“වහාබ්වාදී අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දෙමින් මහනායකහිමිවරුන්ගේ අනුශාසනාවන්ට වැට බඳින – මාධ්‍යවේදීන්ගේ පෑනට විලංගු දමන මේ තකතීරු පාලනයට එරෙහිව ප්‍රහාරාත්මකව – සාමකාමීව විරෝධය දැක්වීමට පෙරට එන්න”

“වහාබ්වාදී අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දෙමින් මහනායකහිමිවරුන්ගේ අනුශාසනාවන්ට වැට බඳින – මාධ්‍යවේදීන්ගේ පෑනට විලංගු දමන මේ තකතීරු පාලනයට එරෙහිව ප්‍රහාරාත්මකව – සාමකාමීව විරෝධය දැක්වීමට පෙරට එන්න”

– ජානිපෙ නායක විමල් වීරවංශ

මහනාහිමිවරුන්ට එරෙහිව පොලිස් පැමිණිලි කරවා උන්වහන්සේලාගේ අනුශාසනාවන්ට වැට බඳින අතරතුර වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කරන මාධ්‍යවේදීන්ගේ පෑනට විලංගු දමන මේ තකතීරු පාලනයට එරෙහිව ප්‍රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන ලෙස ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (26) ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

“පාක්‍යසෝති සරවනමුත්තු නැමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා, ‘ජාතිවාදී ගිනි ඇවිලවීමට තැත් කළා’ යන පදනම යටතේ. උතුරු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ සී. ඒ. විග්නේෂ්වරන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිවාජිලිංගම් පසුගිය වසර 04 පුරා සිංහල ජනතාව ප්‍රකෝපයට පත් කරන ජාතිවාදී ප්‍රකාශ දිගින් දිගටම සිදු කරනු අපට දැකගත හැකි වුණා. ඒ වගේම පසුගිය පාලන සමයේ අසාද් සාලි ඉන්දියාවේදී පවසා තිබුණා, ‘මුස්ලිම් තරුණයන්ට ළඟදීම අවි ආයුධ ගැනීමට සිදු වේවි’ කියා. මෙවැනි අන්‍ය ජනකොටස් ප්‍රකෝපකාරී කරවන, අගතියට පත්වන ප්‍රකාශ සිදු කළ අවස්ථාවල පාක්‍යසෝති සරවනමුත්තුගේ ‘එන්ජීඕ පඩුපුල් ආසනය’ උණු වන බවක් අප නම් දැක නැහැ. ඒ කිසිම අවස්ථාවක පාක්‍යසෝති සරවනමුත්තු පොලිස් පැමිණිලි ඉදිරිපත් කළ බවක් අපට වාර්තා වී නැහැ. මේ ජනතාව ප්‍රකෝපකාරී කරවන ප්‍රකාශ හමුවේ නිහඬව සිටි පාක්‍යසෝති සරවනමුත්තු ‘එන්ජීඕ බත්බැලයා’ අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශයත් සමඟ බලවත් ප්‍රතිචාර දැක්වීමට යනවා. මේ එන්ජීඕ බත්බැලයා සමඟ සමගාමීව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන දැන් වද වෙන්න පටන් අරන්.

‘බොරු පැමිණිලි’

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳ වචනයක් කතා නොකළ, කඳුළක් නොහෙළපු පිරිසක් තමයි අද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන කලබල වී ඇත්තේ. සාධාරණව සිතා, අන්‍ය ජනකොටසක් ප්‍රකෝපකාරී කරවන, ඔවුන් අගතියට පත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සෑම මොහොතකම ඊට ප්‍රතිචාර දැක්වීමක් මේ අය කර ඇත්තේ නැහැ. මේ අය තුළ ඇත්තේ බෞද්ධ භික්‍ෂුවකට ප්‍රහාරයක් එල්ල කිරීමට යම් තුරුම්පුවක් ලැබුණොත් එය යොදාගෙන උපරිම ප්‍රහාරයක් එල්ල කිරීමයි. එයයි මේ අයගේ ක්‍රියා පිළිවෙත. මේ අගතිදායී ක්‍රියා පිළිවෙත වටහා ගනිමින් මේ පාක්‍යසෝති සරවනමුත්තුලාගේ පැමිණිලි සත 05කට ගණන් ගත යුතු නැහැ. අනෙක් කරුණ තමයි පාක්‍යසෝති සරවනමුත්තු මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ අස්ගිරි මහා නාහිමි කළ ප්‍රකාශය විකෘති කර උපුටා දක්වමින්. පන්සලට පැමිණි උපාසක අම්මලා කිහිපදෙනෙක් ‘දොස්තර සාෆි වැනි අහස පොළොව නුහුලනා අපරාධ කළ අයකු ගල් ගසා මැරිය යුතුයි’ කියා කී කතාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් තමයි මහනාහිමියන් සිදු කරන්නේ. ඒ උපාසක අම්මලාත් ‘ගල් ගසා මැරිය යුතුයි’ කියන්නේ එසේ කළ යුතු නිසා නොවෙයි, ඉතා බරපතළ වරදක් සාෆි කළ බව මහනාහිමියන්ට කියන්නයි. මෙතැනදී මහනාහිමියන් හෝ ඒ උපාසක අම්මලා හෝ කිසිවකු ගල් ගසා මැරිය යුතුයි කියා පවසා නැහැ. අපේ රටේ නීතිය අනුව කිසිවකු ගල් ගසා මරන්නත් බැහැනේ. මේ රටේ ශරියා නීතිය ක්‍රියාත්මක කළා නම් ඒකත් වෙන්න තිබුණා. බෞද්ධ සංස්කෘතිය යටතේ ‘ගල් ගසා මැරීමක්’ ගැන අපට හිතන්නවත් බැහැනේ. නමුත් සාෆි කළ අපරාධයේ සැහැසිකම පෙන්වා දෙන්නයි මේ වචන යොදා ගෙන ඇත්තේ. එය ඉතා පැහැදිලියි.

‘අස්ගිරි මහනාහිමි මට්ටු කරන්න හදනවා’

එක්සත් ජාතික පක්‍ෂයේ රටට එරෙහි ක්‍රියා පිළිවෙත නිර්භයව පෙන්වා දුන් අස්ගිරි මහනාහිමියන්ට මේ විදියට පොලිස් පැමිණිලි ඉදිරිපත් කෙරෙන කොට මංගල සමරවීරලා කාදිනල්තුමන්ට එරෙහිව වතිකානුවට පැමිණිලි ඉදිරිපත් කරනවා. මේ සියල්ලම එකම කල්ලියක් විසින් මේ රටට එරෙහිව සිදු කරන ක්‍රියාවන් ලෙසයි වටහා ගත යුත්තේ. ‘අස්ගිරි මහනාහිමියන් සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථගන්වා පොලිස් පැමිණිලි කරන්නේ උන්වහන්සේ මට්ටු කරන්නද?’ කියා අපි දැන ගැනීමට කැමතියි. මේ පාක්‍යසෝති සරවනමුත්තුලා කියන්නේ 2015 ජනවාරි 08 බලපෙරළියට කර ගහපු අය. රට මෙවැනි උගුලකට ඇද දැමීමට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අය. මේ අයට ඕනෑ විදියට පොලීසිය ක්‍රියාත්මක වුවහොත් ඉතා බරපතළ තත්වයක් රට තුළ උද්ගත විය හැකියි.

‘රහස් පොලීසිය අපරාධකරුවන් බේරාගැනීමේ තිප්පොළක් කරලා’

දොස්තර සාෆි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගර්භාෂ යුද්ධයකින් සිදු කළ අපරාධයට අදාළව නොවෙයි. අයථා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙනුයි. එහෙත් ඔහුට එරෙහි රහස් පොලිස් පරීක්‍ෂණ සාධාරණ ලෙස සිදු නොවන බව පෙන්වා දීමට මා එක් උදාහරණයක් කියන්නම්. දොස්තර සාෆි මිලදී ගෙන ඇති ඉඩමක නීත්‍යනුකූල වටිනාකම ලෙස දක්වා ඇත්තේ ලක්‍ෂ 34ක්. ඒ ඉඩම දොස්තර සාෆිට විකුණු කෙනා පොලීසියට කට උත්තරයක් ලබා දෙනවා, ‘මම දොස්තර සාෆිට මේ ඉඩම විකුණුවේ කෝටි 03කට’ කියා. දැන් ඒ කටඋත්තරය දුන් කෙනා රහස් පොලීසියට කැඳවා එහි මහත්තුරු බලකරනවා ‘ඔයා ඒ කටඋත්තරය වෙනස් කරලා මේක සාෆිට වික්කේ ලක්‍ෂ 34ට කියා කියන්න’ කියලා. දැන් රහස් පොලීසිය රිෂාඞ් බදියුදීන් බේරාගන්න චරිත සහතික දෙනවා වගේ දොස්තර සාෆි නාවලා, පුයර දමන්න හදනවා. අපරාධකරුවන් බේරා ගැනීමට කටයුතු කරන තිප්පොළක් බවට අද මේ රටේ රහස් පොලීසිය පත් කරලා.

‘හේමන්ත රන්දුනු හිරේ දාන්න හදනවා’

දැන් ඒ අපරාධකරුවන් බේරාගන්නා තිප්පොළක් වුණු රහස් පොලීසියේ ඉන්නා මහත්තුරු ටික දොස්තර සාෆිගේ ගර්භාෂ යුද්ධය ගැන රටට අනාවරණය කළ හේමන්ත රන්දුනු නැමති මාධ්‍යවේදියා හිරේ දමන්න හදනවා. එක පැත්තකින් අස්ගිරි මහනායක හිමියන්ගේ අනුශාසනාවලට වැට බඳින්න යනවා. අනෙක් පැත්තෙන් වහාබ්වාදී අන්තවාදය ගැන ලියන්න බැරි විදියට මාධ්‍යවේදීන් හිරේ දාන්න යනවා. දොස්තර සාෆිට එරෙහි මව්වරුන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි 1000 ගැන කිසිදු පරීක්‍ෂණයක් නැහැ. ඒත් වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කළ මාධ්‍යවේදීන් නිහඬ කිරීමට හේමන්ත රන්දුනු හිරේ දමන්න හදනවා. මේ රාජ්‍යය අද වහාබ් අන්තවාදය පෝෂණය කරන රාජ්‍යයක් බවට පත් කරලා ඉවරයි. ‘මේ තත්වය දෙස නිසොල්මනේ බලා නොසිට ප්‍රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන්න’ කියා අපි මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනකොටස් වෙතින් ඉල්ලනවා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/06/26

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *