මේ ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකයයි’ “නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය අපි ඉදිරියේ පවතිනවා. ඒ අභියෝගය ඉතා සතුටින් භාර ගන්නවා” – ජානිපෙ නායක, විමල් වීරවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකය’ බවත් නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවෙහි සියලුදෙනා හමුවෙහි පවතින බවත් එම අභියෝගය තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනා ඉතා සතුටින් භාර ගන්නා බවත් එම පෙරමුණෙහි නායක විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ ලබා ඇති අතිවිශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා. ඉන්පසු එතුමන් ජනවාරි 09 වැනිදා, පාන්දරම අරලියගහ මන්දිරයෙන් කාල්ටන් නිවස බලා පිටත් වුණා. ඒ දර්ශන පෙළ දැකලා බොහෝ හදවත් කම්පාවට පත්වුණා. අපට පුළුවන් වුණා ඒ කම්පාවට පත් වුණු හදවත් තුළ ගැබ්ව තිබූ උවමනාව දේශපාලන බලවේගයක් බවට පත් කරන්න.

‘අපේ පුරෝගාමී මෙහෙවර’

ඒ අනුව තමයි 2015 පෙබරවාරි 18 වැනිදා ‘මහින්ද සුළඟ’ නුගේගොඩින් ඇරඹුණේ. එසේ ඇරඹුණු මහා ජන ක්‍රියාන්විතය අද ඉතා විශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයක් ලබා දීම තෙක් පෙරට ඇවිත් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂයන් ජනාධිපති ධුරයට පත් කරමින්, ඉන් නොනැවතී එතුමන්ට 2/3ක බලයක් සහිත පාර්ලිමේන්තු කණ්ඩායමක් ලබා දීමට සමත් වූ ඒ මහා ජන ක්‍රියාන්විතයට පුරෝගාමියකු ලෙස දායක වීමට ලැබීම මා සහ අප පක්‍ෂය ලැබූ ඉතා ඉහළ භාග්‍යයක් ලෙස සලකනවා.

මේ රටේ ඉතිහාසය පුරාම ජනාධිපතිවරණකින් පසුව පැවති මහ මැතිවරණයකදී ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආණ්ඩු බලය හිමි වන දේශපාලන පක්‍ෂයට ලැබී නැහැ. මේ තමයි එවැනි තත්වයක් නිර්මාණය වූ පළමු අවස්ථාව. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් කෙරෙහි තැබූ විශ්වාසයටත් වඩා වැඩි විශ්වාසයකින් මෙවර මහා මැතිවරණයේදී 60%කට වැඩි ඡන්දදායකයන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සම්මාදම් වෙලා තිබෙනවා. කොරෝනා වසංගත තත්වය යටතේ ආරක්‍ෂිත මනසකට නොයා, ඡන්දපොළට ඇවිත් මේ පිරිස තම යුතුකම ඉටු කරලීම නිසා මේ ජයග්‍රහණය තව තවත් සුවිශේෂී වෙනවා. ඒ වගේම වෙනම තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අයත් අපේ කඳවුරේ දේශපාලන පක්‍ෂ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද සමගින් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට සවියක් විය හැකි මන්ත්‍රී ධුර 151කින් යුත් කණ්ඩායමක් මේ රටේ ජනතාව ආණ්ඩුවට ලබා දී තිබෙනවා.

‘එජාප – ජවිපෙ ඉරණම’

ඒ ජනතා තීන්දුව තුළ ඇත්තේ අප දේශපාලන කඳවුර කෙරෙහි තැබූ ඉතා ඉහළ විශ්වාසයයි. ඒ තුළ ‘ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් පවතින ක්‍රමය වඩා යහපත් අතට වෙනස් කරාවි’ කියන විශ්වාසය ගැබ් වූ ජනතා බලාපොරොත්තුවක් සැඟව තිබෙනවා. ඒ වගේම අපේ ප්‍රතිවාදීන් ලෙස බැලුවහොත් එක්සත් ජාතික පක්‍ෂය සොහොන් කොත කරාම රැගෙන ගොස් තිබෙනවා. මෙම මැතිවරණයෙන්. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 03කට අසරණ කොට තිබෙනවා. එමගින් පෙනී යන්නේ පසුගිය මාස 07-08 තුළ ගෝඨාභය රාජපක්‍ෂ පාලනයට එරෙහිව ගොඩනඟන ලද ප්‍රවාද මේ රටේ ජනතාව ‘තඹ දොයිතුවකට’ මායිම් කර නැති බවයි.

‘උතුරින් ලැබුණු පණිවිඩය’

මෙසේ ජනතාව තබා ඇති විශ්වාසය ආරක්‍ෂා කර ගැනීමට ඊට අවශ්‍ය නිසි ගෞරවය ලබා දීමට අප සමත් විය යුතුයි. එසේම මෙම තත්වය වැඩි දියුණු කර ගැනීම අපි ඉදිරියේ තිබෙන අභියෝගයයි. ඒ නිසා අපි ඒ වගකීම සෑම විටම හිසෙහි දරාගෙන වැඩ කළ යුතුයි. ඒ වගේම ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් විශේෂයෙන් උතුරේදී දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාව සැලකිය යුතු ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. එමගින් උතුරේ දෙමළ ජනතාව පෙන්වා තිබෙනවා,‘අපට තිබෙන්නේ ෆෙඩරල් පාලනයක් පිළිබඳ දොළ දුකක් නොවෙයි, එදිනෙදා ජීවිතයේ අභියෝග ජය ගැනීමේ උවමනාවක්’ කියා. ඒ නිසයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි පක්‍ෂයකටත් යාපනයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගත හැකි වූයේ.

සාම්ප්‍රදායික ජනමතය වෙනුවට මෙමගින් නව ජනමතයක් නිරූපනය වෙනවා. ඒ නිසා මේ නව ජනමතය නිසි පරිදි කියවා ගෙන, එහි අර්ථය නිවැරදිව වටහා ගෙන එම ජනමතයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය අපි සියලුදෙනා ඉදිරියේ පවතිනවා. අපි ඒ අභියෝගය ඉතා සතුටින් බාර ගන්නවා. ජාතික නිදහස් පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 06ක් ලැබී තිබෙනවා. ඉදිරියේදී අපි සියලුදෙනාම ඉතාම ඉහළ වගකීමකින් මේ ජනවරමේ අර්ථය හා වටිනාකම වැඩි කරන ආකාරයට කටයුතු කරන බව මේ රටේ ජනතාවට සපථ කරනවා.

මේ ආරම්භ වන්නේ ‘ගෝඨාභය දශකය’යි. මේ රට ගොඩනඟන එම දශකය තුළ ඉතාම පුරෝගාමී වැඩ කොටසක් ඉටු කිරීමට අපි සැදී පැහැදී සිටිනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2020-08-09

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *