“මාර්තු 9 වැනිදාට, බැසිල්ලාගේ පොහොට්ටුව බිංදුවට වට්ටා මේ පරපුටු – අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්විය යුතුයි” -උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ

මාර්තු 9 වැනිදාට, මේ පරපුටු අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට අයිතියක් නොමැති බව පෙන්විය යුතුව ඇති බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම රට වලපල්ලට ඇදදැමූ බැසිල් රාජපක්ෂලාගේ ‘පොහොට්ටුව’ පළාත් පාලන මැතිවරණයේදී බිංදුවට වට්ටවා, පවුල් පාලනයේ ක්‍රියාන්විතය නතර කළ යුතු බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

ඊයේ(27) සවස කොළඹ කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ නිල තේමා පාඨය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වාදුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“මාර්තු 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ ඉතාම තීරණාත්මක අර්බුදයක ගොදුරක් බවට පත්ව සිටින අවස්ථාවක. ඒ ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ජාතික ලැයිස්තුවෙන් තනිවම ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රටේ පත්කළ ජනාධිපතිවරයා බවට පත්ව තිබෙනවා. ඒ පත්කළ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් එකට එකතුවෙලා ‘මේ ආර්ථික අර්බුදයෙන් අපි රට ගොඩගන්නවා’ කියලා අපිට පෙන්වනවා.

ආර්ථික අර්බුදය පිළිසිඳ ගත් හැටි

අපි අද මුහුණ පා සිටින ආර්ථික අර්බුදය පිළිසිඳ ගත්තේ මූලික වශයෙන්ම යහපාලන ආණ්ඩු කාලය තුළයි. මේක අපි පමණක් කියන කාරණයක් නොවෙයි, ලෝකේ පුරෝගාමී ආර්ථික විද්‍යාඥයන් 182කගේ වාර්තාවක ද තිබෙන කාරණයක්. ඒ යහපාලන ආණ්ඩු කාලයේ තමයි ඩොලර් බිලියන 16කට වැඩි ජාත්‍යන්තර ණය ප්‍රමාණයක්, අධික පොලියට, වාණිජ ණය හැටියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර(ඓSඹ්) හරහා ලබා ගත්තේ. එතරම් විශාල මුදලක් ණය තොගයට එකතු වන විට කාටත් පෙනෙන්න ඕනේ, ‘අපි ඉන්නේ බරපතළ අර්බුදයක් ඉදිරිපිට’ කියා. ඒ නිසා තමයි මම කිව්වේ, ආර්ථික අර්බුදය නැමැති දරුවා පිළිසිඳ ගත්තේ යහපාලන අවුරුදු හතරහමාරේදී කියා. නමුත් ඒ පිළිසිඳ ගත්තු ‘ආර්ථික අර්බුදය නැමැති දරුවා’ ප්‍රසූත වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදීයි.

‘අන්ධයෙක් – කොරෙක්’

මම දුටුවා පසුගිය දිනවල පුවත්පත්වල ප්‍රවෘත්තියක් තිබුණා, පාසල් යන දියණියකට වැසිකිළියක් තුළදී දරුවකු ලැබීම පිළිබඳව. දියණිය පෙකනි වැල තනිව කපාගෙන. ඇයගේ අම්මා ඇවිත් බලලා තියෙන්නේ වැසිකිළිය ඇතුළෙන් දරුවකු හඬන ශබ්දය ඇහුණාමයි. ඒ අම්මා මාධ්‍යයට පවසනවා, ‘දුවට බබෙක් ලැබෙන්න හිටිය බවක් මම නම් දන්නේ නැහැ’ කියලා. අපූරු අම්මා කෙනෙක්. ඒ අම්මා වගේ තමයි ගෝඨාභය රාජපක්ෂත්. ආර්ථික අර්බුදය පිළිසිඳ ගෙන ඒක දවසින් දවස මෝරනවා. ඒත් ‘ප්‍රශ්නයක් නැහැ’ කියාගෙන ඉන්නවා. පී. බී. ජයසුන්දරලා වැනි ආර්ථික ඝාතකයන් කිසිම සත්‍ය තත්ත්වයක් නොපෙන්වා ඔහුව ‘අන්ධයෙක් – කොරෙක්’ වගේ ඇදගෙන ගියා. ඒ නිසා මේ අර්බුදයට මේ දෙපාර්ශ්වයේම තියුණු බලපෑමක් තිබෙනවා.

“තනතුරු – අනතුරු” ගැන නොසිතා කටයුතු කළා

මහින්ද රාජපක්ෂ පාලනය ගෙන ඒමටත්, ‘යහපාලන’ පාලනය ගෙන ඒමට වක්‍රවත් ජනතා විමුක්ති පෙරමුණ හවුල් වුණා. ගෝඨාභය රාජපක්ෂ පාලනය ගෙන ඒමට අපි හවුල් වුණා. එසේ හවුල් වුණත් 69 ලක්ෂයේ ජනවරමට පටහැනිව යන සෑම අවස්ථාවකදීම තනතුරුවලට අනතුරක් වෙයි කියලා චකිතයෙන් නොසිට සත්‍ය තත්ත්වය වෙනුවෙන් අපි කතා කළා, පෙනී සිටියා. ඒ නිසයි අපට අද සදාචාරාත්මක අයිතියක් තිබෙන්නේ මේ රටේ දේශපාලනයේ ඊළඟ පරිච්ඡේදය අලුතින් නිර්මාණය කරන්න ඕන කරන මගපෙන්වීම සපයන්න.

චෞර රැල සහ අර්බුදය

දැන් වෙනත් බාහිර රටවල් බලනවා මේ අර්බුදය තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගන්න. ආණ්ඩුව බලනවා, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ අර්බුදය යොදා ගන්න, විවිධ පාර්ශ්ව බලනවා මේ අර්බුදය තමන්ගේ උපායමාර්ගික සැලසුම්වලට අනුව යොදාගන්න. ඒ අනුව තමයි ආණ්ඩුව බලන්නේ මෙතෙක් කලක් විකුණා ගැනීමට නොහැකි වූ සියලු රාජ්‍ය සම්පත් සහ ජාතික සම්පත් කුණුකොල්ලයට විකුණා දමා කීයක් හෝ කඩාවඩා ගන්න. පෞද්ගලීකරණය කියන්නේ අතමිට සරු වන ව්‍යාපාරයක්. ආණ්ඩුව බලනවා දැන් ඒක කරන්න. අපි හොඳටම දන්නවා, බලශක්ති අමාත්‍යාංශය නැව උවමනාවෙන්ම මුහුදේ තබලා ප්‍රමාද ගාස්තුව ගෙවන බව. ප්‍රමාද ගාස්තුවෙන් 60%ක් ගොඩබිමට; 40%ක් නැවට. මේ තමයි මේ පිරිස අර්බුදය පාවිච්චි කරන විදිහ. මෙවැනි චෞර රැලකට මෙවැනි අර්බුදයක් පාවිච්චි කිරීමට ඉඩ දී බලා සිටීම වැරදියි.

‘පොහොට්ටුව බිංදුවට’

ඒ නිසා තමයි ආණ්ඩුව විවිධ උත්සාහයන් දැරුවත් නොවැළැක්විය හැකි ලෙස මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණයේදී ‘මේ පරපුටු, අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නැහැ’ කියලා පෙන්විය යුත්තේ. එම ඡන්දයේදී අපි අනිවාර්යයෙන් කළ යුතු දේවල් දෙකක් තිබෙනවා. එකක් තමයි පොහොට්ටුව බිංදුවට වට්ටන එක, අනෙක පවුල් පාලනයේ ක්‍රියාන්විතය එතැනින්ම නතර කරන එක. අදටත් පොහොට්ටුව මෙහෙයවමින් සිටින බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ එක්රැස් කරගෙන තිබෙන දේපළ ලැයිස්තුව අපි මේ රටට ඉදිරියේදී හෙළිදරව්
කරන බවත් මේ මොහොතේ දී කියන්න ඕනේ.

‘ජවිපෙට අද විජේවීර පවුලේ ඡන්දවත් නැහැ’

ඒ වගේම මේ අර්බුදය හින්දා මේ රටේ මෙතෙක් කලක් අත්හදා නොබලපු සමහරු අත්හදා බලන්න මේ ඡන්දයේදී යමකු පෙළඹෙන්න පුළුවන්. අත්හදා බැලුවාට කමක් නැහැ, එය ඉතා භයානක ප්‍රතිවිපාක ගෙන දෙන අත්හදා බැලීමක් නොවෙයි නම්. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාස කතාව මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ජාතික ජන බලවේගය විදියට අද එකතු වෙලා ඉන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ‘එක එක ජාතියේ’ උදවිය. ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන ප්‍රතිපත්ති අද පැත්තකට විසි කරලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ බිරිඳවත් දරුවන්වත් අද තිබෙන ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ නැහැ.

සජිත් ප්‍රේමදාසටත් බැහැ

ඒ වගේම සජිත් ප්‍රේමදාසට බැහැ, මේ තත්ත්වයට ප්‍රශස්ත මැදිහත්වීමක් කරන්න. ඔහුට පුළුවන් ඔහුගේ තාත්තා කළා වගේ මොනවා හරි බෙදමින් රට වටේ යන්නයි. බඩු බෙදමින් යන දේශපාලනයට අද මේ රට ගොඩදැමීමට බැහැ. ඒ නිසා අද මේ රටට ඕනේ ගැඹුරු කියැවීමක් සහිත, මහජනයා සමඟ අත්වැල් බැඳගත්, මේ අර්බුදයෙන් මෙරට වැළලෙන්න නොදී රැකගෙන ඉදිරියට ගෙන යන්න පුළුවන් ප්‍රශස්ත දේශපාලන සන්ධානයක්. එම සන්ධානය තමයි නිදහස් ජනතා සන්ධානය ලෙස බිහිව තිබෙන්නේ. තාමත් මේ සන්ධානය බිහිවෙලා දින 17යි. අපි ඉදිරියේදී පළාත් පාලන මැතිවරණ මහා රැලි මාලාව අරඹනවා. අපේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වූ ප්‍රාදේශීය රැස්වීම් මාලාව ද සූදානම්. ඒ සියල්ල අපි සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා. නිදහස් ජනතා සන්ධානය ඉදිරියට යන්නේ සතුරු බලවේග සියල්ලේ බාධක මැදින්. ඒ බාධක සියල්ලට මැනවින් මුහුණ දෙමින් නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මැතිතුමා අවශ්‍ය කරන පුරෝගාමී මැදිහත්වීම සිදු කරමින් සිටින බව මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කරනවා.

මාර්තු 9 සිට අලුත් පරිච්ඡේදයක් අරඹමු!

අපි සියලුදෙනාම එකට එකතු වෙලා කඩිනමින් මේ සන්ධානය හැදුවේ, මාර්තු 09 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාස කතාවේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නයි. ඒ වගේම හොරකමින්, නාස්තියෙන් තොර, විරැකියාවෙන් පීඩා විඳින දරුවන්ට රැකියා ලබාදෙන, මේ රටේ යම් බිඳවැටීමකට ලක්ව තිබෙන නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය නඟාසිටුවන අලුත් පරිච්ඡේදය ආරම්භ වන්නේ නිදහස් ජනතා සන්ධානය මතින් පමණයි කියන එක අවධාරණය කරනවා. ඒ නිසා ‘හෙලිකොප්ටරය’ සමග එකට එකතු වෙලා මේ නව බලාපොරොත්තුව සඵල කිරීමට රොද බැඳ ගන්න කියා ජනතාවට ඇරයුම් කරනවා.”
සිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ “ආර්ථික අර්බුදයෙන්, අධ්‍යාපනයේ බිඳවැටීමෙන්, සෞඛ්‍ය පිරිහීමෙන්, සමාජ විෂමතාවෙන්, පාරිසරික විනාශයෙන්, පවුල් පාලනයෙන්, දූෂණයෙන්, වංචාවෙන්, මත් උවදුරෙන්, නාස්තියෙන්, අකාර්යක්ෂම පරිපාලනයෙන්, චෞර වළල්ලෙන් හා දූෂිත රාජ්‍ය පාලනයෙන් නිදහස් වෙමු!” යන පුළුල් පරාසයකින් යුතු පළාත් පාලන මැතිවරණ නිල තේමා පාඨය දෙස් විදෙස් ජනමාධ්‍ය හමුවේ ජනගත කිරීමට නිදහස් ජනතා සනසන්ධානය ඊයේ(27) සවස කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී කටයුතු කරනු ලැබීය.

ග්‍රාමීය සහ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට, පළාත් පාලන ආයතනවලට තේරී පත්වන සභිකයන්ගේ වගකීම් කාර්යක්ෂම අයුරින් ඉටු කිරීමට සහ දූෂණයෙන් නිදහස් පරිසරයක් ඇති කිරීමට ඉවහල් වන ප්‍රතිපත්ති මාලාවක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බව නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව පවසයි. ඒ අනුව ප්‍රාදේශීය බුද්ධි මණ්ඩල ඇති කිරීම, ප්‍රාදේශීය විනය විමර්ශන කමිටු පිහිටුවීම, ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වා දීම, ප්‍රාදේශීය වගා සංග්‍රාමයක් ඇරඹීම, ප්‍රාදේශීය සමාජ සුබසාධන වැඩපිළිවෙළක් ඇරඹීම, ප්‍රාදේශීය සංස්කෘතික, කලා වැඩසටහන් ප්‍රවර්ධනය, ප්‍රාදේශීය ඩිජිටල්කරණය සහ ප්‍රාදේශීය ප්‍රජාමූල විශෝධන වැඩපිළිවෙළක් හඳුන්වාදීම එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත ය.

එසේම මෙම නිල තේමා පාඨය ජනතාව ඉදිරියේ තබමින් එමගින් අවධාරණය කෙරෙන අභියෝගය ජය ගැනීමට මෙවර පළාත් පාලන මැතිවරණ ඇරඹුමේ සිටම එක්ව සටන් වැදීමට මෙරට ප්‍රගතිශීලී, වාමවාදී, ජාතිකවාදී සියලු ජනකොටස් වෙත ඇරයුම් කරන බව නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව මෙහිදී පැවසූහ. මෙම අවස්ථාවේදී නිදහස් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් එළිදැක්වීම ද සිදුවිය.

ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පිරිස්, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා යන නිදහස් ජනතා සන්ධානයේ විධායක සභිකවරු ද මෙහිදී කෙටි දෙසුම් පැවැත්වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-01-28

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *