“වහාබ් අන්තවාදය පතුරවන සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගන්න”

“වහාබ් අන්තවාදය පතුරවන සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගන්න”

– ජානිපෙ නායක විමල් වීරවංශ

වහාබ් ඉස්ලාමීය අන්තවාදය පැතිර යාමට තුඩු දෙන සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගන්නා ලෙසත් එසේ නොමැතිව එම විසකුරු මතවාදයෙන් උපත ලබන මරාගෙන මැරෙන ත්‍රස්තවාදය පමණක් මැඩලීමෙන් මේ තියුණු අභියෝගය ජය ගැනීමට අපට ජාතියක් ලෙස නොහැකි වනු ඇති බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

අද (29) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“කොටි ත්‍රස්තවාදයට එරෙහි සටන පැවැති 30 වසරක කාලය තුළ පවා මුහුණ නොදුන් ඛේදනීය ඉරණමකට පාස්කු ඉරිදා මේ රටේ ජනතාව මුහුණ දුන්නා. වහාබ්වාදී ත්‍රස්ත ප්‍රහාර මෙරට කිතුණු ජනතාවට තම දේවස්ථානය අහිමි කර තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ පාලනය යුද බිය තුරන් කොට කිතුණු ජනතාවට මඩු පල්ලියට යාමට අවස්ථාව උදාකර දුන්නා. නමුත් මේ ආණ්ඩුව අද කිතුණු ජනතාවට තමන්ගේ ගේ ඉදිරිපිට පල්ලියට යාමේ අවස්ථාවත් අහිමිකර තිබෙනවා.

‘බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ ප්‍රතිවිපාක’

දැනට ලැබී ඇති තොරතුරු අනුව කිතුණුවාට පල්ලිය අහිමි කරනවා පමණක් නොවෙයි බෞද්ධයාට පන්සල අහිමි කරන තැනට මේ වහාබ් ඉස්ලාම් අන්තවාදය ගමන් කරමින් සිටිනවා. එළඹෙන මාසයේ වෙසක් කලාපයන් ජනශූන්‍ය තැන් බවට පත්වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා. වත්මන් පාලකයන් රටේ ජනතාව වැටී ඇති විපතේ ගැඹුරු හා දිග, පළල ගැන කිසිවක් නොසිතා තම සුපුරුදු පාලනය ගෙන යනවා. මේ රට අද මුහුණ දී තිබෙන්නේ, ප්‍රධාන වශයෙන් ගෙවී ගිය අවුරුදු හතරහමාර තුළ බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ ප්‍රතිවිපාකවලටයි, මේ රටේ ආරක්ෂක හමුදාවලට තම වගකීම ඉටු කිරීමට ඉඩ නොදීමේ ප්‍රතිවිපාකවලටයි.

‘රනිල්ට තිබුණු වැඬේ’

බුද්ධි අංශ, ආරක්ෂක මණ්ඩල සැසිවාරය 11කදී මේ වහාබ් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. ඒ සැසිවාර 11න් 09කට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා සහභාගී වී තිබෙනවා. මේ පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරපු හැම අවස්ථාවකදීම එතෙක් වෙලා නිදි කිරා වැටෙමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම ‘මට තව වැඩක් තිබෙනවා’ කියමින් ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබෙනවා. මේ වහාබ් ත්‍රස්තවාදීන්ගේ නම්, ගම් සහිතව බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරද්දි තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එසේ වාර 09කදී මගහැර ගොස් ඇත්තේ. එසේ මේ කරුණු නොසලකා හැරපු නායකයෝ තමයි අද මේ රට මෙවැනි ඉරණමකට ඇද දැම්මේ.

‘වහාබ් අන්තවාදය පතුරවන මද්‍රසා පාසල් – පීස් ටී.වී.’

අද පකිස්ථානයේ පවා වහාබ්වාදය මැඩලීමට පියවර ගනිමින් තිබෙනවා. ‘මද්‍රසා පාසල්’ පකිස්ථානයේ තහනම් කිරීමට නව අගමැති ඉම්රාන් ඛාන් මහතා පසුගියදා පියවර ගනු ලැබුවා. වහබ්වාදී අන්තවාදය පතුරුවාහරින ‘පීස් ටී.වී.’ නමැති සැටලයිට් රූපවාහිනී නාලිකාව තහනම් කිරීමට බංගලාදේශය කටයුතු කර තිබෙනවා. එහෙත් ඒ වහාබ්වාදය පතුරවන මෙවලම් දෙක ශ්‍රී ලංකාව තුළ අපූරුවට ක්‍රියාත්මක වෙනවා. ඇමතියකුට කීයක් හරි අතමිට මොලවපුවාම ඕනෑම ජරාවක් රට තුළ ක්‍රියාත්මක කරන්න අද පුළුවන් වෙලා තිබෙනවා. මද්‍රසා පාසල් සහ ඒවායේ ඉගැන්වීමට වීසා නොමැතිව එන පුද්ලයන් නතර කරන්න අද මේ රටේ පාලකයන් නැහැ. පීස් ටී.වී නාලිකාව තහනම් කරන්න අද මේ රටේ පාලකයන් නැහැ.

‘දවටගහ පල්ලියේ මවුලවිතුමාගේ කට කැපුවේ ඇයි?’

කොච්චිකඬේ දවටගහ පල්ලියේ මවුලවිතුමා පසුගිය සති අන්තයේ ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. ‘මේ වහාබ් අන්තවාදය පැතිරීමේ කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ශරීරය සම්පූර්ණයෙන් වැසෙන බුර්කාව. අනෙක තමයි මේ අන්තවාදය හා බැඳුණු කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදය සමගයි එන්නේ. පළමුව ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. ඒක අඳින්නට අපට නබිතුමාවත් කුරානයවත් උගන්වලා නැහැ’ කියා ඔහු එහිදී කියා තිබෙනවා. ඒ මවුලවිතුමා වැඩිදුරටත් කියනවා, ‘දැන් හැම පල්ලියකම බලය මේ අන්තවාදීන් අතට පත් වෙමින් තිබෙනවා. මේ රටේ අද උගන්වන්නේ ඉස්ලාම් අන්තවාදය හෙවත් වහාබ්වාදය. ඉතිං කොල්ලෝ මරාගෙන මැරෙන්න යනවා. ඉස්ලාම් දහම ප්‍රචණ්ඩත්වය උගන්වන දහමක් නොවෙයි. වහාබ්වාදයයි ප්‍රචණ්ඩත්වය උගන්වන්නේ.’ කියා. ඒ වගේම එතුමා කියනවා, ‘නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩිදෙනෙක් වහාබ්වාදයේ අනුගාමිකයෝ නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නැහැ. රිෂාඞ් බදුර්දීන්, රවුෆ් හකීම් වගේ ඇමතිවරුන් මොවුන් ආරක්ෂා කරනවා’ කියා. මේවා අපි නොවේ කියන්නේ කොච්චිකඬේ දවටගහ පල්ලියේ මවුලවිතුමන්. මේ මවුලවිතුමන් මක්කම ගිය අවස්ථාවක වහාබ් අන්තවාදීන් ඔහුගේ කට කපා තිබෙනවා. සැබෑ ඉස්ලාම් මතය දරන නිසයි දවටගහ පල්ලියේ මවුලවිතුමන්ට එවැනි සිදුවීමකකට මුහුණදීමට සිදුව ඇත්තේ. මේ පහත් ක්‍රියාව මක්කම වන්දනාවේ ගොස් සිටි අලෙවි මවුලානා මහතා ද දැක තිබෙනවා. එසේම එයට විරුද්ධ වී තිබෙනවා.

මේ මවුලවිතුමන් වැනි සැබෑ ඉස්ලාම් මතය දරන්නන් මේ වහාබ් අන්තවාදයට එරෙහිව පාරට ආවානම්, ඊට විරුද්ධව හඬ නැඟුවානම් අද මේ රට මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්නේ නැහැ. වහාබ් අන්තවාදී මතවාදය අද මුස්ලිම් තරුණයන් තුළ රජයමින් තිබෙන බව පෙනෙනවා. ඒ නිසා මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සල්ලිකාර පවුල්වලින් බිහිවන, උන්මත්තක වටපිටාවක් අද නිර්මාණය වී තිබෙනවා.

‘වහාබ්වාදය පතුරවන සියලු ක්‍රියාකාරකම් තහනම් කරනුෟ’

ඒ නිසා වහාබ්වාදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා මැඩලීම පමණක් නොවෙයි, ඔහුට උපත දෙන මේ විසකුරු, භයානක වහාබ්වාදී මතවාදය පතුරවන සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. එහෙම නැතුව මේ විසකුරු මතවාදය සමඟ හුරතල් වෙන ගමන් එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවෙන මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා ඉවර කිරීමෙන් පමණක් අපට ජාතියක් ලෙස මේ ඉරණමෙන් ගැලවෙන්න බැහැ.

‘ජරමර’ අස්සේ රනිල් ගෙනෙන ‘බරකරත්ත’

‘ජරමර අස්සේ බරකරත්ත’ කිව්වා වගේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ව්‍යසනය අතරතුර තමන්ට බටහිරින් ලබාදුන්නු තවත් කොන්ත්‍රාත් දෙක තුනක් ඉටු කරන්න හදනවා. ඒ අනුව තමයි ‘ප්‍රති – ත්‍රස්ත පනත කඩිනමින් ගේන්න ඕනෙ’ කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයෝ දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් තමයි අපි බිහිසුණු කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේ. ඒ නිසා කවර ත්‍රස්තවාදයක් වුව පරදන්න ඒ පනත හොඳටම ප්‍රමාණවත්. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනාපු, මංගල සමරවීර අත ඔසවපු යෝජනාවලියේ තමයි තිබෙන්නේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ප්‍රති – ත්‍රස්ත පනතක් ගෙන එන්න’ කියලා. ඒ භාර දීපු කොන්ත්‍රාත්තුව තමයි රනිල් වික්‍රමසිංහ මේ අස්සේ කරන්න හදන්නේ.

‘රනිල්ගේ තුප්පහි වැඬේ’

අපි පෙන්වා දෙන්න කැමතියි ඔය ‘ප්‍රති – ත්‍රස්ත පනතින් ත්‍රස්තවාදය මැඩලන්න බැහැ’ කියා. ‘යම් ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගත් වහාම ඒ බව මානව හිමිකම් කොමිසමට සහ ඔහුගේ ළඟම ඥාතියාට දැනුම් දෙන්න’ කියා තිබෙන්නේ ඔය ප්‍රති – ත්‍රස්ත පනතෙයි. ඒ නිසා ප්‍රති – ත්‍රස්ත පනතින් ත්‍රස්තවාදය මැඩලීම නොවෙයි ත්‍රස්තවාදියා රැක දෙන එකයි කරන්නේ. රනිල් වික්‍රමසිංහ කැහැපොට ගහන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමට බැරි පනතක් ගෙන ඒමටයි. අපි ජාතියක් ලෙස ඒ තුප්පහි ක්‍රියාවට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් පෙත්සම් අත්සන් කරනවා. ‘නීතිය හා සාමය අමාත්‍යාංශය එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයකුට දෙන්න’ කියා ඉල්ලනවා. දැන් රනිල් වික්‍රමසිංහට පොලීසිය පාලනය කරන්න බැහැ. පොලිස්පති පූජිත ජයසුන්දරට ‘ඉල්ලා අස්වෙන්න එපා’ කියන්නේ රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන අයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විධායක ජනාධිපතිවරයාට පොලිස්පතිවරයකු ඉවත් කිරීමට නීතිමය බලයක් නැහැ. පොලිස්පතිවරයා වගකීම් විරහිතව කටයුතු කරද්දි ඔහුව ඉවත් කරන්න රටේ නායකයාට බැරිනම් ඒ නායකකමින් ඇති වැඬේ කුමක් ද? මේ තමයි 19 වැනි සංශෝධනයෙන් කරපු අපරාධයේ තරම. එදා ජෝන් සෙනෙවිරත්න මහතා හැර ව්‍යවස්ථාදායක සභාවේ අනෙක් අයගේ ඡන්දයෙන් තමයි පූජිත ජයසුන්දර පොලිස්පති වුයේ. අද රනිල් වික්‍රමසිංහට පොලීසියට මැදිහත්වීමේ එකම යතුර තමයි මේ පූජිත ජයසුන්දර. රට මේ තරම් අර්බුදයකට ඇද වැටී ඇති මොහොතක අපි කියනවා පූජිත ජයසුන්දර මහතාට, “රටට විහිළු සපයන්නේ නැතිව කරුණාකර පොලිස්පතිකමින් ඉල්ලා අස්වෙන්න’ කියා.

‘රනිල්ගේ මුඛ්‍ය පරමාර්ථය’

මේ ජාතික ව්‍යසනය මැද්දේ සාගල රත්නායක ඇමතිවරයා ජපානයට යනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්න. ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එකෙන් අපට ඩොලර් මිලියන 480ක් දෙන්න එකඟ වුණා. ඒක කළු වලාවක තිබෙන රිදී ඉරක් වගේ’ කියා මංගල සමරවීර මුදල් ඇමතිවරයා කියනවා. කොළඹ වරායේ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන කි.මී. 200ක් දිග, අක්කර ලක්‍ෂ 12ක ඇමරිකන් නීතිය ක්‍රියාත්මක වන ආර්ථික කොරිඩෝවක් හදන්නයි මේ ඩොලර් මිලියන 480 දෙන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ මේ ජාතික ව්‍යසනය මැද්දේ තමන්ට බටහිරින් භාරදුන් කොන්ත්‍රාත් ටික ඉටු කර දීමයි.

මේ වගේ තක්කඩි, තකතීරු පාලකයන් පිරිසක් සමඟ මේ වගේ තියුණු අභියෝගයක් ජය ගැනීමට ජාතියකට පුළුවන් ද? ඒ නිසා අපි මේ රටට ආදරය කරන සියලු ජන කොටස් සමඟ ආණ්ඩුවට බලකොට සිටිනවා, ‘වහාබ්වාදී ත්‍රස්තවාදීන් අවසන් කරන අතරතුර වහාබ්වාදී විසකුරු මතවාදය ව්‍යාප්ත වීමට තුඩු දෙන සියලු ක්‍රියාකාරකම් තහනම් කරන්න. වහාබ්වාදී සංවිධාන සියල්ල තහනම් කරන්න. වහාබ්වාදය පතුරවන පාසල් පද්ධතිය තහනම් කරන්න. මඩකලපුවේ හැදෙන වහාබ්වාදී විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න. වහාබ්වාදය වැඩෙන ඇඳුම් ඇඳීමේ ප්‍රවණතාව නතර කරන්න. අවසන් වශයෙන් වහාබ් ත්‍රස්තවාදය මැඩලන්න ආරක්‍ෂක හමුදා ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කරන්න’කියා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිට අද පොලිස්පති ඉවත්කර ගන්න බැහැ. කොහොමද ජවිපෙ ගෙනා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා නම්. එහෙම නම් මුළුමහත් බලය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතේ. නව ව්‍යවස්ථාවක් සම්මත කළා නම් නැගෙනහිර ත්‍රස්තවාදය මැඩලීමට පළාත් පොලීසියට දෙන්න වෙනවා. එතකොට නැඟෙනහිර පළාත් පොලීසියට අණ දෙන්නේ කවුද? මහ ඇමති. ඒ නිසා ජනාධිපතිවරයා අද රට අස්ථාවර කරන පියවරවලට නොගිහින් රට ස්ථාවර කරන පියවර ගත යුතුයි.

ඒ වගේම ‘සංචාරක ව්‍යාපාරයේ ආයෝජකයන් හා ව්‍යවසායකයන්ට ඇතිව තිබෙන තත්වය මත සහන ලබා දෙන්න, රටේ ජනතාව මුහුණ පා ඇති ජීවනෝපාය පිළිබඳ ගැටළුවලට විසඳුම් දෙන්න’ කියා ආණ්ඩුවට බලකර සිටිනවා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/04/29

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *