සියලු ප්‍රතිවිරෝධයන් පසෙක තබා ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකම පෙරමුණකට එක් වෙමු! – නිදහස් ජනතා සන්ධානය

මැතිවරණය තුළ කුමන මතවාදයක් නියෝජනය කළ ද එකිනෙකා අතර ඇති සියලු ප්‍රතිවිරෝධයන් පසෙක තබා ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක් අරමුණකට, එක් පෙරමුණකට අනුගතව එක්වන්නැයි පාර්ලිමේන්තුවේ සහ ඉන් බැහැර සියලු විපක්ෂ බලවේගයන් වෙතින් නිදහස් ජනතා සන්ධානය ඉල්ලා සිටියි.

අද(14) උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු නිදහස් ජනතා සන්ධානයේ නායකත්ව මණ්ඩලයේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් එසේ අවධාරණය කර ඇත.

එම සම්පූර්ණ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“ජනතා පරමාධිපත්‍යය රැකගැනීමට සැවොම එක්වෙමු!
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තය වනුයේ රටක බහුතර කැමැත්ත මත පිහිටා කටයුතු කිරීමය. ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණය ආදී වශයෙන් වන සියලු මැතිවරණවලදී ජනතාවට සිය ඡන්දය ප්‍රකාශ කර තමන්ට කැමති පාලකයන් තෝරාගැනීමේ අවස්ථාව හිමිවෙයි. ජනතාවගේ බහුතර කැමැත්ත මත පිහිටා රාජ්‍යය පිළිබඳව තීන්දු තීරණ ගැනීමටත් රට පරිපාලනය කිරීමටත් මහජන නියෝජිතයන්ට නීත්‍යනුකුල බලය හිමිවන්නේ එවිටය. එම අවස්ථාව උදාවන්නේ මැතිවරණයක් තුළින් පමණකි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ බලයේ සිටිනුයේ කිසිදු ජනතා කැමැත්තක් නොමැති, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ, ජනමතයක් නැති, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවකි. තමන් වෙත පවතින ජනතා අප්‍රසාදය හෙළිදරව්වීම වැළැක්වීම සඳහා මැතිවරණ කල් දැමීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටියි. විසි වතාවක් එම උත්සාහය ගත් බව මැතිවරණ කොමිසම මීට පෙර හෙළිදරව් කරනු ලැබීය. අද (14) දින තැපැල් ඡන්දයට එරෙහිව විසිඑක් වැනි තහංචිය ද එළිදැක්වූ අතර, එමගින් ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීම සදහා ආණ්ඩුව දරන උත්සාහය මනාව පැහැදිලි වෙයි.

මේ මොහොතේ ද මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම නවතා දමමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ඉතා නින්දිත උත්සාහයක යෙදෙමින් සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තියට අනුව, මැතිවරණය පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට රජයේ නිලධාරීන් සහ ආයතන වගකීමෙන් බැඳී සිටියි. යම් හෙයකින් එම වගකීම උල්ලංඝනය කරන්නේ නම්, එම නිලධාරීන් පෞද්ගලිකව ද ආයතනවල ප්‍රධානීන් / අධ්‍යක්ෂක මණ්ඩලය සහ නිලධාරී මණ්ඩලය පෞද්ගලිකව සහ සාමූහිකව ද එහි වගකීම භාරගත යුතු බව අපි දැඩි ලෙස අවධාරණය කරන්නෙමු.

මැතිවරණ කල්දමමින් ඊට එරෙහිවූ ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහයන් මර්දනය කරමින් විවිධ ආණ්ඩු විසින් ඉතිහාසය පුරා ගනු ලැබූ උත්සාහයන් අවසන් වූයේ මිනී කඳු මතින් සහ ලේ ගංගාවලිනි. ජනාධිපතිවරයා මේ සූදානම් වනුයේ නැවත වරක් ජනතාවගේ ලේ සොලවා අත්තනෝමතික ලෙස බලයේ රැඳී සිටීමටදැයි සාධාරණ සැකයක් අප තුළ මතුවෙයි.

එම නිසා පාර්ලිමේන්තුවේ සහ ඉන් බැහැර සියලු විපක්ෂ බලවේගයන් වෙතින් නිදහස් ජනතා සන්ධානය ඉල්ලා සිටිනුයේ මැතිවරණය තුළ කුමන මතවාදයක් නියෝජනය කළ ද අප එකිනෙකා අතර ඇති සියලු ප්‍රතිවිරෝධයන් පසෙක තබා ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක් අරමුණකට, එක් පෙරමුණකට අනුගතව එක්විය යුතු බවයි.”

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *