“ව්‍යවස්ථා දරුවා ඉපදිලා. තවම ඇවිදින්න – හිනාවෙන්න විතරයි බැරි”

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේදී එහි පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වූයේ සූක්‍ෂ්ම ලෙස සිදු කෙරෙමින් පවතින ෆෙඩරල් ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුත්ත පිළිබඳවයි. එසේම සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරමින් ඇරඹි මෙම කටයුත්තෙන් ජානිපෙ ආරම්භක මොහොතේ සිටම ඉවත්ව සිටි අතර, ඒ බව එළඹෙන පාර්ලිමේන්තු සතියේදී කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දීමට දේශපාලන මණ්ඩලය තීරණය කළහ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට සහභාගි නොවූ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වලංගුභාවය පිළිබඳ ගැටළුවක් පැන නගින බව කථානායකවරයාට එම ලිපියෙන් පෙන්වා දීමට ද ජානිපෙ දේශපාලන මණ්ඩලය බලාපොරොත්තු වෙති.

“දැන් මේ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරමින් එහි මෙහෙයුම් මණ්ඩලයක් ද පිහිටුවා එමගින් අතුරු වාර්තා කෙටුම්පතක් ද ඉදිරිපත් කර අවසන්. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ, එම අතුරු වාර්තාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත එම මෙහෙයුම් කමිටුවේ වාර්තාවක් ලෙස නම් කර තිබුණාට එය මෙහෙයුම් කමිටුවේ සභාපති වන අගමැති රනිල් වික්‍රමසිංහ පිටතින් හදාගෙන ඇවිත් කමිටුවට දමපු අතුරු වාර්තාවක් වීමයි.” ජානිපෙ, නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.
“මේ විදියට මෙහෙයුම් කමිටුවට අගමැතිවරයා එහි සභාපති ලෙස තමන්ගේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කරලා ඒක ‘මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව’ ලෙස නම් කිරීම පිළිබඳව සහ එම අතුරු වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව සිය නිරීක්‍ෂණ, මෙහෙයුම් කමිටුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් දෙදෙනා වන දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු පිටු 07ක ලිපියක් මගින් දන්වා යවා තිබුණා. එම ලිපියෙහි සඳහන් ඉතා වැදගත් නිරීක්‍ෂණ 02ක් තිබෙනවා. පළමුවැන්න කරුණු දැක්වීම 1 යටතේ පෙන්වා දෙනවා,
‘උක්ත අතුරු වාර්තා කෙටුම්පත සකස් කිරීම ද, ඉහත සඳහන් ක්ෂේත්‍රයන් හා ඒවායේ සීමාවන් තීරණය කිරීම ද කවුරුන් විසින් සිදු කරනු ලැබුවේ ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් එම අතුරු වාර්තා කෙටුම්පතේ සඳහන් කර නොමැත. එබැවින් එම අතුරු වාර්තාව (කෙටුම්පත) මේ වන විට මෙහෙයුම් කමිටුවේ සිටින සියලුම සාමාජිකයන් විසින් ගන්නා ලද තීරණයක් හෝ අදහස් අනුව සකස් කර නොමැති බවත්, මෙහෙයුම් කමිටුවෙන් පරිබාහිර තැනැත්තන් විසින් මෙහෙයුම් කමිටුව විසින් මුලින් තීරණය කරනු ලබන නිර්ණායක හා ක්ෂේත්‍රයන් පිළිබඳ විමසීමක් නොකොට සකස් කරනු ලබන මෙවැනි වාර්තාවන් සලකා බැලීම හෝ අනුමත කිරීම පිණිස මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින ලෙසටත් මෙහෙයුම් කමිටුවේ සභාපති වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.’ කියා.
දෙවන වැදගත් නිරීක්‍ෂණය, පවතින ව්‍යවස්ථාවේ 05 වන වගන්තියට අදාළවයි ඉදිරිපත් කර ඇත්තේ. ‘යෝජනා කර තිබෙන සූත්‍රණය එක හෙළාම ප්‍රතික්ෂේප කර සිටිමු. එම සූත්‍රණයන් මගින් ශ්‍රී ලංකාවේ දේශ සීමාවන් සම්පූර්ණයෙන්ම අවිනිශ්චිත භාවයකට පත්කරනු ලැබේ. තව ද එහි සඳහන් (ඊනියා) 20 වැනි උපලේඛනය පිළිබඳව හෙළිදරව්වක් කර නොමැති අතර එවැනි උපලේඛනයක් සම්බන්ධයෙන් සඳහන් කිරීම මගින් ගම්‍ය වන්නේ එවැනි උපලේඛනයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් මේ වන විටත් සාදා නිම කර ඇති බව හා එම කරුණ මෙහෙයුම් කමිටුවේ සියලු සාමාජිකයන් ගෙන් පාර්ලිමේන්තුවෙන් හා ජනතාවගෙන් වසන් කර තිබෙන බවකි.’ යනුවෙන් එම නිරීක්‍ෂණයෙන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව අපට තහවුරු කළ හැකියි, ‘ව්‍යවස්ථා දරුවා ඉපදිලා ඉවරයි, තවම ඇවිදින්නේ, කතා කරන්නේ නැති එක විතරයි අඩු. ඒකාබද්ධ විපක්‍ෂය මේ වන විට මේ අතුරු වාර්තාවට විරුද්ධත්වය පළ කරලා ලිපියකුත් යවා අවසන් කියා.” නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ලිපියක් ද උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.
“මේ පිටු 07ක ලිපිය ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබුණේ 2017-04-03 දිනයේයි. එමගින් කියැවෙනවා ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ නමින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තා කෙටුම්පත එම කමිටුවේ වාර්තාවක් නොවෙයි එහි සභාපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ එකක්. එය පිළිගත නොහැකියි’ කියා. දැන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ද ‘ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් හැදීමට ජනවරමක් ලැබී නැහැ’ කියා පවසා තිබෙනවා. මේ සියලු කරුණු අනුව ඒකාබද්ධ විපක්‍ෂය, නිල වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් සහ මෙම ව්‍යවස්ථා සම්පාදක කාර්යයෙන් ඉවත් විය යුතුව තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය මේ මෙහෙයුම් කමිටුව නියෝජනය කළත් දැන් ඉතා හොඳින් පෙනෙනවා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත හදන්නේ ඒකාබද්ධ විපක්‍ෂය නොමඟ යවමින් බව. මේ ක්‍රියාවලියේ දිගටම රැඳී සිටියොත් ඒකාබද්ධ විපක්‍ෂයට සිදු වන්නේ අනුන්ගේ මල් වට්ටියකට අත ගහන්න, මේ ආණ්ඩුවේ රට බෙදන පාපී ව්‍යවස්ථාවට කරගහන්න. ඒ නිසා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිිය යුතුයි ‘දැන්වත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කාර්යයෙන් ඉවත් වෙන්න’ කියලා” පක්ෂ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *