“සල්ලි නැහැ” කියමින් තවදුරටත් වංචා නොකර මහජන මතය ප්‍රකාශ කිරීමේ “සාමකාමී මාවත” වහාම විවර කරන්න – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ ආණ්ඩුවට අවධාරණය කරයි

රුපියල් මිලියන 1100ක හෙවත් බිලියන 1.1ක වැය බරකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර ඇති බවත් ඒ නිසා තවදුරටත් ‘සල්ලි නැහැ’ කියමින් වංචා නොකර, මහජන මතය ප්‍රකාශ කිරීමේ ‘සාමකාමී මාවත’ ආණ්ඩුව වහාම විවර කළ යුතු බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ(28) කොළඹ, ඩාලි පාරේ පිහිටි නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී නිදහස් ජනතා සන්ධානයේ නායකත්ව මණ්ඩලය නියෝජනය තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ඔබ කවුරුත් දන්නවා, නිදහස් ජනතා සන්ධානය බිහි වූයේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග. විවිධ අභියෝග ජය ගනිමින් අපි කඩිනමින් සන්ධානය ගොඩනඟා ගත්තා පමණක් නොවෙයි, පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කරමින්, ඔවුනට සක්‍රීය නායකත්වය දෙමින්, පුළුල් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළක නිරත වෙමින් සිටියදී තමයි මැතිවරණය කල් දැමීමේ කටයුතු සිදු වන්නේ. මැතිවරණය කල් දැමීමත් සමග මේ රටේ ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති බලාපොරොත්තුව දිනෙන් දින හීන වෙමින් යනවා.

‘රනිල්ගේ විකට ජවනිකා’

අද අපේ ජන සමාජය බරපතළ ආර්ථික පීඩනයකට ගොදුරු වී තිබෙනවා. බඩු මිල ඉහළ යන විට, විදුලි බිල 60% -70%කින් වැඩිවන විට, රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් උපයන සෑම පුද්ගලයකුටම 30%-40%ක බද්දක් ගෙවන්න සිදු වන විට සමාජයේ සෑම තරාතිරමකම පිරිස් දැඩි ආර්ථික අහේනියකට ලක් වීම සිදුවෙනවා. එම ආර්ථික අහේනියට ලක් වෙලා ඉන්න ජන සමාජයට අද ඊට අමතරව ජනාධිපතිවරයාගේ කෝලම් බලන්නත් සිදු වෙලා තිබෙනවා. රටේ ජනාධිපති ජනතාව පත්වෙලා ඉන්න පීඩාවට විසඳුම් දෙනවා වෙනුවට, පාර්ලිමේන්තුවට ඇවිත් කලිසම් සාක්කුවල අත්දෙක ඔබාගෙන ‘ඡන්දයකුත් නැහැ – ඡන්ද තියන්න සල්ලිත් නැහැ’ කියමින්, කැරකි-කැරකි විකට ජවනිකා පෙන්වනවා. අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න ජනතාව ඒ විකට ජවනිකා බලා ඉන්න සූදානම් නැහැ. අපි දන්නවා යුක්රේන ජනාධිපති වුණොත් විකටයෙක්. ඔහු විකට රංගන ශිල්පියෙක්. රනිල් වික්‍රමසිංහ මහතා රංගන ශිල්පියකු නොවුණාට අද පාර්ලිමේන්තුවට ඇවිත් රඟ දක්වන්නේ විකටයකුගේ චරිතයක්. එයාගෙ ප්‍රේක්ෂකයන් වී සිටින්නේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුයි. එක විකට ජවනිකාවක් රඟ දක්වලා, තමන් පිටිපස්සේ ඉන්න ඒ ප්‍රේක්ෂකයන්ගේ සිනාමුසු ප්‍රතිචාර දිහා බලලා, ඉන් උද්යෝගයට පත්වෙලා, රනිල් වික්‍රමසිංහ මහත්තයා තවත් විකට ජවනිකාවක් රඟ දක්වනවා. පාර්ලිමේන්තුව කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන තැනක්. ‘ඒ නිසා ජනතාව ගැන අබමල් රොනක හෝ හැඟීමක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවට ඇවිත් විකට ජවනිකා රඟ දැක්වීම නතර කරන්න, කියා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

‘ බිලියන 1.1වත් ලබා දෙන්න’

අද(28) නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු අපේ නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට සහභාගී වූවා. එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් සඳහන් කොට තිබෙනවා, ‘අවම වශයෙන් රුපියල් බිලියන 1.1ක් හෙවත් රුපියල් මිලියන 1100ක් ලබා දුන්නොත් අපි මැතිවරණය පවත්වන්න ලෑස්තියි’ කියා. රුපියල් මිලියන 1100ක් මහා භාණ්ඩාගාරයේ නැහැ, කියා කාටවත් විශ්වාස කරන්න බැහැ. භාණ්ඩාගාරය ඒ තරමටම හිඳිලා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නඩත්තු කරන්නත් බැරි වෙන්න ඕනේ; ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් ටික දෙන්නත් බැරි වෙන්න ඕනේ. ඉහත සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙන්නේ මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය සඳහා වන වැය බර 60%-70%කින් පහළ දැමීමට කටයුතු කර ඇති බවයි.

වහාම සාමකාමී මාවතට යන්න!

ඒ නිසා ‘සල්ලි නැහැ’ කියමින් තවදුරටත් වංචා කරන්නේ නැතිව, මහජනයාගේ ඇත්ත මතය ප්‍රකාශ කිරීමේ සාමකාමී මාවත විවෘත කරන්න, කියා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඡන්ද අයිතිය ඉල්ලන විරෝධතාවලට ‘පහර දීලා-කඳුළු ගෑස් ගහලා’ නම් මේ ප්‍රශ්නය විසඳන්න යන්නේ, ලැබෙන්නේ කල්පවතින විසඳුමක් නොවෙයි. එසේ විරෝධතාවලට පහර දීලා, ජනතා මතය ඉදිරිපත් කිරීමට වැට බැඳීම අපි නිදහස් ජනතා සන්ධානය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම මැතිවරණ තුළින් මහජනතාවට තම නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට තිබෙන අයිතිය උදුරා ගත්තොත් මේ රටේ එක වකවානුවක සිදු වුණා වගේ වෙනත් ‘හඬවල්’ පිට වෙන්න පුළුවන්. ඒවායින් අපේ ජන සමාජයට යහපතක් වන්නේ නැහැ.”

මෙම මාධ්‍ය හමුවට නිදහස් ජනතා සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-03-01

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *