“බැසිල් රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් කළ හැක්කේ වෙන කිසිවකුටත් නොවෙයි නිදහස් ජනතා සන්ධානයටයි” – නිදහස් ජනතා සන්ධානයේ සම මාධ්‍ය ප්‍රකාශක විමල් වීරවංශ

රට වලපල්ලට ඇද දැමීමට හේතු වුණු බැසිල් රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් කළ හැක්කේ ද ගෝඨාභය රාජපක්ෂ දිනවීමට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාවගෙන් අතිමහත් බහුතරයක විශ්වාසය දිනාගත හැක්කේ ද වෙන කිසිවකුටත් නොව නිදහස් ජනතා සන්ධානයට බව පෙන්වා දුන් එම සන්ධානයේ සම මාධ්‍ය ප්‍රකාශක, උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, එය හොඳින් දන්නා ‘බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු බලවේගය’ නිදහස් ජනතා සන්ධානය බිඳවැට්ටවීමට සදාචාර විරෝධී ක්‍රම ඇතුළු විවිධ ක්‍රම යොදා ගනිමින් සිටින බව අනාවරණය කළේය.

ඒ මහතා මෙසේ අනාවරණය කළේ ඊයේ(16) කොළඹ පැවති නිදහස් ජනතා සන්ධානයේ මංගල මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“නිදහස් ජනතා සන්ධානය බිහි වූයේ රටේ ජනතාව බලාපොරොත්තු අතහැර තිබූ, විශේෂයෙන් 69 ලක්ෂයක් වූ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් ජනතාවගෙන් අතිමහත් බහුතරය වේදනාකාරී ඉරණමකට පත්ව තිබූ අවස්ථාවකයි. එම සුවිශාල බලවේගයට ජීවය සහ ශක්තිය දෙමින් නිදහස් ජනතා සන්ධානය ගොඩනඟන්න අපට පුළුවන් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට අපට පුළුවන් වී තිබෙනවා, පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම්, නාමයෝජනා පත්‍ර සැකසීම් ආදී තාක්ෂණික කටයුතු ඉතා වේගයෙන් සිදු කිරීමට.

අලි – පොහොට්ටු බොරු කතා

අපි දන්නවා, අලි පොහොට්ටු ආණ්ඩුවේ අයට ඉතා තද ඕනෑකමක් තිබෙනවා, නිදහස් ජනතා සන්ධානය අභ්‍යන්තරිකව දුර්වල කරන්න, බෙදන්න, කඩන්න. ඔවුන් දන්නවා, ඔවුන්ගේ ගමන් මාර්ගයට එල්ල වන ප්‍රබලතම අභියෝගය, තර්ජනය වෙන කවුරුවත් නොවෙයි නිදහස් ජනතා සන්ධානය කියා. ඒ නිසා ඔවුන් ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යොදා ගනිමින් අපේ සන්ධානය පිළිබඳව අසත්‍ය කතා වපුරවමින් සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප සමඟයි

ඔවුන් කවර අසත්‍ය කතා වැපිරුවත් 2023 ජනවාරි 11 වැනිදා නව සන්ධානයක් ලෙස ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව ඇතුළු සියලු පක්ෂ හා සංවිධාන තවදුරටත් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බව අප රට හමුවේ අවධාරණය කරනවා. මෙහිදී පැහැදිලි කිරීමට වුවමනයි, ‘නිදහස් ජනතා සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වෙලා’ යනුවෙන් ඇතමුන් හැදූ ව්‍යාකූලතාව පිළිබඳව. එය නිවැරදි නිගමනයක් නොවෙයි. මෙතැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා සිටිනවා. එතුමා ඒ පිළිබඳව පැහැදිලි කිරීමට ප්‍රථම මමත් පූර්ව පැහැදිලි කිරීමක් කරන්නම්. පළාත් පාලන මැතිවරණවලදී අපේක්ෂකයන් සඳහා කොට්ඨාස වෙන් කිරීමේදී මෙවැනි සන්ධාන තුළ ගැටලුකාරී තත්ත්වයක් පැනනඟිනවා. එවැනි තත්ත්වයන් කිහිපයක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා, සමහර පළාත් පාලන ආයතන සඳහා එම පක්ෂය විදිහට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කර තරග වැදීමට; ඒ වගේම බොහෝ පළාත් පාලන ආයතන සඳහා හෙලිකොප්ටරයේ ලකුණින් නිදහස් සන්ධාන සන්ධානය යටතේ තරඟ වැදීමට.

තීරණයට ගරු කිරීම

මුල් අවස්ථාවේදී අප මේ පිළිබඳව සාකච්ඡා කරන විට දෙමළ, මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන උතුරු – නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ වදින බව පැවසුවා. අප ඊට එකඟතාව පළ කරනු ලැබුවා. මේ වන විට ඉහත කී ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් මත ඊට වඩා වැඩි ස්ථාන කිහිපයක් සඳහා අත ලකුණින් තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. මෙවැනි මැතිවරණවලදී සන්ධානගතව තරග කිරීම මෙන්ම තනිව අත ලකුණින් තරග කිරීම මීට ඉහතදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කළ පිළිවෙතක් බවත් අපි දන්නවා. පක්ෂයක් ලෙස ඔවුන් ගෙන ඇති තීරණයට අප ගරු කරනවා. කෙසේ වෙතත් සන්ධානය නිරුපද්‍රිතව ඉදිරියට යන බව අවධාරණය කරනවා.

බැසිල්ලාට තිබෙන ප්‍රධානතම තර්ජනය

මේ තාක්ෂණික කරුණ අතිශයෝක්තියෙන් හුවා දක්වමින් ඇතමුන් ‘නිදහස් ජනතා සන්ධානය බිඳ වැටෙයි! – හෙලිකොප්ටරයේ තටු කඩා වැටෙයි!’ කියා අසුබවාදී කටකථා පතුරවනවා. අපි ඒවා තරයේ ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන් අපි කොළඹ දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන මැතිවරණයට තරඟ වදින්නේ නිදහස් ජනතා සන්ධානයේ හෙලිකොප්ටරය ලකුණින්. මේ අවස්ථාවේ ‘පොහොට්ටු බලවේගවල’ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් බලනවා, විවිධ ක්‍රම භාවිතා කරලා අපේ අපේක්ෂක ලැයිස්තු අවලංගු කරවන්න; ඒවායේ තාක්ෂණ දෝෂ ඇති කරවන්න. අද බැසිල් රාජපක්ෂලාට තිබෙන ප්‍රධානතම තර්ජනය නිදහස් ජනතා සන්ධානයයි. ඔවුන් දන්නවා, නිදහස් ජනතා සන්ධානය නිරෝගීව ඉදිරියට ගියොත් තමන්ට කරන්න දේශපාලනයක් මේ රටේ ඉතිරි වෙන්නේ නැහැ, කියා. රටට අහිතකර, රට වලපල්ලට ඇද දැමීමට හේතු වූ බැසිල් රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් කළ හැක්කේ වෙන කාටවත් නොවෙයි නිදහස් ජනතා සන්ධානයටයි. ගෝඨාභය රාජපක්ෂ දිනවීමට ඡන්දය දුන් හැටනව ලක්ෂයක ජනතාවගෙන් අතිමහත් බහුතරයක විශ්වාසය දිනාගත හැක්කේ නිදහස් ජනතා සන්ධානයටයි. ඔවුන් මේ සියල්ල දන්නවා. ඒ නිසා ඔවුන් මේ සන්ධානය බිඳවැට්ටවීම සඳහා සදාචාර විරෝධී ක්‍රම ඇතුළු සියලු ක්‍රම යොදා ගනිමින් සිටිනවා.

නිරුපද්‍රිතව ඉදිරියටම…

කෙසේ වෙතත් ඒ සෑම කුමන්ත්‍රණයකටම මුහුණ දෙමින් නිදහස් ජනතා සන්ධානය නිරුපද්‍රිතව ඉදිරියටම ගමන් කරනවා. ඉදිරි දින කිහිපය තුළ අපි නිදහස් ජනතා සන්ධානය ලෙස සෑම පළාත් පාලන ආයතනයකටම පාහේ නාමයෝජනා භාර දෙනවා. නිදහස් ජනතා සන්ධානයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිලංග සුමතිපාල මැතිතුමා කටයුතු කරනවා. සම මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මමත් දයාසිරි ජයසේකර හා චරිත හේරත් යන මැතිතුමන්ලා කටයුතු කරනවා. දෑත් අපි අපේ යාන්ත්‍රණය පණගන්වා තිබෙනවා. අපි රටේ ජනතාවට අවධාරණය කරනවා, ‘ගොඩනැඟුණු විශ්වාසය තවදුරටත් තහවුරු කරගනිමින් මේ රටේ අනාගත ජයග්‍රාහී බලවේගය වන නිදහස් ජනතා සන්ධානය වටා ඉතාම පුළුල්ව එකතු වෙන්න. ඔබේ බලාපොරොත්තු හා පරමාර්ථ සාක්ෂාත් කර දීමට අපි ඉතා ඕනෑකමින් ඇපකැප වෙනවා’ කියා.”

මෙම මාධ්‍ය හමුවට නිදහස් ජනතා සන්ධානයේ සම මාධ්‍ය ප්‍රකාශකවරු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජයසිරි ජයසේකර, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-01-17

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *