවාදය මේ පොළොවෙන් අතුගා දැමිය යුතුයි. ඒ සඳහාම බිහි වූ ජනතා ව්‍යාපාරය වටා එක්රොක් වන්න”

තවත් සහරාන්ලා බිහිවීම වැළැක්වීමට වහාබ් අන්තවාදය මේ පොළොවෙන් අතුගා දැමිය යුතුයි. ඒ සඳහාම බිහි වූ ජනතා ව්‍යාපාරය වටා එක්රොක් වන්න”

– විමල්ගෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජයන්ට විවෘත ඇරයුමක්

කාත්තන්කුඩිවලට යන විට අපට පෙනෙන රට ඉඳි ගස්, අරාබි ඇඳුම් පැලැඳුම්, අරාබි ගෘහ නිර්මාණ හා මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා යන මේ සියල්ල වහාබ් අන්තවාදයේත් අරාබිකරණයේත් ප්‍රතිඵල බවත් ‘තවත් සහරාන්ලා’ බිහිවීම වැළැක්වීමට නම්, ‘සහරාන්ලාගෙන්’ මුස්ලිම් ජන සමාජය බේරා ගැනීමට නම් වහාබ් අන්තවාදය මේ පොළොවෙන් අතුගා දැමිය යුතු බවත් ඒ සඳහා ‘වහාබි අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය’ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ කැඳවුම්කාරීත්වයෙන් බිහි කළ බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද (28) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් ශාලාවේදී පැවැති ‘වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ’ ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

“පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව මුළු රටම සලිත වූවා වූවා. වික්ෂිප්තභාවයට පත් වූවා. සිංහල ජනතාව පක්‍ෂ, පාට භේද අතහැර දමලා ‘මගේ රටට සිදු වන්නේ කුමක්ද?’ කියා හිතන්න පටන් ගත්තා. දෙමළ ජනතාව ඔවුන්ට එතෙක් පොවනු ලැබූ ‘සිංහල විරෝධී කිරි’ පසෙක දමා ‘බෙදී සිටියොත් අපේ රටට, ජාතියට කුමක් වේද?’ කියා හිතන්න වුණා. ඒ වගේම මුස්ලිම් සාමකාමිත්වයට කැමති ජනතාව, ‘කුමක්ද මේ වුණේ? මෙහෙම ගියොත් අනාගතයේදී කුමක් සිදුවේද?’ කියා හිතන්න පටන් ගත්තා. අපි කවුරුත් අලුතින් හිතන්න උවමනා වාතාවරණයකට අවතීර්ණ වුණා. අපි කාටත් පැරණි සම්ප්‍රදායික සිතුවිලිවලින් මේ තත්වය තේරුම් ගැනීමට නොහැකි වුණා. ඒ නිසා ඉහත කී අකාරයට නව සිතුවිලි දහරාවක් හැමදෙනාගෙම සිත් තුළ බිහිවීමට පටන් ගත්තා. අපි දැන් ඉන්නේ ඒ අලුත් සිතුවිලි දහරාව උපදවනු ලැබූ රටක.

‘කළු ජූලිය තෙක් නොහැකි වූ දේ’

අපි දන්නවා, ‘මේ වගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් යම්කිසි රටක ඕපපාතිකව උපදවාලීමට බැහැ’ කියා. ඒ සඳහා යම්කිසි අන්තවාදී මතවාදයක් අවශ්‍යයි. ඒ මතවාදය කාලයක සිට හොඳින් පැල කළ යුතුයි. වේළුපිල්ලේ පිරබාහරන්ටත් එකවරම මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු නිර්මාණය කර ගැනීමට බැරි වුණා. 1983 කළු ජූලියෙන් පසුවයි ඔහුට ඒ හැකියාව ලැබුණේ. ජේ. ආර්. ජයවර්ධන නිර්මාණය කළ කළු ජූලියේ අශෝභන ජවනිකා දෙමළ ජන සමාජයට පෙන්වලා තමයි ඔහුට මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු නිර්මාණය කිරීමට හැකි වුණේ.

එහෙනම් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවා බිහිවන්නේ කෙසේද? ඔහු ඉල්ලන්නේ වෙනම රටක් ද? ඔහු මේ රටේ දේශපාලන තත්ත්‍රයෙන් ඉල්ලන ඉල්ලීම කුමක්ද? ඔහු මේ රටේ දේශපාලන තන්ත්‍රයෙන් ඉල්ලන ඉල්ලීම නම් අපි දන්නේ නැහැ. නමුත් ඔහු හිතාගෙන ඉන්නවා. ‘අපි අන්‍යාගමිකයන් මරාගෙන මැරුණොත් අපට අල්ලා දෙවියෝ ළඟට යෑමට පුළුවන්. එහිදී කන්‍යාවියන් 72ක් සමඟ සුරසැප විඳීමට අපට පුළුවන්’ කියා. මේ මෝඩ තකතීරු මතවාදයෙන් මරාගෙන මැරෙන මිනිසකු නිර්මාණය වූයේ කෙසේ ද? එවැන්නකු නිර්මාණය කිරීමේ මූලෝපාය අපි ලාංකේය ජන සමාජය ලෙස සොයා ගත යුතුව තිබුණා. ඒ මරාගෙන මැරෙන විසකුරු මනස නිර්මාණය කෙරෙන ප්‍රධානතම මූලෝපාය තමයි වහාබ් අන්තවාදය.

‘වහාබ් අන්තවාදය සහ අරාබිකරණය’

අරාබි රටවල් පවා දැන් අතහරිමින් සිටින ඇඳුම් පැලඳුම් රටාව දැන් මේ රටේ බලහත්කාරයෙන් පටවමින් තියෙනවා. අවුරුදු 18ට අඩු දැරියන් ඔවුනට තිබෙන මූලික අයිතිවාසිකම් පවා නොතකා හරිමින් මේ යටතේ විවාහ කර ගන්නවා. අරාබිකරණයට ලක් කිරීම සහ වහාබ් අන්තවාදය කියන්නේ දෙකක් නොවෙයි එකක්. කාත්තන්කුඩිවලට යන විට අපට පෙනෙන රට ඉඳි ගස්, අරාබි ඇඳුම් පැලඳුම්, අරාබි ගෘහ නිර්මාණ හා මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා යන මේ සියල්ල එකම ව්‍යාපෘතියක කොටස් ලෙසයි අප හඳුනාගත යුත්තේ.

‘වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය’

මහා බෞද්ධ සංස්කෘතිය තුළ එක මවකගේ දරුවන් සේ සාමකාමීව ජීවත් වුණු අපට මෙවැනි අප එකිනෙකා බේදභින්න කරන සීමා මායිම් කිසිසේත්ම අවශ්‍ය නැහැ. සාම්ප්‍රදායික ආසියානු ජන සමාජය තුළ වැඩුණු මුස්ලිම් ප්‍රජාව, සිංහල, දෙමළ අප සැමගෙන් ගලවා, ලාංකීය අනන්‍යතාවයෙන් ගලවා ලාංකේය ජන සමාජයට හතුරුව පෙළගස්සන මතවාදයක් ලෙසයි වහාබ්වාදය ක්‍රියාත්මක වන්නේ. එය සිංහල, දෙමළ ජන සමාජයට පමණක් නොවෙයි සාමකාමීව සිතන පතන මුස්ලිම් ජන සමාජයටත් බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසයි අපි සමස්ත ලාංකේය ජන සමාජය ඉන් ගලවා ගැනීම සඳහා ‘වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය’ නමින් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන්ගේ කැඳවුම්කාරීත්වයෙන් මෙම සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ.

‘තවත් සහරාන්ලා අපට එපා!’

තවත් සහරාන්ලා මුස්ලිම් ජන සමාජයට උවමනා ද? සහරාන්ලා බිහිවීම තුළ වඩාත් අපහසුතාවට පත් වන්නේ මුස්ලිම් ජන සමාජයයි. ඒ නිසා සිංහල, දෙමළ. මුස්ලිම් සියලු ජන ප්‍රජාවන් විදියට අපි යළි සහරාන්ලා බිහිවීමට ඉඩ නොදෙමු. සහරාන්ලා බිහිවීම වැළැක්වීමට නම් අපි වහාබ් අන්තවාදය පැරදවිය යුතුයි. සහරාන්ලා බිහි කරන ගර්භාෂය නැති කිරීමේ ව්‍යාපාරයක් විදියට තමයි මේ ‘වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය’ බිහිවන්නේ. මතක තබා ගන්න, මෙම ව්‍යාපාරය මුස්ලිම් ජන සමාජයට එරෙහි ව්‍යාපාරයක් නොවෙන බව. අපේ සතුරන් එය මුස්ලිම් ජන සමාජයට එරෙහි එකක් ලෙස ඉතා බාල, පටු ආකාරයට අර්ථ දක්වාවි. නමුත් ඒ බොරුවලට ගොදුරු වෙන්න එපා. සිංහල, දෙමළ, මුස්ලිම් අපට තවත් සහරාන්ලා එපා. අපි සියලුදෙනාට සාමකාමීව ජීවත් වීමට අවශ්‍යයි. අපේ සිංහල, දෙමළ, මුස්ලිම් දරු පැටව් එකට අත්වැල් බැඳගෙන ඉගෙන ගන්නවා බලන්න අපට උවමනායි.

‘ජූලි 04 නුගේගොඩට එන්න’

සහරාන්ලා බිහිවීම වළක්වන්න වහාබ් අන්තවාදය පැරදවිය යුතුයි. සහරාන්ලා බිහිවීම වළක්වන්න අරාබිකරණය නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි ජූලි 04 වැනිදා ‘වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය’ නුගේගොඩින් තම කටයුතු අරඹන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවනි, තවත් සහරාන්ලා බිහිවීම වැළැක්වීම සඳහා වහාබ් අන්තවාදයත් ඒහා බැඳුණු අරාබිකරණයත් පරදවමු. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න, වහාබ්වාදය පැරදවීමේ කොඩිය ඔබේ අතට ගන්න. ඒ සටන අරඹන්න ජූලි 04 වැනිදා සවස 3:00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයට එන්න”

මෙම මාධ්‍ය හමුව අමතා මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/06/28

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *